මා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වෙන්නෙ නෑ… ඉවත් කරන්නත් බෑ… කොල්ලුරේ කතා කරයි!

raja-kollure

ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ   එම පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍ය කාරකසභාව තීරණය කළේය. ඊට හේතු වූයේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදෙන    ගුරුවරුන්ගේ වැටුප් කැපීම, ඔවුන්ව මර්ධනය කිරීම, රාජ්‍ය බලය යොදා බිය ගැන්වීමට උත්සාහ කළ බව කී   ඔහුගේ  ප්‍රකාශයන්ය.

වර්ජිත ගුරුවරු පාසල් පැමිණ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලි සක්‍රීය කළ අද (25) ලංකසර කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කළ  වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ සමග කෙටි සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේය.

මේ අප නැගූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරුය.


ප්‍රශ්නය  – රාජා කොල්ලුරේ කියන්නේ ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ සභාපතිවරයා  පමණක් නොවේ.  දේශපාලන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයෙක් ලෙස කීර්තිමත් නමක් දරා සිටින පුද්ගලයෙක්. මොකද ඔබට සිදුවුණේ?

පිළිතුර – මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරමින් සිටියදී තමයි මාව  වයඹ ආණ්ඩුකාර දූරයට. පත් කළේ. මම මේ පක්ෂයෙන් ඉවත් වන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබව පක්ෂයෙන් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාවට හැකියාවක් තියෙනවාද?

.

පිළිතුර – ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ  මධ්‍යම කාරක සභාවට  මට විරුද්ධව විනයානුකූලව  ක්‍රියා කිරිමේ බලයක් නැහැ. මධ්‍යම කාරක සභාවේ ගත් තීරණය සම්බන්ධයෙන් කුමන පියවරක් ගත යුතුද යන්න පිලිබඳව මම සලකා බලමින් සිටිනවා

ප්‍රශ්නය – ඔබව පක්ෂයෙන් ඉවත් කිරිමට හේතු වූන කාරණය කුමක්ද?

පිළිතුර – වයඹ ආණ්ඩුකාරවරයා හැටියට මට ලැබී තිබෙන  බලතල පාවිච්චි කරලා මෙතෙක් වසා දමා තිබෙන පාසල් යළි  ඔක්තෝම්බර් 21 විවෘත කරන්න කියලා යෝජනාවක් ආවා. මම ඒ යෝජනාවට අනුව කටයුතු කළා.

පාසල් විවෘත කිරිමේදී මෙම  වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා යම් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් විනය විරෝධී ක්‍රියාවක් කළොත් ඔහුට විරුද්ධව විනායානුකූලව ක්‍රියා කරන බව මම ප්‍රකාශ කළා. ඒ එක්කම මම ප්‍රකාශ කළා පරීක්ෂණයකින් පසුව විනයානුකූලව කටයුතු කිරීමකින් පසුව යම් කෙනෙකු විනය විරෝධි කටයුත්තක් කර තිබෙනවා නම් ඔවුන්ගේ වැටුප් අත්හිටුවිම සඳහා ක්‍රියා කිරීමට අදහස් කරන බව.

මේ සම්බන්ධයෙන් යම් වෘත්තීය සමිති කිපුණා. මට කරන්න දෙයක් නැහැ. මම  ක්‍රියාත්මක කරන්න තීරණය කළේ රාජ්‍ය ප්‍රතිපත්තිය. මගේ ප්‍රකාශය නිසා තමයි මාව පක්ෂයේ සභාපති තනතුරෙන් ඉවත් කළේ.

 

ප්‍රශ්නය – ආණ්ඩුකාරවරයා වශයෙන් ඔබ ගත් තීන්දු තීරණයන්ට බලපෑමක් කිරීමට කොමියුනිස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හැකියාවක් තියෙනවාද?

පිළිතුර – කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුකාරවරයා වශයෙන් මා ගත් තීන්දු තීරණයන්ට විරුද්ධව කටයුතු කිරිමට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවට කිසිදු අයිතියක් නැහැ.

ප්‍රශ්නය  –  ඔබට ආණ්ඩුකාරවරයා ලෙස  පාසල් විවෘත කිරිම තිබෙන බලය පැහැදීලි කළොත්?

පිළිතුර – පළාතේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභා නොමැති අවස්ථාවක බලය තිබෙන්නේ ආණ්ඩුකාරවරයාටයි. ඒ වගේම පළාත් සභාවලට තමයි අති බහුතරයක් පාසල් අයිති. මා කළේ ජනාධිපතිවරයාගේ සහ රේඛීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි    ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරිමයි..

ප්‍රශ්නය – පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයෝ පක්ෂයෙන් දොට්ට දාලා කොමියුනිස්ට් පක්ෂයෙ බලය අල්ල ගන්න කරන වැඩක්ද?

පිළිතුර – එහෙමත් වෙන්න පුලුවන්. මම  කොමියුනිස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ.  එතකොට මගේ වයස අවුරුදු 20යි. මේ වන විට මම කොමියුනිස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන අවුරුදු 63ක් පමණ වෙනවා‍.

මම කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස ක්‍රියා කර තිබෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ තරුණ ව්‍යාපාරයේ මම කටයුතු කර තිබෙනවා. දැන් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරනවා.

මම මේ පත්වීම   ගැනීමට පෙර පක්ෂයට දැන්නුවා ජනාධිපතිවරයා මාව ආණ්ඩුකාරවරයා හැටියට පත්කරන්න තීරණය කරලා තියෙනවා කියලා. දැනුම් දුන්නාම  පක්ෂය එය අනුමත කළා.

ප්‍රශ්නය – ඔබ වගේ ජ්‍යෙෂ්ඨයො  පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පක්ෂයට  වාසියක් සිදුවෙනවාද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළිතුර – කොහෙත්ම නැහැ. පක්ෂයට සිදුවුණේ අපකීර්තියක් මිසක් හොඳක් නෙවෙයි.  මෙහෙම ගියොත්  පක්ෂයට ඉදිරි ගමනක් නැති වෙයි.

 

Exit mobile version