තිස්ස අත්තනායක මෙතෙක් නොකියූ කතාවලින් ටිකක් ලංකාසරට හෙළිකරයි

පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලයක් හිමි කරගෙන සිටින ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය හමුවේ විපක්ෂයේ ප්‍රධානතම කාර්ය භාරය සමඟි ජනබල වේගය මත පැවරී ඇත. මේ තත්වය හමුවේ විපක්ෂයේ භූමිකාව සහ දේශපාලනයේ නොකී කථා කෘතිය පිළිබඳවත් එහි කර්තෘ සමඟි ජනබල වේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සමඟ ලංකාසර කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය : දේශපාලනය වෙනුවෙන් වරෙක ඔබට සිරගත වීමට පවා සිදු වුණා. සිරගෙදර ගත කළ ජීවිතය පිළිබඳ මතකය අවධි කළොත් ?
පිළිතුර : ඇත්තටම සිර ගෙදර කියන්නේ මිහි පිට අපායක්. මම එහෙම කියන්නේ දින 55 ක අත්දැකීමක් තිබෙන නිසයි. මෙහි බරපතල වැරදි කිහිපයක් සිදු වෙනවා. රිමාන්ඩ් සිරකරුවෙක් කියන්නේ සැකකරුවෙක් පමණයි. ඔහු නීතිය ඉදිරියේ වැරදිකරුවෙක් වෙන තුරු නිවැරදිකරුවෙක් කියන පිළිගැනීම නීතියේ තිබෙනවා. නමුත් අවාසනාවකට මෙන් රිමාන්ඩ් සැකරුවන් දාන්නෙත් දඩුවම් නියම වූ සිරකරුවන් අතරටයි.
තවත් පැත්තකින් අධිකරණය මඟින් පුද්ගලයින් රිමාන්ඩ් භාරයට පත් කිරීම නිසා සිරගෙවල්වල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමට හේතු වී තිබෙනවා. එහිදී පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන අංශ තුනෙහි වැරදි ක්‍රියා පිළිවෙත් නිසා සිර ගෙවල්වලට ගාල් කරන පිරිස් වැඩිවී තිබෙනවා. යම් පුද්ගලයෙක් රිමාන්ඩ් භාරයට පත් කරන්නේ ඔහුව අධිකරණය මග හරිනු ඇතැයි යන සැකය නිසයි. එලෙස සැක නොසිතන ඕනෑම කෙනෙකුට ඇප ලබා දීමේ අයිතිය ඇප පනත යටතේ අධිකරණයට තිබෙනවා. නමුත් අවාසනාවකට මෙන් ලංකාවේ සිදු කරන්නේ සෑම සැක කරුවෙක්ම රිමාන්ඩ් භාරයට පත් කිරීමයි. මේ නිසා සිර ගෙවල්වල ඉඩකඩ ඇහිරී මතුව තිබෙන දුෂ්කරතා ඛේදනීයයි.
මගේ අත්දැත්දැකීමට අනුව නම් සිරගෙදර කියන තැනට රටේ සාමාන්‍ය පුරවැසියෙක් නොයා යුතුයි. සිර ගෙදර කියන්නේ එතරම්ම ජරා ජීරණ වූ සමාජය නරක් කරන ස්ථානයක් වන නිසයි. සිරගෙදරින් එළියට පැමිණෙන පුද්ගලයා වුනත් සමාජගත වන්නේ වැරදිකරුවෙකු ලෙසයි. එපමණක් නොවේ. සිර ගෙදරින් එළියට එන පුද්ගලයා නැවත සිර ගෙදරට නොඓන ආකාරයට ඔහුට වෘත්තීය පුහුණුවක්, දැනුමක් හා අවබෝධයක් දෙන වැඩපිළිවෙලක් නැහැ.
ප්‍රශ්නය : සිර ගෙදර තුළ ඔබට කාමර පහසුකම් ලැබුණද ?
පිළිතුර : මුල් කාලයේ කිසිදු පහසුකමක් ලැබුනේ නැහැ. සිර කූඩුවට දාලා සවස 5.00ට ඉබි යතුරු දා වැහුවාම නැවත වැසිකිළියට යන්නවත් ලැබෙන්නේ පසුදා පාන්දර 5.00 යි. බොහෝ දෙනෙක් රඳවා තිබෙන්නේ ලොකු ශාලාවල. ඒ එක් ශාලාවක 50කට 60 කට ඉන්න ඉඩකඩ තිබෙනවා. නමුත් ඒවායේ ඒ ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් සිරකරුවන් පුරවනවා. ඔවුන් අතුරින් එක් අයෙකුට සමාජ රෝගයක් තිබුනොත් සියළු දෙනාට එය පැතිරෙනවා.

