දශක හතක අත්හදා බැලීම් ප්‍රමාණවත්… අලුත් රටක් හදමු…

අප දශක 7කට වැඩි කාලයක් විශාල අත්හදා බැලීම් ප්‍රමාණයක් සිදුකොට ඇති බවත්, එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක,   ඔහුගේ බිරිඳ, ඔහුගේ දියණිය, ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක   සහ ඔවුන්ගේ ඥාතීන්, මහින්ද රාජපක්‍ෂ  , ඔහුගේ සොහොයුරා ගෝඨාභය රාජපක්‍ෂ සේම මුදල් අමාත්‍යවරයා හැටියට අනෙක් සොහොයුරාත් පත්කරගෙන කර ඇති අත්හදා බැලීම්  ඉදිරියේ තිබෙන ශේෂ පත්‍රය වන්නේ දූෂිත භාවය ඉහවහා ගිය සමාජයක්, කඩා වැටෙන ආර්ථිකයක්, සහ අපරාධවලින් පිරුණු සමාජයක් බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. 

“අපි ඔබට යෝජනා කරන්නේ මේ රට නව පරිවර්තනයකට  ලක්කළ යුතු බවයි.  ඒ වෙනුවෙන් අපි ඔබට ආරාධනා කරනවා. අපි එළඹී සිටින්නේ ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකට. මේ සන්ධිස්ථානයේදී රට ගොඩනැගීමේ දිශාවට ගෙන යන්න ඕනෑ. අන්න ඒනිසා තමයි 1988-89 කාලයේ දිවිපිදූ අපේ වීරවරයන් සහ වීරවරියන් සැමරිය යුතු වෙන්නේ.“  අනුර කුමාර දිසානායක කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ  ඊයේ කොළඹ දී පැවති පැවති  32 වන ඉල්මහ විරු සමරුව අමතමිනි.  

ඔහු ඒ අවස්ථාවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.  

අපේ පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, අපේ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියන් දහස් ගණනක් එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ මිනීමරු ආණ්ඩුව විසින් ඝාතනය කළා.  ඔවුන් අනුස්මරණය කරන්නත්, එදා තිබුණු දේශපාලනයත් වගේම එම  අරගලයේ දිශානතියත් පිළිබඳ සාකච්ඡා කරන්න මේ අවස්ථාව යොදා ගන්නවා. අපේ රටේ මියගිය අය පිළිබඳව ඕනෑ තරම් ගුණානුස්මරණ උත්සව පවත්වනවා. මේ එවැනි  වර්ගයේ  එකක් නෙවෙයි. 1988-89 කාලයේ අපේ රට තිබුණු තත්වයත්, මාතෘභූමියේ නිදහසත් සාතිශය බහුතර ජනතාවකට ආර්ථිකයේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමත් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අරගලයක් දියත් වුණා. ඒ පිළිබඳව බොහෝ අය විවිධ නිර්වචන ඉදිරිපත් කරමින් තිබෙනවා. අපේ සතුරන් ප්‍රබලතම අවලාද සහ විවේචන ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ, 1988-89 අරගලය අපි පරාජයට පත්වී සතුරා ජයග්‍රහණය කළ නිසා.

ඉතිහාසය හැමදාමත් ලියන්නේ ජයග්‍රහාකයා විසින්. 1988-89 අරගලය පිළිබඳවත් ඔවුන් විවිධ වැරදි අදහස් සමාජගත කර තිබෙනවා. ඒ නිසා අපේ රටේ වර්තමාන තරුණ කණ්ඩායම් එවැනි කරුණු පිළිබඳව පුනරුච්චාරණය කරමින් තිබෙනවා. මේ නිසා 32වැනි ඉල්මහ සමරුවේදී සැබවින්ම සිදුවූයේ කුමක්ද? සහ  අප  උකහා ගත යුත්තේ  මොනවාද, අපි අත්පත් කරගත යුතු දේ මොනවාද, අප අත්හළ යුතු දේ මොනවාද කියලා සාකච්ඡාවක් කරගත යුතු වෙනවා.


