අමුතු දේශීය තේ හදා ලෝකයත් අල්ලන්න හදන සූරියවැවේ ගැමියා…

සූරියවැව නුවන් ජයසේකර –

දේශීය ආහාර යනු සමාජ සම්මතයෙන්ම ඖෂධයන්ය. පැහැදිලි බසින් කියන්නේ නම් මෙරට ආවේණික ආහාර පරිභෝජනය ඖෂධ පරිභෝජනය  කිරීමක් වැනිය. 

අපේ සංස්කෘතිය තුළ කිරි පිටි තබා කිරි බිවූ බවක් නොපෙනේ. අපේ සංස්කෘතික ඉතිහාසයේ තිබුණේ මුදවාපු කිරි පරිභෝජනය ය.  පානයන්  ලෙස ගත්තේ  ගහෙන්, කොලෙන්, පොත්තෙන් ලබා ගත් දෑය. 

අද අප ඔබට කියන්නට යන්නේද එවැනි වස විසෙන් තොර ශරීරයට හිතකර හා ලෙඩ රෝග රැසකට සුවය දෙන තේ පානයක් නිශ්පාදනය කරන අපූරු ගැමියෙක් පිළිබද කතාවකි. මේ පුවත අපට වාර්තා වුයේ සූරියවැව ධර්මීගම ප්‍රදේශයෙනි.


වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් මෙම අපූරු නිශ්පාදනය සිදු කරන්නේ සූරියවැව ,ධර්මීගම,  පදිංචි 41 හැවිරිදි චන්ද්‍රෙස්න රුබසිංහ ය.

චන්ද්‍රෙස්න රුබසිංහ

චන්ද්‍රසේන රුබසිංහ   සිය නිශ්පාදනය පිළිබදව මෙලෙස අදහස් දැක්වීය.

“මම දැනට වසර දෙකක සිට ස්වභාවික දේශීය අමු ද්‍රව්‍ය වන නිල් කටරොලු මල්, මුරුංගා කොල හා යකිනාරං කොල යොදා ගනිමින් වෙන වෙනම බීමට ගත හැකි පරිදි තේ එකක් නිශ්පාදනය කරනවා. දේශීය වෛද්‍යවරු ගණනාවක් වෙත ගිහින් මා මේ ඖෂධ වර්ග තුනේ ගුණ පැහැදිලි කරගත්තා. සමහර බටහිර වෛද්‍යවරු මේ ඖෂධවල ගුණ මට විද්‍යාත්මකව පැහැදිලි කරලා දුන්නා.“  

“දැනට මම නිල් කටරොලු මල් යන්ත්‍රානු සාරයෙන් විජලනය කරලා අඹරලා පවුඩර් එකක් ලෙස සකසනවා. එය තේ එකක් ලෙස බොන්න වගේම ඕනෑම කෑම වර්ගයක් වර්ණ ගැන්වීමට යොදා ගන්න පුළුවන්.“

“මුරුංගා කොළ ගත්තත් එහෙමයි. ලංකාවේ තවමත් අපි මුරුංගා කරල් විතරයි ආහාරයට ගන්නේ. නමුත් ලෝකේ රටවල අද මුරුංගා කොල යොදා ගනිමින් විවිධ නිශ්පාදන සිදුකර තියෙනවා.“

තේ නිශ්පාදනය කරන ආකාරය

“යකි නාරං කියන්නෙත් ලංකාවේ තියෙන එවැනි ඖෂධීය ගුණයකින් යුතු පැඟිරි කුළයට අයත් සුවිශේෂි ශාඛයක්. මේ කොල යොදාගනිමින් කැඳ, තේ වගේම දුම් ඇල්ලිමත් සිදුකරනවා“

“මෙවැනි ඖෂධීය ගුණයක් සහිත යකි නාරං හා මුරුංගා පත්‍ර හා කටරොළු මල් යොදා ගනිමින් තමයි මා මේ තේ එකක් ලෙස පානය කරන්න පුළුවන් නිශ්පාදනය සිදු කරනවා. මේ සඳහා කිසිදු රස කාරකයක් හෝ කල් තබාගැනීමේ ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නෑ. “ 

ඔහු කියන්නේය. 

මුල් කාලයේ මේ නිශ්පාදනය ආරම්භ කරනවිට බොහෝ දෙනෙකුගේ කැමැත්තක් නොතිබුණු බවත්, එම නිශ්පාදන මිල දී ගත්තේ විදෙශිකයන් හා වැඩිහිටියන් අතලොස්සක් පමණක් බවත් ඔහු අපට කීවේය.

“ඒත් කොවිඩ් එක්ක ඉතා විශාල ඉල්ලුමක් මට ලැබුණා. දැන් ඉල්ලුමේ තරමට නිශ්පාදනය කරගන්න බෑ… ලංකාවට වඩා විදෙස් රටවල ඉන්න අයගෙන් තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ.“ 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු කියන්නේ සතුටිනි.   

 

 

 

 

 

Exit mobile version