ඔන්ලයින් අධ්‍යාපනය කොවිඩ් නිසා ලැබුණු දායාදයක්… මහාචාර්ය සකුන්තලා යටිගම්මන

කොවිඩ් සම්පූර්ණයෙන් නැති කාලයක් පැමිණියත් මාර්ගගත අධ්‍යාපනය පවත්වා ගත යුතුයි...

Sakunthala-Yatigamman

මාර්ගත අධ්‍යාපන ක්‍රමය ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වන ආකාරය හා සසැඳීමේදී අප රටක් ලෙස විශාල පසුබෑමක සිටි නමුත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අප ඊට ක්‍රමයෙන් අනුගත වෙමින් සිටින බවත් එය කොවිඩ් වසංගතයෙන් අපට ලැබුණු යහපත් දායදයක් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහචාර්ය සකුන්තලා  යටිගම්මන ඒකනායක  පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්ය බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමත් සමඟ අපට එතෙක් හුරු පුරුදු පන්ති කාමරය තුළ මුහුණට මුහුණලා කෙරුණු අධ්‍යාපනයෙන් තාවකාලිකව බැහැර වීමට සිදුවූ බවත් මේ නිසා අකමැත්තෙන් වුවත් ඔන්ලයින් ඔස්සේ කෙරෙන මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයට නැඹුරු වීමට සිදුවූ බවත් ඇය ප්‍රකාශ කළාය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහචාර්යවරිය මේ බව ප්‍රකාශ කළාය. ආරම්භයේදී සිසුන් හා ගුරුවරුන් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග යොදාගත් නමුත් මේවන විට ළදරු පාසැල් මට්ටමේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන බව ද ඇය පැවසුවාය. ඔන්ලයින් ඔස්සේ සිදුකරන අධ්‍යාපන ක්‍රියාවලිය නිසි අවබෝධයෙන් යුතුව සිදුකළ යුතු කාර්යයක් බවත් එහි යහපත් පැත්ත මෙන්ම අයහපත් පැත්ත පිළිබඳව ගුරුවරුන්ට, දෙමව්පියන්ට මෙන්ම ළමුන්ට අවබෝධයක් තිබීම වැදගත් බවත් මහචාර්යවරිය ප්‍රකාශ කළාය.


මොන තරම් හොඳ මට්ටමේ අධ්‍යාපනයක් ලබා දුන්නද රෝගී දරුවන් පිරිසක් බිහිවන්නේ නම් ඉන් පළක් නොමැති බවත් ඔන්ලයින් අධ්‍යාපනය ‍දෙපැත්ත කැපෙන පිහියක් බව තේරුම් ගැනීම ඉතා වැදගත් බවත් මහාචාර්යවරිය අවධාරණය කළාය. හොඳින් කැපෙන පිහියක් ශල්‍ය වෛද්‍යවරයෙකු අතට පත්වුව හොත් එමඟින් ජීවිතයක් බේරා ගැනීමට හැකි බවත් එය දාමරිකයෙකු අතට ලැබුණොත් ඉන් සිදුවන්නේ ඝාතනයක් බවත් කී මහචාර්යවරිය මෙම කාරනා දෙකටම පිහිය යොදා ගත හැකි සේ ජංගම දුරකතනයද හොඳට හා නරකට දෙකටම භාවිත කළ හැයි ප්‍රකාශ කළාය.

පළමු කොවිඩ් රුල්ල පැමිණ ටික කලකට පසු මාර්ග ගත අධ්‍යාපනයට යොමු වීමට පාසැල් දරුවන්ට සිදුවූ බවත් එම කාලය තුළ මෙය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් අපොහොසත් වීම නිසා අදත් සංඥා නොමැති වීම වැනි ගැටලු වලට දරුවන් මුහුණ දෙමින් සිටින බවද ඇය පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගියද මෙම මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය බැහැර නොකර පවත්වාගෙන යායුතු බවත් ගුරුවරයා හා සිසුව මුහුණට මුහුණලා කරන අධ්‍යාපනය ප්‍රමුඛ වුවත් මෙම ක්‍රමයද නූතන ලෝකය බැහැර නොකර පවත්වාගෙන යන බව අමතක නොකළ යුතු බවත් මහාචාර්යවරිය කීවාය.

Exit mobile version