අපේ රට 1948දී දේශීය ධනපති පංතියක් අතට පැවරුණා. ඔවුන්  රට ගෙනගියේ කුමන දිශාවකටද? ආර්ථිකය බිඳ වට්ටන සාතිශය බහුතර ජනතාවක් දුක්ඛදායක තත්වයට පත්කරවන මාවතක ඔවුන්  ගමන් කළා. ඒ වගේම අපේ රටේ  සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කරනවා වෙනුවට ඇන කොටා ගන්නා ගැටුම්කාරී දේශපාලනයක් දියත් කර තිබෙනවා. ඒ හා සමාන ලෙස අපේ රටේ ජාතික සම්පත් සහ දේශපාලනය මුළුමනින්ම ලෝක බලවතුන් හමුවේ උගස් තබන දේශපාලන ක්‍රියාවලියක් දියත් කර තිබෙනවා. ඒ නිසා අදත් එදා වගේම මේ දේශපාලන, ආර්ථික, ගමන වෙනස් කර ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කළ යුතුයි. අද ඒ වුවමනාව එදාටත් වඩා තිබෙනවා. අද එදාටත් වඩා ඒ වුවමනාව අභියෝගයක් වී පවතිනවා. ඒ වෙනුවෙන් අපි අරගලයක් දියත්කර තිබෙනවා.

1988-89 සන්නද්ධ නැගිටීම ඕපපාතිකව සිදුවීමක් නොවෙයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සාතිශය බහුතර ජනතාවකගේ ආර්ථික අයිතිවාසිකම් වෙනුවෙනුත් ගෙනයන ලද සුජාතතම අරගලයක්. ඒ අරගලය දියත් වුණේ කොහොමද?

1971 සන්නද්ධ නැගිටීමෙන් පසු අපේ බොහෝ අය සිරගත කර මර්දනය කර තිබුණා. 1978 සිට අප ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ දේශපාලනය තුළ ජනතාවට දේශපාලන සාකච්ඡා ගෙනයමින් ජනතාව සංවිධානය කරමින් ඔවුන්ට දේශපාලනය උගන්වමින් ක්‍රියා කළා. අපි දියත් කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතිවන සෑම හිඩැසක්ම, සෑම අවස්ථාවක්ම අපි උපයෝගී කරගත්තා.

1978 අතුරු මැතිවරණයට අපි තරග කළා. ඒ වගේම 1981 සංවර්ධන සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වර්ජනය කර තිබියදී පවා ජනතා විමුක්ති පෙරමුණේ අපි තරග කළා. පළමු වතාවට සභිකයින් 13 දෙනෙක් තෝරා ගනු ලැබුවා. 1982 ජනාධිපතිවරණයේදී අපි තරග කළා. ජනතාව විශාල ප්‍රමාණයක් අප කෙරෙහි විශ්වාසය තැබුවා. අපේ මාවත දියත් කරමින් තිබුණේ ඒ විදිහට.

නියමිත පරිදි පැවැත්වීමට තිබූ මහ මැතිවරණය දුෂ්ට ආකාරයෙන් කල් දමනු ලැබුවා. අනතුරුව 1983 කළු ජූලියක් නිර්මාණය කර අපිව තහනම් කළා. අපේ මාවත ප්‍රජාතන්ත්‍රවාදී මාවත වනවිට ජේ.ආර්. ජයවර්ධනගේ මාවත වුණේ කුමක්ද?

විරුවන් සමරමින්…

1977දී කේවළ ඡන්ද ක්‍රමයට අනුරූපීව පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් ලබාගෙන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනත් විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කළා. ජේ.ආර්. ජයවර්ධන අපේ රටේ පළමු විධායක ජනාධිපති ලෙස පත්වන්නේ ජනතාවගේ ඡන්දයෙන් නොවේ.

ඉන් අනතුරුව 1978 නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන විධායක ජනාධිපති අතට සියලු බලයන් එකතු කර ගත්තා. අධිකරණය, පාර්ලිමේන්තුව සහ විධායකය ජනාධිපතිගේ අතට ගත්තා. එදා ජේ.ආර්. ජයවර්ධන එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව සම්මත කර ගන්න උත්සාහ කරන විට අප 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයටත් අපේ රටේ සමාජයටත් බරපතළ ව්‍යසනයක් ඇති කරන බව තේරුම් ගෙන එය පරාජය කිරීමේ දිසාව නියෝජනය කළා.

ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අතට ගත්තා. එතැන් සිට පාර්ලිමේන්තුව රූකඩයක් කරගෙන 1978දී ජනතාව මර්දනය කිරීම සඳහා වූත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනත් සම්මත කර ගත්තා. වර්තමාන ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව එම පනතේ මර්දන නීති තමන්ටඑරෙහි දේශපාලන ක්‍රියාධරයන් මර්දනය කිරීමට යොදා ගන්නවා. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව මර්දනය පැත්තෙන් පෙනී සිටින විට අපි පෙනී සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී දිසාවට.

දවසකට රු. 10ට වැටුප් වැඩිවීමක් ඉල්ලා 1980 වෘත්තීය සමිති අරගලයක් දියත් කළා. වැඩ කරන ජනතාව ලක්‍ෂ ගණනක් රැකියාවලින් එළියට දැම්මා. 1981 සංවර්ධන සභා මැතිවරණයේදී යාපනය පුස්තකාලය ගිනි තියලා ඒ ජනතාවට තමන්ගේ ප්‍රාදේශීය නායකයින් පත්කරගන්න තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගත්තා. 1982 නියමිත පරිදි  නැවත පැවැත්වීමට තිබුණු මහ මැතිවරණය කල් දැම්මා. 1983දී මේ රටේ දේශපාලන ව්‍යාපාර තහනම්  කළා.

83 තහනමින් පසු අපට තෝරා ගන්න මාවත් දෙකක් තිබුණා. එක්කෝ මේ දේශපාලනය අත්හරින්න ඕනෑ. නැත්නම් තහනම  මැද්දේ හෝ ජනතාවට දේශපාලනය ගෙනයමින් ජනතාව සංවිධානය කිරීමේ මාවත. එදා 1988-89දී මිනීමරු ආණ්ඩුව විසින් ඝාතනය කළ අපේ වීරවරුන් සහ වීරවරියන්   දේශපාලනය අත්හැරීමේ මාවත වෙනුවට දේශපාලනය කිරීමේ මාවත තෝරා ගත්තා. ජනතාව තුළ සැඟවෙමින් ඔවුන්ට දේශපාලන අධ්‍යාපනය ලබාදෙමින්  ඉස්සරහට ගියා.

ජේ.ආර්. ජයර්ධන ඊට ප්‍රතිපක්‍ෂ ලෙස අපේ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන, සිරගත කර තාඩන පීඩන කරමින් පැහැර ගනිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතක ගමන් කළා. දේශපාලන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියා කිරීමේ අයිතිය තිබෙනවා. තහනම මධ්‍යයේත් අපේ රටේ පොදු ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි වැඩ කළා.

එක්සත් ජනපද ගැති ප්‍රතිපත්තිය අනුගමනය කළ ජේ.ආර්. ජයර්ධන 1983 කළු ජූලියේ සිට අපේ රට යුද උගුලක පැටලෙව්වා. අනතුරුව 175,000ක ඉන්දියානු ආක්‍රමණික හමුදාවක්  අපේ මව්බිමට ගොඩබැස්සා. උතුරු නැගෙනහිර පළාත් දෙක වටළාගෙන කඳවුරු බැඳගත්තා. මව්බිමේ නිදහස, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සන්නද්ධමය දේශපාලන නැගිටීමකට තල්ලු වුණා. එය අප විසින් තෝරාගත් මාවත නොවේ. සතුරා විසින් තල්ලු කරන ලද මාවතයි. මව්බිමේ නිදහස, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සාතිශය බහුතර ජනතාවකගේ ආර්ථික පීඩනයට විරුද්ධව අපි ඒ මාවත තෝරා ගත්තා. සන්නද්ධ ගැටුමක් සිද්ධ වුණේ ඒ විදිහට.

සන්නද්ධ ගැටුමක් කියන්නේ සුන්දර සිහිනයක් නෙවෙයි. අපි පිළිගන්නවා, අප අතින් සිදු නොවිය යුතුදේ සිදුවී තිබෙන බව. ඒ පිළිබඳව කම්පනයක්, කණගාටුවක් අපට තිබෙනවා. ඒ තුළ තිබෙන සාධනීය දේ ඉතා හොඳින් උකහාගෙන නිෂේධනීය දේ ප්‍රතික්‍ෂේප කරමින් ඉදිරියට යන්න අපි සූදානම්.

