රනිල්ගෙ ඔලුවත් මහින්දගෙ ඇඟත් එකතු වුනොත් රට ගොඩ දාන්න හැකි බව ජනතාව හිතනවා… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Ranil-Ananda

රනිල් වික්‍රමසිංහගේ ඔලුවත්, මහින්ද රාජපක්ෂගේ ශරීරයත් එකට එක් කළහොත් මේ රටට විශාල සේවයක් කළ හැකි බව ජනතාව කී අයුරු තමාට මතක යැයි නාරාහේන්පිට අභයාරාධිපති මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ ( 24) සවස නාරාහේන්පිට අභයාරාමයට ගොස් විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණගැසුණු අවස්ථාවේ දී ය.

අනතුරුව ආනන්ද හිමියෝ මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ ද කීහ.


“මම මේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි කථා කරන්නේ. අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පස් වතාවක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වුණා. ඒ කාලය තුළ රටේ ජනතා නායකයෙකු වශයෙන් එතුමාට කළ යුතු, කළ හැකි සියල්ලක්ම මං හිතනවා එතුමා අතින් ඉටු වුනා කියලා. අංග සම්පූර්ණ අය කොතනකවත් නෑ. නොයෙකුත් අඩුපාඩුකම් දුර්වලකම් තිබුණත්  රටට ජාතික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආගමික වශයෙන්, රටේ නායකයෙකු වශයෙන්  කළ හැකි සියල්ලක්ම එතුමා රට වෙනුවෙන් සිද්ධ කළා. “

“ඕන කෙනෙක්ව විවේචනය කරන්න අපට පුලුවන්. නමුත් මම හිතන්නෙ නෑ මේ රටේ විවේචනය නොවුන නායකයෙකු ඇති කියලා. පසුගිය වකවානුව තුළ එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් රාජයට පත් වුණා. කෙසේ වෙතත් අපි යට ගියාව පැත්තක දාමු. මේ රටේ පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මා. “

“ එතුමා විවේක සුවයෙන් ඉඳලා නැවත වාරයක් පක්ෂයේ නායකයා විදියට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණීම අප සැමටම හොඳයි කියන එකයි මගේ විශ්වාසය. ඒ මොකද අපි එතුමාව පක්ෂ දේශපාලන වශයෙන් නොවේ පුද්ගලික වශයෙන් නිරන්තරව ආශ්‍රය කළා. ඒ කාල සීමාව තුළ අපේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවෝ, බ්‍රාහ්මණවත්තේ සීවලී හාමුදරුවෝ මම ආදී පිරිස  අපි නිරන්තරව  හමුවෙලා කතා බහ කළා. . “

“රටේ ජනතාව ලොකු බලාපොරොත්තුවක් ඇති කරගෙන හදපු යහපාලන ආණ්ඩුවම මේ රට විනාශ කරනවා කියන සංකල්පය ජනතාව තුළ එදා තිබුණා. අපි තුළත් තිබුණා. රටේ පාලකයෝ අයහපත් නම් හමන සුළඟත්, වහින වැස්සත් වෙනස් වෙනවා ස්වභාවධර්මය වෙනස් වෙනවා කියලා බුදුගුණ අලංකාරයේ ඉතාම පැහැදිළිව තිබෙන දෙයක් තිබෙනවා. “

“ අපි ඒවා මුසු කරගෙන තමයි ජනතාව ලඟට ගිහින් කරුණු කාරණා පහදලා දිලා මේ රට ගොඩගන්න පුලුවන් හොඳ නායකයෙක් මේ රටට පත් කරන්න ඕනයි කියන එක කිවුවෙ. ජනතාව අද නායකයෙක් පත් කරගත්තතා. අද ඒ ජනතාවම කථා කරලා අපෙන් අහනවා ඔබ වහන්සේලා කවුද මේ පත් කරගත්ත නායකයෝ කියලා.“
“ඒ නිසා පක්ෂ දේශපාලන පැත්තක දාලා ඔබතුමාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලා හිටිනවා මේ වෙලාවේ පක්ෂයට වඩා අපේ රට, අපේ ජාතිය වැදගත්, අපේ ජාතිය උතුම්, අපේ රට උතුම්. මම දන්නවා ඔබතුමාට රට ගැන හිතන්න පුලුවන්, ජනතාව ගැන හිතන්න පුලුවන් හොඳ මනසක් ඔබතුමා ලඟ තිබෙනවා.“

“.මේ මුළු කැබිනට් මණ්ඩලයම අද ප්‍රාණ ඇපකාරයෝ බවට පත්වෙලා. රටේ අඩුපාඩු, ජනතාවගේ අඩු පාඩු පිළිබඳ කතා කරන්නෙ නැතිව තම තමන්ගේ ආරක්ෂාව පිණිස යම් යම් කටයුතු කරනවා.“

“මේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩමවා කළ පොහොසන් කාලයේ. එදා දේවානම්පියතිස්ස රජතුමාට අපේ මිහිඳු මහ රහතන් වහන්සේ දුන් අවවාදය මොකද්ද?.“

“මහරජ ඔබ මේ රටේ අයිතිකාරයෙක් නොවේ. ඔබ මේ රටේ භාරකාරයෙක්“ කියන එකයි එදා මතක් කළේ. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“දැන් මේ රට ගොඩගන්නට ඔබ තුමාගේ සහයෝගය ලබා ගන්න ඕන. මං හිතනවා ඔබතුමා ගැන ජනතාව මොන මට්ටමින් හිතුවත් ඔබතුමාට එය ලබා දෙන්න පුලුවන්කම තිබෙනවා. ඔබතුමාගේ පාක්ෂිකයෝ, ඔබතුමාගේ පැරණි පාක්ෂිකයෝ මොන මට්ටමින් කල්පනා කළත් අපි විශ්වාස කරන්නේ ඔබතුමාට හොඳ බුද්ධියක් තිබෙන දුර දක්නා නුවණක් තිබෙන යමක් කරන්න පුලුවන් නායකයෙක් කියන එකයි.“


Exit mobile version