ප්‍රශ්නය : ඔබට ලැබුණු ආහාරපාන කොහොමද ?
පිළිතුර : මම රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි නිසා ආහාර තුන් වේලටම ගෙදරින් ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබුනා. අනෙක් අයට එහෙම නැහැ. සාමාන්‍යෙයන් ඒ අයට රාත්‍රී කෑම වේල ලැබෙන්නේ සවස 2.00 ට. රාත්‍රී කන විට ඇතැම් විට ඒ ආහාර නරක් වී තිබෙනවා.


ප්‍රශ්නය : නිදාගන්න ඇදක් මෙට්ටයක් ලැබුණද ?
පිළිතුර : නැහැ. මුල් කාලයේ බිම පැඳුරක් එලාගෙන තමයි නිදා ගත්තේ. හරියට නින්ද යන්නේ නැහැ.

ප්‍රශ්නය : වැසිකිළි පහසුකම් කොහොමද ?
පිළිතුර : අන්තිමයි. කිසිම පහසුකමක් නැහැ. මිහිපිට අපායක්. ඒ ගැන වචනවලින් පැහැදිලි කරන්න අපහසුයි. මෙලොව මිනිසෙකුට එහි තිබෙන තත්වය ඉසිළිය හැකි එකක් නොවෙයි.

ප්‍රශ්නය : පසු කළෙක ඔබව බන්ධාගාර රෝහලට ඇතුළත් කළා නේද ?
පිළිතුර : ඔව්. බන්ධනාගාර රෝහලෙත් ඔය කියන පහසුකම් නැහැ. වෛද්‍යවරු මාව පරීක්ෂා කර බන්ධනාගාර රෝහලට මාව ඇතුළත් කළ පසු එහි තිබෙන වාට්ටු 6 න් එකකට යෑමට මට අවස්ථාව ලැබුනා. එහි ගත කළ අවසන් කාල පරිච්ඡේදයේදී එම වාට්ටුවේ කොරිඩොවේ ඇඳක් මෙට්ටයක් පාවිච්චි කරන්න මට අවස්ථාව උදා වුණා.

ප්‍රශ්නය : සිර ගෙදර ගත කළ කාලය තුළ එහිදී ඔබට හමු වූ හොඳම යහළුවා කවුද ?
පිළිතුර : මම සිටි කාලය තුළ ටිරාන් අලස්, ප්‍රේමලාල් ජයසේකර, හමුදා බුද්ධි නිලධාරීන් සහ රජයේ ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනෙක් සිටියා. ඔවුන් හැමෝම ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුනා.
ප්‍රශ්නය : දින චර්යාව ගෙවුණේ කොහොමද ?
පිළිතුර : හැමදාම පාන්දර 5.00 ට බෙල්එක නාද කරලා අපිව අවදි කරනවා. ඉන් පසු සියළුදෙනා පෝලිම් ගස්සවනවා. අපි හැමෝටම අංකයක් ලැබුණා. සිරගෙදර මගේ අංකය 6002. ඒ අංකයට අනුව දිනකට පස් වතාවක් පොලිම් ගස්සවා සිරකරුවන් ගණන් කරනවා.

ප්‍රශ්නය : සිර ගෙදර සිටි දින 55 තුළ මුහුණ දුන් අමිහිරිම අත්දැකීම කුමක්ද ?
පිළිතුර : එක් දිනක් රාත්‍රියේ අපි නිදාගෙන සිටි ශාලාවේ විදුලි කාන්දුවක් ඇති වී එක් පැත්තක විශාල ගින්නක් ඇති වුණා. අපේ වෙලාවට ශාලාව පුරා ගින්න පැතිරුනේ නැහැ. ශාලාවේ සිටි සිරකරුවන් ගින්න නිවා දැමුවා. එහෙම නොවුනා නම් දෙරගුළු පිටින් ඉබි යතුරු දමා වසා තිබීම නිසා ශාලාව තුළම අපි ගින්නට හසු වී මිය යෑමට ඉඩ තිබුණා. එය තමා භයානය හා අමිහිරිම අත්දැකීම.