ගතවුණු දශක 2කට වඩා වැඩි කාල පරිච්ඡේදය තුළ සාධනීය දේ අපි ඉතා හොඳින් උකහා ගෙන නිෂේධනීය දේ ඉතා හොඳින් බැහැර කළ බව අපේ දේශපාලන භාවිතයෙන් ඔප්පු කොට තිබෙනවා. හැබැයි අපි අත් නොහරින දෙයක් තිබෙනනවා. එදා 1988-89කාලයේ පැන නැගුණු අරගලය තුළ තිබුණු අරමුණු ඒ කියන්නේ මව්බිමේ ස්වෛරීභාවය, මව්බිමේ නිදහස පිළිබඳ අරගලය අපි කිසි සේත්ම අත් නොහරින  අරගලයක්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලය අපි කිසි සේත්ම අත්හරින්නේ නැහැ. ඒ වගේම පොදු ජනතාවගේ ආර්ථික  අයිතිවාසිකම් පිළිබඳ අරගලය කිසි සේත්ම අත්හරින්නේ නැහැ. හැබැයි තවදුරටත් සන්නද්ධමය ක්‍රියාකාරකම් ඒ අරගලයේ ප්‍රධාන මෙවලමක් නොවන බව අපි තේරුම් ගන්නවා.

මහජනයාත් එක්ක එකට යන දේශපාලන අරගලයක් අපට තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් අද අපට ඒ අරගලය අවශ්‍ය වී තිබෙනවා. 1980 දශකයට වඩා අපේ මාතෘභූමියේ නිදහස පිළිබඳ අරගලය අද අවශ්‍ය වී තිබෙනවා. ලෝකයේ බලවත් රාජ්‍යයන් භූ දේශපාලන ගැටුම්වල නිරත වී ඉන්නවා. ඒ ගැටුමේ ප්‍රධාන දඩබිමක් බවට ශ්‍රී ලංකාව පත්කර තිබෙනවා. එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය යන රටවල බල අරගලයේ ප්‍රධාන දඩබිමක් බවට අපේ රට පත්වී තිබෙනවා. රටේ විශාලම ආර්ථික සම්පත් එක්සත් ජනපද, ඉන්දීය සහ චීන සමාගම්වලට පවරා දී තිබෙනවා.

මේ වනවිට චීන පොහොර නැවක් රටවටේ කැරකෙමින් තිබෙනවා. ලෝකයේ බොහෝ රාජ්‍යයන් අපේ ශාඛ නිරෝධායන ආයතනයේ සහතික පිළිගන්නවා. එවැනි  ආයතනයක් ආනයනික කාබනික  පොහොරවල අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් තිබෙන බව දෙවරක් සහතික කර තිබෙනවා. නමුත් ඒ පොහොර අඩංගු නැව ආපසු නොයා රට වටේ කැරකෙමින් තිබෙනවා. වීසා නැති පුරවැසියෙක් බලහත්කාරයෙන් ඇතුල් වෙන්න උත්සාහ කරවා වගේ වැඩක්. අපේ රටේ කෘෂිකර්ම ඇමතිවරුන් චීන තානාපති කාර්යාල වෙත ගෙන්වාගෙන සාකච්ඡා කරනවා. ඒ වගේම චීන තානාපති නිලධාරීන් ඇමතිවරුන් හමුවී සාකච්ඡා කරනවා. ශාඛ නිරෝධායන ආයතනයේ නිලධාරීන් මේ ක්‍රියාමගින් විශාල පීඩනයකට ලක්කර තිබෙනවා.

අපේ රට චීනයේ විශාල ණය කන්දකට හිරකර ජාතික සම්පත් චීන රජයට පවරා දෙමින් තිබෙනවා. ඒ වගේම කොළඹ වරායේ බටහිර ජැටිය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පවරා දීම සඳහා සැලසුම් සකස් කරමින් තිබෙනවා. අනෙක් පැත්තෙන් කෙළවරපිටිය යුගදනවි බලාගාරය, ඊට අවශ්‍ය නල පද්ධතිය සහ ගබඩා පද්ධතිය ඇමරිකානු නිව් පෝට්‍රස් සමාගමට පවරා දීමට කටයුතු කරනවා. අපේ රට සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමේ අයිතියක් අපට ඉතිරි කර නැහැ. සෙලෙන්දිවා ආයතනය පිහිටුවා පැරණි ගොඩනැගිලි, වානිජ ඉඩම්, ගොවි ජනතාවට අයිති ඉඩම් සේල් එකේ දාලා තියෙනවා. රටේ සියලුම ජාතික උරුමයන් බලවත් රාජ්‍යයන්ගේ මනදොළ සපුරන ආර්ථීක උපාය මාර්ගයේ ගොදුරු බවට පත්කර තිබෙනවා.

