දැන් දේශපාලකයන්ට  වැඩ කරන්න වෙන්නේ ජනතාව කියන විදිහට!  එහෙම නොවුණොත් අපිටත් ගහයි !

හිටපු අගමැති රනිල් කියයි...

රට තුළ නිර්මාණය වුණු ආර්ථික අර්බුදය මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත් මෙම අර්බුදයේ පාලනය ඇත්තේ ජනතාව අත බැවින් මේ මොහොතේ දේශපාලකයන්ට ජනතාවට අවශ්‍ය  න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීමට සිදුව ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

ඊයේ ස්වර්ණවාහිනිය්    වැඩ සටහනකට සහභාගී වෙමින් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා එම කරුණ සිහි තබාගෙන රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ කමිටුවක් මඟින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් කළ යුතු දේ කඩිනමින්ම තීරණය කළ යුතු බව අවධාරණය කළේය.

ඉන්ධන, විදුලිය ආහාර ගෑස් ආදිය නොමැතිවීම සහ ආර්ථික ගැටලු මත ජනතාව තුළ ඇතිව තිබූ පීඩනය මත පසුගියදා මිරිහානේ පැඟිරිවත්ත ප්‍රදේශයෙන්  පටන් ගත් උද්ඝෝෂණ රැල්ල මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී අති බවත් එය දැන් අපට අපේක්ෂා කළ යුතු තත්ත්වයක් වන අර එතැනට එන්නට කලින් මුලින්ම කැබිනට් ඇමති වෙනස් කිරීමකින් පාලනය කරගත හැකිව තිබූ බවත් පෙන්වා දුන්නේය.


එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළතුරු දෙමින්  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ   මෙසේද අදහස් දැක්වීය.

“ මේ උද්ඝෝෂණයේ න්‍යාය පත්‍රය හසුරුවන්නේ ජනතාව. එය වෙනස් කරන්න දේශපාලන පක්ෂවලට බෑ. එහෙම වුණොත් අපේ ගෙවල්වලටත් ඔවුන් ගසාවි. මේ මොහොත් ජනතාවට අවශ්‍ය පීඩනයට සහනයක්. මේ ජන නැගිටීම විශේෂයි.

සාමාන්‍යයෙන් වෙනදාට අපි දකින්නේ වැඩ කරන කම්කරු පන්තියේ ජනතාව වීදි බැස අරගල කරනවා. නමුත් මෙවර අපි විශේෂ ප්‍රවණතා දෙකක් මේ තුළ දකිනවා. එකක් මුල්ම වතාවට මධ්‍යම පන්තිය අද උද්ඝෝෂණය කරන්නට පැමිණ සිටිනවා. ඒ වගේම වයස අවුරුද 30ට අඩු තරුණ තරුණියන් තමන් අපේක්ෂා  කරන රටක් වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා. මේක අපි දේශපාලන පක්ෂ හැටියට බැහැල කරන මෙහෙයුම්වලට වඩා වෙනස්. මෙතන ඉන්න පිරිස් පසුගිය මැතිවරණයේදී ගොඨාභය ජයග්‍රහණය කරවන්න වෙහෙස වුණු අය.

ඔවුන් දැන් ඉල්ලන්නේ මැතිවරණයක් නෙවෙයි.

මේ අය ඉල්ලන විසඳුම් ලබාදිය යුතුයි. මුලින්ම මේ පීඩනය අඩු කිරීමට අපි මොනවද කරන්න ඕන කියන කරුණ සලකා බැලිය යුතුයි. අද රට පවතින්නේ දරුණු ආර්ථික අර්බුදයක. දැන් ඉන්දියාවෙන් චීනයෙන්  ලැබුනු ණය මුදල්වලින් ගියාට මේ මුදල් මැයි මාසේ මැද වනවිට වියදම් වී අහවර වෙනවා. එතැනින් එහාට රටට අවශ්‍ය විදුලිය, ගෑස් ගන්න මුදල් කොහෙන්ද?.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපට ජාත්‍යන්කර මූල්‍ය අරමුදල  සමඟ සාකච්ඡා කළ යුතුයි. නමුත් මේ සඳහා මාස ගණනාවක් ගත වෙන්න පුළුවන්. එතෙක් කොහොමද අපි සල්ලි හොයා ගන්නේ?. කරන්න තියෙන්නේ අප චීනය, ඉන්දියාව, ජපානය දකුණු කොරියාව යුරෝපා සංගමය වැනි රටවල් සමග කතා කරල අපට අවශ්‍ය මුදල් ප්‍රමාණය හදා ගන්න එක. එහෙම නැතිව සංචාරකයන්  ආවම  මුදල් එයි. විදේශ ගත ශ්‍රමිකයන් මුදල් එවයි කියල බලාගෙන හිටියට හරියන්නේ නෑ “ යි ද පැවසීය.

Exit mobile version