ප්‍රශ්නය : සිරගෙදර ගත කළ කාලය තුළ පොත් පත් පරිශීලනය කිරීමට ඔබට අවස්ථාව ලැබුණද?
පිළිතුර : පොත්පත් සහ පුවත්පත් ආදිය මට ගෙදරින් ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබුණා.

ප්‍රශ්නය : “නොකියූ කථා” මැයෙන් පසුගිය දා එළි දක්වන ලද කෘතිය ඔබ රචනා කළේ සිර ගෙදරදී නේද ?
පිළිතුර : ඔව්. අඩු පහසුකම් මධ්‍යයේ වුවත් සිර ගෙදර ගතකළ දුක්බර කාල සීමාව තුළ මේ පොත මා රචනා කළා.
ප්‍රශ්නය : මෙවැනි පොතක් රචනා කිරීමේ අරමුණ කුමක්ද ?
පිළිතුර : රටේ ජන සමාජය නොදන්නා දේශපාලන අභ්‍යන්තර කථා මෙම පොතට ඇතුළත් කර තිබෙනවා. මෙහි අන්තර්ගතය වන්නේ දේශපාලනයේ තිරය පිටුපස සිදුවූ දේවල් බව කිව යුතුයි.
යහපාලන ආණ්ඩුව බලයට පත්වූ වහා මාව අත්අඩංගුවට ගත්තා. එලෙස මාව අත්අඩංගුවට ගත්තේ සොරකමක්, වංචාවක්, දූෂණයක් සම්බන්ධව නොවෙයි. දේශපාලන අරමුණක් මුල්කර ගෙනයි. අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දැක්වූයේ මාධ්‍ය සාකච්ඡාවකදී මා සිදු කළේ යැයි කියන ප්‍රකාශයක් බවයි. මෙලෙස මාව අත්අඩංගුවට ගෙන දින 55 ක් රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ කාලය තුළ එහි තිබුණ පරිසරයත් සමඟ මෙවැනි පොතක් ලිවිය යුතු යැයි මට අදහසක් පහළ වුණා. ඒ අනුව තමයි “නොකියූ කථා” නැමති පොත ලිවීම ආරම්භ කළේ. ඒ අනුව ඒ කටයුතු සාර්ථකව නිම කර පසුගියදා පොත එළි දක්වා එය මහා නායක හිමිවරුන් ඇතුළු ආගමික නායකතුමන්ලාට, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට හා පාර්ලිමේන්තුවේ කථානායකතුමාට පිළි ගැන්නුවා.

ප්‍රශ්නය : මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකතුමන්ලාගෙන් පසුව ජනාධිපති, අගමැති හා කථානායවරයාට පොත පිළි ගැන්වීමට බලපෑ කිසියම් සුවිශේෂි කාරණයක් තිබෙනවාද ?
පිළිතුර : ඔව්. ඒ තිදෙනා ගැන විශේෂත්වයක් තිබෙනවා.

ප්‍රශ්නය : කුමක්ද ඒ විශේෂත්වය ?
පිළිතුර : වැලිකඩ බන්ධනාගාරයේ මාව සිරිගතකර සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයත්, මහින්ද රාජපක්ෂ මහත්තයා, මහින්ද යාපා අබේවර්ධන වර්තමාන කථානායකතුමාත් මාව බලන්න එහි පැමිණියා. එතුමන්ලා මගේ දුක සැප උවමනාවටත් වඩා සොයා බලමින් මට සිදු වූ අසාධාරණයට අප්‍රසාදය ඵලකළා. එපමණක් නොවේ, එතුමන්ලා නිරතුරුවම මාව ශක්තිමත් කළා. ඒ නිසා එතුමන්ලට කෘතවේදිත්වය ඵල කිරීම සඳහා පොත පිළිගැන්වීමට තෝරා ගත් බව කියන්න කැමතියි. ඒ වගේම තවත් කිහිප දෙනෙකුට පිළිගැන්වීය යුතුව තිබෙනවා. පොතේ දෙවෙනි මුද්‍රණය ලැබුණු වහා එය ඉටු කරනවා.