ඒ වගේම ආර්ථිකය පැත්තෙන් බැලුවත් 1988-89 කාලයට වඩා ආර්ථික අර්බුදය පළල් වී ගැඹුරු වී තිබෙනවා. 1988 දී ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 49,000යි. අද එය ලක්‍ෂ 8 ඉක්මවා තිබෙනවා. එදා ආනයන අපනයන අතර පරතරය ඩොලර් කෝටි 70ක් වෙනකොට අද එය ඩොලර් කෝටි 800 ඉක්මවා තිබෙනවා. දුප්පත්භාවයේ ගිලිටීනයට අපේ ජනතාව එදාට වඩා ඇද දමා තිබෙනවා. නිෂ්පාදනය කඩා දමා තිබෙනවා. සමාජයේ අපරාධ එදාටත් වඩා විශාල  වශයෙන් වැඩිවී තිබෙනවා. මේ නිසා නව ආර්ථික මාවතක් පිළිබඳව අගලයක් අද අපට අවශ්‍යයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නව අරගලයක් අපට අවශ්‍යයි.

අද රටේ පාලනය තිබෙන්නේ තනි පුද්ගලයෙක් අතේ. කැබිනට් ඇමතිවරුන් මාධ්‍ය හමු පවත්වමින් කැබිනට් පත්‍රිකා නිසි පරිදි අනුමත නොකරන බව කියනවා. ඒවට කිසි සේත්ම ඇහුම්කන් නොදෙන පාලනයක් තිබෙන්නේ. කැබිනට් මණ්ඩලය දන්නැති, පාර්ලිමේන්තුව දන්නැති සියල්ල මෙහෙයවන බලයක් නිර්මාණය වී තිබෙනවා.

ගෙවී ගිය 73 වසර විසින් ඔප්පු කරමින් තිබෙන්නේ ගමන් කරමින් තිබෙන මේ මාවත සම්පූර්ණයෙන් අසාර්ථක බවයි. ආර්ථීක, දේශපාලන හෝ සමාජීය වශයෙන් අපේ රට අඟලක්වත් ඉදිරියට ගෙනියන්න සමත් වී නැහැ. ඒ වෙනුවට වංචා, දූෂණය, නාස්තිය සහ ජාතික සම්පත් විනාශ කිරීම කේන්ද්‍රගත කරගත් පාලනයක් බිහිවී තිබෙනවා.

එදා 1988-89 කාලයේ රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු දහස් ගණනක් ඝාතනය වූ වීරවරුන්, වීරවරියන් කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යමක් ලබාගන්න මේ අරගලයේ නිරත වූයේ නැහැ. මේ සමාජයේ ලොකු-කුඩා හැම කෙනෙක්ම පොළඹවා තිබෙන්නේ අනෙකා පීඩාවට පත් කරමින් තමන් ජයග්‍රහණය කිරීම සඳහා වූ තරගයක. එවැනි සමාජයක තමන්ට පෞද්ගලිකව කිසිවක් අපේක්‍ෂා නොකොට සමාජ යහපත වෙනුවෙන්, සාතිශය බහුතරයක් පෙළෙන අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට පිළිතුරු සෙවීම වෙනුවෙන්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැවැන්ත අරගලයක් දියත් කළා. එහිදී තම ජීවිත පරිත්‍යාග කළා. ඔවුන්ගේ අධිෂ්ඨානය, ඔවුන්ගේ ධෛර්යය සහ ඔවුන්ගේ කැපකිරීම අපි අපේ ජීවිතවලට ඇතුළත් කරගත යුතුයි.

