අම්ෆන් සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට..

කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව කියයි

තුෂාරී කළුබෝවිල –

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැවැති තද වැසි තත්ත්වය පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට අම්ෆන් සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට යමින් ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය “අම්ෆන්” (AMPHAN) නමැති සුළි කුණාටුව බවට පත්ව ඇති බවත්, මේ හේතුව නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වන බැවින් ධීවර කටයුතුවල යෙදී ම අවදානම් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අම්ෆන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 620ක් දුරින් ගිණිකොණ දිග බෙංගාල බොක්කේ සක්‍රීය ව පවතී. මේ හේතුවෙන් තද සුළං තත්ත්වයක් තවදුරටත් දිවයිනට පලපාන අතර ඇතැම් ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් අවධාරණය කෙරේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක පමණක් මිලිමීටර් 150ක පමණ වැසි ඇති වන නමුත් අනෙකුත් ප්‍රදේශවල වැසි අඩු වන බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
ඊයේ (16)  වන විට  දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පවුල් 775 කට අයත් පුද්ගලයින් 2668 ක් පීඩාවට පත්ව සිටියේය.
කෑගල්ල සහ යටියන්තොටින් පුද්ගල මරණ 2 වාර්තා විය. නිවාස හා ව්‍යාපාරික ස්ථාන 585  හානියට පත්වූයේය.   දිවයිනේ දිස්ත්‍රික්ක 9 ක, ප්‍රදේශ 43 ක දැඩි නායයාමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ අක්මීමන, ඇල්පිටිය, නියාගම, බෝපේපෝද්දල, නාගොඩ, තවලම, නෙලුව, බද්දේගම ද රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇළපාත, නිව්තිගල, කලවාන, කිරිඇල්ල ඇහැළියගොඩ, කුරුවිට, අයගම ද කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කෑගල්ල, දෙහිඕවිට, අරනායක, යටියන්තොට, දැරණියගල ද මාතලේ දිස්‌ත්‍රික්‌කයේ උකුවෙල ද කළුතර දිස්‌ත්‍රික්‌කයේ අලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, වලල්ලාවිටි, හොරණ, ඉංගිරිය, මතුගම ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, පොල්ගහවෙල ද නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුවකෝරලය ද මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ගඟඉහකෝරලය, තුම්පනය ද මාතර දිස්‌ත්‍රික්‌කයේ පිටබැද්දර, කොටපල ද කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සීතාවක ද එම අවදානම් ප්‍රදේශ වේ.
මෙම ප්‍රදේශවල කඳූ හා පස් කණ්ඩි ආශ්‍රිතව ජීවත් වන ජනතාව ඉදිරි දින දෙක (17 හා 18) පුරාවට දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවත්, අවශ්‍ය වුවහොත් පදිංචි ස්ථානවලින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සිදු වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු හඟවා තිබේ.

 

Exit mobile version