ප්‍රශ්නය : “නොකියූ කථා” කෘතිය තුළින් වැඩිපුරම කථාබහට ලක් කර තිබෙන දේශපාලනඥයා කවුද ?
පිළිතුර : මේ පොත තුළින් කවුරුත් විවේචනය කර නැහැ. ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳ මම දකින කෝණයෙන් සහ මගේ දේශපාලන අත්දැකීම් අනුව ඉදිරිපත් කර තිබෙනවා. මෙහි කාටවත් මඩ ගහලා හෝ චෝදනා කර නැහැ. නමුත් හාස්‍ය ඊට ඇතුළත් කර තිබෙනවා.
මේ කෘතිය සඳහා පුද්ලගයින් කිහිප දෙනෙක් පාදක කරගෙන තිබෙනවා. ඒ අතර රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ යන මහක්වරු සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙන්ම තවත් දේශපාලනඥයින් ගණනාවක් ඇතුළත් වෙනවා.

ප්‍රශ්නය : මේ චරිත අතුරින් කටුකතම චරිතය ලෙස ඔබ දකින්නේ කවුද ?
පිළිතුර : රනිල් වික්‍රමසිංහ මහතායි.

ප්‍රශ්නය : ඒ සඳහා ඔබ දකින හේතු මොනවාද ?
පිළිතුර : කැළණිය විශ්ව විද්‍යාලයේ සමවාදී ශිෂ්‍ය පෙරමුණේ සභාපතිවරයා ලෙස මා කටයුතු කළ අවධියේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස සිටියේ රනිල් වික්‍රමසිංහ මහතායි. ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් මා ඔහුව හඳුනා ගත්තා. අවුරුදු 30 කට වැඩි කාලයක් ඔහු සමඟ මා එකට වැඩ කර තිබෙනවා.
විශ්ව විද්‍යාලයෙන් පිටවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මා පත් වුනාට පසු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, මහ ලේකම්, දිස්ත්‍රික් සංවිධානයේ සභාපති වැනි තනතුරු දරමින් වික්‍රමසිංහ මහතා සමඟ මා එකට වැඩ කළා. ඔහුව රටේ ජනාධිපති කරවීම මුල සිටම මගේ එකම අභිප්‍රාය වුණා. අවාසනාවකට මෙන් එය ඔහු තේරුම් ගත්තාද නැද්ද කියා මා දන්නේ නැහැ. අවසානයේදී දිගට හරහට පහර දුන්නෙත් මට. සිර ගෙදරට දැම්මෙත් මාව. ඒ වගේම ඔහුගේ දැඩි පළි ගැනීමකට ලක් වුනෙත් මම. මෙය තමා සත්‍ය කථාව.

ප්‍රශ්නය : “නොකියූ කථා” කෘතිය සඳහා ඔබ තෝරා ගනු ලැබුවේ දේශපාලනයේ කුමන කාල පරාසයක්ද ?
පිළිතුර : එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස සිටි කාලයේ කථා බෙහෝමයක් මෙහි තිබෙනවා. මේ කෘතියේ අන්තර්ගත සුවිශේෂිතම කාරණය වන්නේ 2015 ජනාධීපතිවරණයයි. ඒ ජනාධීපතිවරණයේ මෛත්‍රිපාල සිරිසේන මහතා කොහොමද අපේක්ෂකයා වුනේ කියන කාරණය පිළිබඳව සමාජගතව තිබෙන කරුණු නිවැරදි නැහැ. ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේ කෙසේද ?, කුමන පසුබිමකද ?, එයට මුල් වුනේ කවුද? එයට එරෙහි වුනේ කවුද? මේ සම්බන්ධ බොහෝ කරුණු මෙහි අන්තර්ගතයි.
ප්‍රශ්නය : 2015 ජනාධීපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කරනවාට එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වුණා කියන්නේ ඇත්තද ?
පිළිතුර : නැහැ. එතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධීපති කොමිෂම හමුවේ ප්‍රකාශ කර තිබුනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධීපති අපේක්ෂකයා කරන්න විරුද්ධ වන විට තමන් පමණක් ඒ සඳහා පක්ෂව කටයුතු කළ බවයි. ඒ කථාව සත්‍යයක්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එවකට ජනාධීපති අපේක්ෂකයා වීමට උත්සහ කළා. ඔහුව අපේක්ෂකයා කළ යුතුය යන ස්ථාවරයේ මා එදා තදින්ම සිටි බව කිව යුතුයි.

