අගමැති වන්දනාවේ ගිය සැප ජෙට් එක යාලුවෙක් නොමිලේ දීලා!

සමාජ ජාලය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන්, ඉන්දියාවේ වන්දනා ගමනක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අය පසුගිය දා දෙදින සංචාරයක නිරත වී තිබූ පෞද්ගලික ව්‍යාපාරික ජෙට් යානය, අගමැතිවරයාගේ මිතුරෙකු විසින් නොමිලේ ගමන් පහසුව සැලසීම සඳහා ලබාදුන් එකක් බව ‘ද මෝනිං’ පුවත් වාර්තා කරයි.

ඒ බව අග්‍රාමාත්‍යවරයාගේ දෙටු පුත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා තහවුරු කර ඇත.

කෙසේ වෙතත් එම ජෙට් යාන‍යේ හිමිකරුගේ නම ඔහු නොදන්නා බවට පවසා ඇති අතර එය මිත්‍රශීලී සංග්‍රහයක් බවට ද ඔහු පවසා ඇත.


දෙසැම්බර් 23 වැනි දින වන්දනා චාරිකාවක් සඳහා අගමැතිවරයා ඇතුළු පවුලේ අය පෞද්ගලික දෙදින සංචාරයක නිරත විය.

ඊට සමගාමීව තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිල් එම්බ්‍රේර් ලෙගසි 600 ව්‍යාපාරික ජෙට් යානයකින් බැස යන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප, සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක ආන්දෝලනාත්මක ලෙස සංසරණය වී තිබුණි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ ප්‍රයෝජනය සඳහා ජෙට් යානය හිමිකරු විසින් කිසිඳු අයකිරීමකින් තොරව ලබාදී ඇති බව ද මෝනින් පුවත් වාර්තා කර තිබේ.

අන්තර්ජාලයේ ඇති තොරතුරුවලට අනුව, Legacy 600 ව්‍යාපාරික පන්තියේ ජෙට් යානයක සාමාන්‍ය කුලී ගාස්තුව පැයකට USD 6,700ක් පමණ වේ.

ද මෝනිං වැඩිදුරටත් වාර්තා කර ඇති පරිදි අගමැතිවරයා ගමන් , ‘T7-JSG’ යානය කුඩා යුරෝපීය රාජ්‍යයක් වන සැන් මැරිනෝ රජයේ ලියාපදිංචි වී ඇති බවය. එම රාජ්‍යය බදු තෝතැන්නක් ලෙස ද ප්‍රකටය. එහි ලියාපදිංචි වී ඇති Legacy 600 JetSetGo Aviation Services Private Limited හි ඇති බොහෝ ගුවන් යානා වලින් එකක් බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම සමාගම ඉතා ධනවත් පුද්ගලයින්ට, ප්‍රභූවරුන්ට පුද්ගලික ගුවන් යානා කුලී සේවා සපයන ඉන්දියානු සමාගමකි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ආයෝජකයෙකු ලෙස එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අසුන් ගැනීම විශේෂත්වයකි.

සමාජ මාධ්‍ය වල තිබූ තොරතුරු වලට අනුව මෙම යානය දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ සිට රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අගමැතිවරයා ගමන්ගත් T7-JSG යානයේ ගමන් මාර්ගය පිළිබඳ විස්තර RadarBox, ගුවන් යානා ලුහුබැඳීමේ සමාගමේ ගුවන් යානා සහ පියාසැරි තොරතුරු තත්‍ය කාලීනව සිතියමක ප්‍රදර්ශනය කරන තොරතුරු ඔස්සේ ලබාගෙන ඇති අතර ඒ අනුව දෙසැම්බර් 17 වැනිදායින් පසු, දෙසැම්බර් 22 වැනි දින චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් ව රත්මලානට පැමිණීමට පෙර, එතෙක් යානය එහි තිබූ ස්ථානය පිළිබඳ තොරතුරු කිසිවක් නොතිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව දෙසැම්බර් 23 වැනි දින අග්‍රාමාත්‍යවරයා සමඟ යානය රත්මලානෙන් තිරුපති බලා පිටත් විය. මේ අනුව, දෙසැම්බර් 24 වන දින යානය නැවත වරක් රත්මලාන සිට නවදිල්ලිය බලා පිටත්ව යන බව දත්ත පෙන්වා දෙයි.

Exit mobile version