මේ රටට උස් නිදහසත්, ආර්ථික සමෘද්ධියත් ප්‍රජාතන්ත්‍රවාදයත් අත්පත් කරදිය හැකි වන්නේ එවැනි උස් හැඟීම් සහිතව සංවිධානය වූ මිනිසුන්ගෙන් පමණයි. මේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කරන අපේ පක්‍ෂයට මඩ, අවලාද නැගීම් දිගටම සිදු කරනවා. ඒවා කුඩා කෙඳිරිලි පමණයි.

අනාගතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නැතිව අතරමං වූ තරුණ පරපුර රට අත්හැර යන්න පෙළ ගැසී සිටිනවා. අපි ඔවුන්ට කියන්නේ රට අත්හැර යාමෙන් විසඳුම් ලැබෙන්නෙත් නැහැ. හැම දෙනාටම රට අත්හැර යන්නත් බැහැ කියලා. අපේ ඈත ගම්වල ගොවි ජනතාව තමන්ගේ ගොවිතැන් සඳහා පොහොර ඉල්ලමින් අරගල කරනවා. කතෝලික පියතුමන්ලා පාස්කු  වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ඉදිරියට ඇවිත් තිබෙනවා. අපේ හාමුදුරුවන් වහන්සේලා පවතින තත්වයන් පිළිබඳව විශාල වේදනාවකික් අලුත් බණක් දේශනා කරන්න පටන් ගෙන තිබෙනවා. ගුරු අරගලය, වෘත්තීය සමිති ව්‍යාපාරයේ අරගල, කර්මාන්තකරුවන්ගේ අරගල ආදී හැම තීරුවකම අරගල දියත් වී තිබෙනවා.

අපේ රටේ ලාභ උපයන්නේ ආයෝජකයන් නොව කුඩා ඩීල්කරුවන් කණ්ඩායමක්. කොවිඩ් වසංගතය හමුවේ පවා මේ ඩීල්කරුවන් ලාභ උපයන අයුරු අපි දකිනවා. මේ තත්වයට එරෙහිව සමාජයේ සියලුම කණ්ඩායම් ඉදිරියට ඇවිත් කතා කරනවා. ලියමින් සිටිනවා.

මේ අලුත් දේශපාලනයේ, අනාගතය නිර්මාණය කරන දේශාපලනයේ මධ්‍යස්ථානය අපි නිර්මාණය කළ යුතුයි. මේ රට තව දුරටත් කෙඳිරිගාමින් ඉබි ගමනින් යා යුතු රටක් නොවෙයි. සංවර්ධනයේ කොඩිය අරගෙන වේගයෙන් ඉස්සරහට යන්න පුළුවන් රටක්. රටේ සියලු ජන කොට්ඨාසයන්ට තමන්ගේ සංස්කෘතිය, ආගමික ඇදහිලි සහ විශ්වාසයන් මත සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් අපි නිර්මාණය කළ යුතුයි. එය නිර්මාණය කළ හැකි බහුජන ව්‍යාපාරය අපි ගොඩනැගිය යුතුයි.

පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයෙන්  පසුව විශාල ජන වරමක් රැගෙන බලයට පත්වූ කණ්ඩායම ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවගේ දැඩි විවේචනයට පත්වූ කණ්ඩායමක් වී තිබෙනවා. ආණ්ඩුව ඇතුළේ ගැටුම් නිර්මාණය වී ඒකමතියක් නැතිව බිඳුණු කණ්ඩායමක් නිර්මාණය වී තිබෙනවා. මේ වැනිම විවේචනයක් 2015-19 පාලනයට එල්ල වුණා. ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාමාර්ග මේ පාලනයට හේතුවී තිබෙනවා.

මේ නිසා මේ රටට ආදරය, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය පදනම් කර ගනිමින් රට නව මාවතකට පරිවර්තනය කළ හැකි නව මාවතක් පිළිබඳව සාකච්ඡාව සියලු ජනතාව සමග සිදු කරන්න අපි ලැහැස්තියි. රටගොඩනැගීම සඳහා ඉන්ද්‍රජාලිකයන්ට කිසිවක් කළ නොහැකියි. අපි ඉදිරිපිට ඒ බව ඉතා හොඳින් ඔප්පු වී තිබෙනවා. මේ නිසා තමන්ගේ දරුවන් පිළිබඳව ආදරය, අනාගතය පිළිබඳ අපේක්‍ෂාවන් පොදි බැඳගත් සාමූහික ප්‍රයත්නයක් දරන දේශපාලන ව්‍යාපාරය අප ගොඩනගනවා.