ප්‍රශ්නය : රනිල් වික්‍රමසිංහ ජනාධීපති අපේක්ෂක වනවාට එදා විරුද්ධ වුණේ කවුද ?
පිළිතුර : පොදු දේශපාලන ව්‍යාපාරයක් තුළ හැසිරෙන අනෙක් කණ්ඩායම් ඊට විරුද්ධ වුණා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ එහි ප්‍රධාන තැනක් ගෙන සිටියා. උන් වහන්සේ එදා පැහැදිලිවම ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා හැර පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුව තමා අහඹු ලෙස මෛත්‍රිපාල ඒ සඳහා තේරුවේ. එසේ නොවුනා නම ජනාධීපති අපේක්ෂකයා විය යුතුව තිබුනේ කරු ජයසූරිය මහතායි. ඔහු එනවට රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස විරුද්ධ වුණා. එහිදී මගේ ස්ථාවරය වුනේ කරු ජයසූරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවයි.
මේ තත්වය හමුවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධීපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට පක්ෂය තුළ තනී තීන්දුවකට එළඹුනේ රනිල් වික්‍රමසිංහ මහතා යැයි ප්‍රකාශ කළොත් එහි කිසිදු වැරැද්දක් නැහැ.

ප්‍රශ්නය : නමුත් අද සමඟි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරු හා ක්‍රියාකාරීන් එදා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධීපති අපේක්ෂකයා කළ යුතු බවට පෙනී සිටියා නේද?
පිළිතුර : පක්ෂය ගත් තීරණයෙන් පසු ජනාධීපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ අය කැප වුණා. නමුත් මම විරුද්ධ වුණේ ප්‍රතිපත්තිමය කාරණාවක් මතයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස ජනාධිපති අපේක්ෂකයා වෙන්දේසි නොකළ යුතුය යන ස්ථාවරයේ මා සිටියා.
2010 ජනාධීපතිවරණයේදීත් මෙය වෙන්දේසි කළා. නමුත් 2015 ජනාධීපතිවරණය අපට ජයගත හැකි බව මහ ලේකම්වරයා ලෙස මා දිගින් දිගටම පෙන්වා දුන්නා. ඊට අවශ්‍ය පසුබිම දිගු කළක සිට මා නිර්මාණය කළා. බිම් මට්ටමේ අලුත් සංවිධාන ජලායක් ඇති කළා. ඡන්ද පොළ මට්ටමෙන් සංවිධායකවරු 12000 ක් පත් කරමින් අනෙකුත් සියළු සංවිධාන ශක්තිමත් කළා. පක්ෂ යාන්ත්‍රණය රට පුරා සවිමත් කළා. ඒ සුදානම් කළ යාන්ත්‍රණයෙන් වෙනත් පුද්ගලයෙක් ප්‍රයෝජන ගත්තා. එදා මා විරුද්ධ වූ මෛත්‍රිපාල සිරිසේනව ජනාධීපති අපේක්ෂකයා කර රටත් පක්ෂයත් විනාශයට පත් කර තිබෙනවා. එදා මා කීව පරිදි කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළා නම් නියත වශයෙන්ම අපි ජය ගන්නවා. එහෙම වුණා නම් රටත් අපේ පක්ෂයත් ආරක්ෂා වී තිබෙනවා.

