කොළඹ නගරයේ අතිශය වැදගත් ඓහාසික භූ සලකුණක් මෙන්ම වැදගත් වාස්තු උරුමයක් වූ කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි වසර 150ක් පැරණි සොයිසා ගොඩනැගිල්ල බිද දැමීම ආරම්භ වී තිබේ
බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ විසූ ධනවත්ම ලාංකිකයා මෙන්ම ගෞරවණීය ධානපතියා ද වූ ශ්‍රීමත් චාල්ස් හෙන්ඩ්රි ද සොයිසා විසින් මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබිණි. එහි වූ දුර්ලභ වාස්තු විද්‍යාත්මක සැලැස්ම හා නිර්මාණ ශිල්පය හේතුවෙන් සොයිසා ගොඩනැගිල්ල වාස්තු විද්‍යාව හදාරන ශිෂ්‍යයන් අනිවාර්යෙන් හැදෑරිය යුතු කෘතියක් විය.
මේ පෞරාණික ගොඩනැගිල්ල කඩා ඉවත් නොකරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අගමැතිවරයා ඉදිරියේ මීට දෙමසකට පෙර කරන ලද ඉල්ලීමක දී එම වැදගත් ගොඩනැගිල්ල විනාශ නොකරන ලෙස අගමැතිවරයා විසින්ම නාගාරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
අනතුරුව මෙම ගොඩනැගිල්ල ඉවත් කිරීමට යන බවට වූ සංවාදය නිසා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමක දී එම අධිකාරිය ඔහුට පවසා ඇත්තේ ගොඩනැගිල්ල නොකඩන බවත් එහි අවට ඇති ගරා වැටුණු සුන්බුන් පමණක් ඉවත් කරන බවත්ය.
සොයිසා ගොඩනැගිල්ල ගැසට් කිරීම අදාල සියලු ලේඛණ සකසා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමත කර පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයගේ අත්සනින් යුතුව අනුමැතිය සඳහා සංස්කෘතික අමාත්‍යාංශයට යොමු කර තිබේ. එහෙත් එම ගැසට් නිවේදනයට සංස්කෘතික ඇමතිවරයා වූ අග්‍රාමාත්‍යවරයා අත්සන් තබා නැති බව වාර්තා වේ.
මේ පිළිබඳව අද විමසීමේ දී සංස්කෘතික අමාත්‍යංශ ලේකම් පුරාවිද්‍යා දෙපාරත්මේන්තුවේ නිලධාරීන්ට පවසා ඇත්තේ සංවර්ධන කටයුතු සඳහා බාධා නොකර ලෙස අගමැතිවරයා විසින් දැනුම් දී ඇති බවය.
අද උදේ සිට ගොඩනැගිල්ල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.