දශක 7කට වැඩි කාලයක් විශාල අත්හදා බැලීම් ප්‍රමාණයක් සිදුකොට තිබෙනවා. බණ්ඩාරනායක මහත්මයා, ඔහුගේ බිරිඳ, ඔහුගේ දියණිය, ඩී.එස්.සේනානායක මහත්මයලා, ඩඩ්ලි සේනානායක මහත්මයලා සහ ඔවුන්ගේ ඥාතීන්, මහින්ද රාජපක්‍ෂ මහත්මයා, ඔහුගේ සොහොයුරා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා වගේම මුදල් අමාත්‍යවරයා හැටියට අනෙක් සොහොයුරාත් පත්කරගෙන අත්හදා බැලීම් කර තිබෙනවා. ඔබ ඉදිරියේ තිබෙන ශේෂ පත්‍රය මොකක්ද? දූෂිතභාවය ඉහවහා ගිය, කඩා වැටෙන ආර්ථිකයක්. අපරාධවලින් පිරුණු සමාජයක්.

අපි ඔබට යෝජනා කරන්නේ මේ රට නව පරිවර්තනයකට  ලක්කළ යුතු බවයි. ඒ වෙනුවෙන් අපි ඔබට ආරාධනා කරනවා. අපි එළඹී සිටින්නේ ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකට. මේ සන්ධිස්ථානයේදී රට ගොඩනැගීමේ දිශාවට ගෙන යන්න ඕනෑ. අන්න ඒනිසා තමයි 1988-89 කාලයේ දිවිපිදූ අපේ වීරවරයන් සහ වීරවරියන් සැමරිය යුතු වෙන්නේ. ඔවුන් ගැන කවි ලියමින්, ඔවුන් ගැන කතා කරමින් ඔවුන් සිහිපත් කරමින් විතරක් පලක් නැහැ. අප කළ යුතු වන්නේ විවිධ රාජ්‍යයන්ගේ දඩබිමක් බවට පත්කර තිබෙන අපේ මාතෘභූමිය නිදහස් කර ගැනීමයි. අපේ ආර්ථික උපායමාර්ගය සකස් කර ගැනීමේ සහ සම්පත් කළමනකාකරණය කර ගැනීමේ අයිතිය  අපි අත්පත් කරගත යුතුයි. දූෂිත දේශපාලනයෙන් රට නිදහස් කරගත යුතුයි. තමන්ගේ ජීවිත කාලය තුළමිනිසෙක් හැටියට ජීවත් වී මිය යාමේ අයිතිය සියලු දෙනාට තහවුරු කළ යුතුයි. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගේ වෙළී සිටිනවා වෙනුවට අභිමානයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගිය යුතුයි.

අප කිසිවෙක් මේ දේශපාලනයේ නිරත වන්නේ පෞද්ගලිකව කිසිවක් උපයා ගැනීමේ අරමුණින් නොවේ. මේ මාතෘභූමිය ලෝකයේ ඉහළම රාජ්‍යයන් සමග කරට කර තරග කරන්න පුළුවන් තත්වයකට පත්කළ යුතුයි. අද අසරණභාවයට පත්කර තිබෙන මාතෘභූමියට මීට වඩා යහපත් අනාගතයක් ගොඩනගා සම රාජ්‍ය අයිතිවාසිකම් හිමිවන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිර්මාණය කර දිය යුතුයි.

එදා ඝාතනය ලක්වූ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සියලුම සහෝදරවරුන් සහෝදරවරියන් අපේක්‍ෂා කළේ මීට වඩා යහපත් රටක්. ඒ රට අපි නිර්මාණය කළ යුතුයි. එදා ජීවිත පරිත්‍යාග කළ සහෝදර සහෝදරියන්ගේ අරමුණු අපේ ජීවිතවලට උකහා ගත යුතුයි. එසේ උකහාගෙන ජයග්‍රහණයේ මාවත කරා යාමට අපි සියලු දෙනාටම ධෛර්ය ප්‍රාර්ථනා කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතා විමුක්ති පෙරමුණ නම් වෘක්ෂයේ හටගත් සියලු මල් ඵලදරනවා නිසැකයි…

Exit mobile version