ප්‍රශ්නය : “නොකියූ කථා” කෘතිය තුළින් හෙළි කිරීමට නොහැකි වූ තවත් කථා තිබෙනවාද ?
පිළිතුර : ඔව් තවත් බොහෝ කථා තිබෙනවා. ඇතැම් ඒවා මෙහි අන්තර්ගත කළේ නැහැ. එසේ කළා නම් ඒ තුළින් කාට හෝ අපහාසයක් වනු අතැයි මා කල්පනා කළා. ඒ නිසා එවැනි දෑ ගැන අවධානය යොමු නොකර බොහොම ප්‍රවේශමෙන් මෙම කෘතිය සම්පාදනය කළ බව කිව යුතුයි. නමුත් මෙම කෘතිය ලිවීමෙන් පසු එකතු වූ කරුණු බෙහෝමයක් තව තිබෙනවා. ඒ මඟ හැරණු සියල්ල එකතු කර තවත් කෘතියක් නිර්මාණය කිරීමට මගේ අදහසක් තියෙනවා.
ප්‍රශ්නය : පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් හිමි කර ගෙන සිටින ආණ්ඩුවේ ක්‍රියා කලාපය හමුවේ සමඟි ජනබලවේගයේ ගමන් මග සැලසුම් කර තිබෙන්නේ කොහොමද ?
පිළිතුර : පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් හිමිව තිබෙන ආණ්ඩුව මේ වනවිට අසමත් ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා. මේ අසමත් ආණ්ඩුව කිසි විටකත් සමඟි ජන බලවේගයට අභියෝගයක් නොවන බව කිව යුතුයි.
විවිධ වූ අභියෝග මධ්‍යයේ සමඟි ජනබල වේගය පිහිටුවා ඉතා කෙටි කළක් තුළ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දී මන්ත්‍රී ආසන 54 ක් ලබා ගැනීමට අපට හැකි වුණා. මෙය ලංකා ඉතිහාසයේ අලුත් වාර්තාවක් ලෙස හැඳින්විය හැකියි. ඒ ජයග්‍රහණයත් සමඟ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් දැන් ආරම්භ කරමින් තිබෙනවා.
ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සමඟි ජන බල වේගය දියත් කරන වැඩපිළිවෙලේ පළමු අදියර පක්ෂ ව්‍යවස්ථාව සම්පාදනය කළ වහා ආරම්භ කිරීමට අප සැළසුම් කර තිබෙනවා. ඒ අනුව ආසන සංවිධායකවරු පත්කීරී‍ම‍‍, සාමාජිකයන් බදවා ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කිරීම, බිම් මට්ටමේ සංවිධාන ජාලය ගොඩනැඟීම ඒ වගේම වෘත්තීය සමිති, තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, භික්ෂු සංවිධාන ඇතුඵ අනුබද්ධිත සංවිධාන ගොඩ නැඟීම ප්‍රමුඛ වැඩසටහන් ගණනාවක් ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙන බව කිව යුතුයි.

ප්‍රශ්නය : ඔබතුමා පක්ෂ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම ගැන කථා කළා. නමුත් සමඟි ජනබල වේගය කෙටුම්පත් කර තිබෙන පක්ෂ ව්‍යවස්ථාව එක් පුද්ගලයෙක් වටා බලය කේන්ද්‍රගතවූ ඒකාධීපති ව්‍යවස්ථාවක් බවට ඔබේ පක්ෂය අභ්‍යන්තරයෙන් හඩක් නැගෙමින් තිබෙනවා නේද?
පිළිතුර : සමඟි ජනබල වේගයේ ව්‍යවස්ථාව සම්පාදනය කර තිබෙන්නේ විද්වතුන්ගේ හා අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් පසුව බවත් කිව යුතුයි. මේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම නිතිඥ මණ්ඩලයක් හරහා සිදු වුවත් ඊට අපි හැමෝම හවුල් වුණා. ඒ වගේම මෙම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක ව්‍යවස්ථා අධ්‍යනය කළා. ඒ අනුව අපට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට හැකි වී තිබෙනවා.
සමඟි ජනබල වේගයේ ව්‍යවස්ථාව සම්බන්ධව හැමෝම සතුටු නොවන්නට පුළුවන්. නමුත් ජයග්‍රහණය ලබා ගන්නේ ව්‍යවස්ථාවකින් නොවන බව මතක තබා ගත යුතුයි. ජයග්‍රහණය ලබා ගත හැක්කේ ක්‍රියාවෙන් හා නිසි වැඩපිළිවලකින් බව විවේචනය කරන අයට මකත් කර දිය යුතුයි.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව මෙන් ඔබේ පක්ෂයේ ව්‍යවස්ථාවෙන් නායකත්වය වෙත අසීමිත බලයක් ගොඩ නගා දීම තුළින් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් හානියක් සිදුවන බව සමඟි ජනබල වේගයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කොට තිබෙනවා. එහෙම වුනොත් කොහොමද පක්ෂ ඉදිරියට ගෙනියන්නේ.?
පිළිතුර : මෙතෙක් එවැනි මතයක් කිසිදු මන්ත්‍රීවරයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැහැ. පක්ෂ ව්‍යවස්ථාවෙන් නායකත්වයට වැඩි බලයක් හිමි විය යුතුයි. එහෙම නොමැතිව නායකයෙකුට ඉදිරියට ගමන් කිරීමට හැතියාවක් නැහැ. නායකත්වයට බලය නොදී ඒ බලය බාහිර කණ්ඩායම්වලට ලබා දීමෙන් ඵලක් වන්නේ නැහැ.
පක්ෂ ව්‍යවස්ථාවෙන් නායකයාගේ බලතල කපා හැර නායකයා පාගලා දාලා ජයග්‍රාහි ගමණක් යෑමට නොහැකියි. ඒ නිසා නායකයට බලතල ලබා දෙන ගමන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා. පක්ෂ ව්‍යවස්ථාවක් ගැන අවබෝධයක්, දැනුමක් නොමැති අය කෑගහනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කිසි කෙනෙක් අද වන තුරු ප්‍රසිද්ධියේ මේ ගැන කථා කර නැහැ.

