ඔටුන්න ගලවාගත් රූ රැජණ පොලිසි ගොස් රෝහල්ගත වෙයි

ඊයේ (04) නෙළුම්පොකුණ රඟහලේ දී නිමාවට පත් වූ විවාහක රූ රැජන තරගයේ ඔටුනු පළඳවා ස්වල්ප වෙලාවකින් එය ගලවාගත්  විවාහක රූ රැජණ පුෂ්පිකා ද සිල්වා කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් කර රෝහල්ගත වී තිබේ.

ඇය රෝහල්ගත වූයේ ඔටුන්න ගලවා ගැනීමේ දී හිස් කබලට වූ හානියක නිසා බව වාර්තා වේ.

සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.


ශ්‍රී ලංකා විවාහක රූ රැජන -2021 කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ රාත්‍රියේ අවසන් වූයේ විවේචනාත්මක මෙන්ම මතබේදාත්මක හා උණුසුම් තත්ත්වයක් ඇති කරමිනි.

අවසන් තරගය පැවති ඊයේ දිනයේ දී පළමු ස්ථානයට තෝරාගත් තෝරාගත් ජයග්‍රාහිකාවට කිරුළ පැළඳූ සැණින් එය ගලවා වෙනත් අයකුට කිරුළ පැළඳීම නිසා මෙම උණුසුම් තත්වය හට ගැනිණ.

ලෝක විවාහක රූ රැජිණ තරගයට සහභාගි වීම වෙනුවෙන් තෝරාගන්නා ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස  අවසන් තරඟයේදී තෝරාගනු ලැබුවේ මින් පෙරද වරක් එම කිරුළම හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාය.

ජයග්‍රාහිකාවට එම කිරුළු පැළඳවීමට පැමිණි ආරාධිතයින් වූයේ  ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණක ලෙස 1973 කිරුළ හිමිකරගත් වත්මන්  අගමැති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ   සහ  කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අයයි.

ඊයේ රාත්‍රියේ ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවීමෙන් අනතුරුව  සභාවේ නොසන්සුන්තාවක් හටගත්තේය.

ඒ පුෂ්පිකා ද සිල්වා දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවටයි.

ඒ සමගම වත්මන් ලෝක විවාහක රූ රැජන වන  කැරලයින් ජූරි  වේදිකාවට නැග සඳහන් කළේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද අයකු බැවින් තරඟ නීතියක් මෙන්ම මූලික සුදුසුකමක් උල්ලංඝනය වී ඇති නිසා විවාහක රූ රජින කිරුළ හිමි නොවන බව ය.

ඉන් පසු ඇය එම කිරුළ ගලවා දෙවන ස්ථානය ලබාගත් තරගකාරියට ලබා දෙමින් ඇය රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළාය.

පුෂ්පිකා ද සිල්වා වේදිකාවෙන් ඉක්මනින් බැස ගියාය.

මෙම සිද්ධිය  සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව ඇත. නමුත් එම තීරණය සම්බන්ධයෙන් නිත්‍යානුකුල ක්‍රමවේදයක් පවතී.

විවාහක රූ රැජිණ තරඟයක මුල් අවස්ථාවේදීම සෑම තරඟකරුවෙක්ම ගිවිසුමක් අත්සන් කළ යුතුය.

 

ඒ ගිවිසුම අත්සන් කරන දිනයට සියලු සුදුසුකම් පරීක්ෂා කරනු ලබන අතර එහිදී උප්පැන්න සහතිකයේ සිට විවාහ සහතිකය දක්වා සියලුම දේ පරීක්ෂා කෙරේ.

ඒ අදාල ගිවිසුම අත්සන් කරන දිනයේදී එම නීති රීති පිළිබඳවත් දැනුවත් කරයි.

ඒ සම්බන්ධයෙන් තරඟකාරියන් දැනුවත් කිරීම අදාල ජාතික අධ්‍යක්ෂවරයාගේ වගකීමක් වන අතර ඔහුගේ අනුදැනුමකින් තොරව කිසිදු අවස්ථාවක කිසිඳු තරඟකාරියකට  නියමිත සුදුසුකම් සපුරා නොමැති නම් ඉදිරියට යා නොහැක.

සුදුසුකම් සපුරා නොමැති අවස්ථාවකදී තතරඟකාරියක ලෙස තවදුරටත් ඉදිරියට යාමට නම් අදාල ජාතික අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳ දැනුවත් විය යුතුය.

එසේ නොමැති නම් කුමක් හෝ හේතුවක් මත ඔහු ඒ බව සඟවා වංචනික අරමුණින් ඇයව ඉදිරියට ගෙන යා යුතුය.

ඒ වගේම තරඟය අතරතුර විනිශ්චය මණ්ඩලයට වරද නිවැරදි කිරීමේ හැකියාව සහ කාලය පවතී. තරඟකාරිය අදාල පාර්ශව වෙත බොරු තොරතුරු ලබා දීමෙන් හෝ අදාල වගකිවයුතු පාර්ශව එය බොරුවක් බව දැන සිටියත් එය සඟවා තබා ගැනීමෙන් දෙපාර්ශවයෙන්ම සිදුවී ඇත්තේ වංචාවකි.

කෙසේ වෙතත් මේ තරඟය තුළ තරඟ වැදීමට පුෂ්පිකාට බාධාවක් නොමැති නමුත් ඇයව අවසානයේදී රූ රැජිණ බවට පත් කිරීමේදී අදාළ විනිශ්චය මණ්ඩලය  මේ තීරණය අදාල නීති රීති වලට අනුකූලද යන්න අනිවාර්යයෙන් සැලකිය යුතුය.

පුෂ්පිකා මීට පෙර ද මෙම තරගයට ඉදිරිපත් වූ කාන්තාවකි.

කැරලයින් ජූරි යනු වත්මන් ලෝක විවාහක රූ රැජින ය. මීළඟ ලෝක රූ රැජින කිරුළ වෙනත් අයකු විසින් හිමිකර ගන්නා තෙක් එම කිරුළේ භාරකාරත්වය, වගකීම  දරන්නේ ඇයයි.

තරඟයේ තරඟකාරියන්ගේ සුදුසුකම් පරීක්ෂාව ඇය විසින් නොකළ යුතු නමුත් තමා නියෝජනය කළ රටෙහි තමාගෙන් පසු සිදුවන නියෝජනය නීති උල්ලංඝනයකින් තෝරා පත් කර ගත් විට, ඇය ඇයගේ කිරුළේ වත්මන් වගකීම භාවිතා කර ඒ සිදුවූ වරද නිවැරදි කළ බව කැරලයින් ජූරි ගේ පාර්ශවය පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරග නිති නීතිරීති උල්ලංඝනය කළ තරගකාරියක තේරී පත්වීමෙන් ලෝක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් පසු එම තරගයෙන් ඉවත්වී ‍‍යාමට සිදුවනු ඇත. එවැනි සිදුවීමක් ලෝක රූ රැජින පත් වූ රටක් නියෝජනය කරමින් සිදුවීම ජාත්‍යන්තරය තුළ වුව ද මතභේදයට තුඩු දිය හැකි කරුණකි.

Exit mobile version