ප්‍රශ්නය : කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ රටතුළ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්න රැසක් නිර්මාණය වී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. මේ තත්වය හමුවේ ඔවුන්ට සහන ලබා ගැනීම සඳහා මැදිහත් වෙනවා වෙනුවට විපක්ෂය අද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේ ඇයි ?
පිළිතුර : ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් අපි විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙලට එරෙහිව සටන් කරමින් සිටින බව කිව යුතුයි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ රට තුළ කළහැකි දේශපාලන ව්‍යාපාරය කුමක්ද ? අපි පළමුව ජනතාවගේ ආරක්ෂාව බලා ගත යුතුයි. රැස්වීම් පවත්වන්න, සාකච්ඡා කරන්න, උද්ඝෝෂණ කරන්න සෞඛ්‍ය නීතිරීතිවලට අනුව ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ සියළු අභියෝග මධ්‍යයේ ඉතා ප්‍රවේශමෙන් ජනතාව වෙනුවෙන් සැලසුම් සහගත වැඩ පිළිවෙලක් අප ක්‍රියාවට නංවා තිබෙනවා.
ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. නමුත් දේශපාලන වෙනුවෙන් රටේ ජනතාව බිල්ලට දීමට අපි සුදානම් නැහැ. ආණ්ඩුව කොරෝනා වෛරසයට මුවා වී ජනතාව පීඩාවට පත් කරමින් ගෙන යන වැඩපිළිවෙල කිසි විටකත් අපි අනුමත කරන්නේ නැහැ. ඊට එරෙහිව විරෝධතා වැඩසටහන් ගණනාවක් පසුගිය කාලය තුළ අප පවත්වා තිබෙනවා.
විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරමින් ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙමින් අප ගෙන යන වැඩ පිළිවෙල හමුවේ වැරදි නිවරදි කර ගන්නවාද නැද්ද කියා ආණ්ඩුව තීරණය කළ යුතු කාරණයක්. මේ ආණ්ඩුව හැසිරෙන ආකාරය බලන විට කිසි විටෙකත් වැරදි නිවැරදි කර ගන්නා බවක් පෙනෙන්නට නැහැ. මේ නිසාම ආණ්ඩුවේ ක්‍රියා කලාපය හමුවේ ජනතාව ආණ්ඩුව කෙරෙහි දැඩි කළ කිරීමකින් සිටින බව කිව යුතුය.

ප්‍රශ්නය : පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත් වුණා. එම පක්ෂයේ හිටපු මහ ලේකම් ලෙස මේ ගැන අද ඔබට දැනෙන්නේ කුමක්ද ?
පිළිතුර : එක්සත් ජාතික පක්ෂයට මෙවැනි ඉරණමක් අත් වන බව 2015 සිට මා පෙන්වා දුන්නා. එම පක්ෂයේ ක්‍රියාදාමයන්, පක්ෂයේ හැසිරීම, නායකත්වයේ ක්‍රියා තලාපය වැනි හේතු නිසා පක්ෂයට මෙවැනි අවාසනාවන්ත තත්වයකට ඇදවැටී තිබෙනවා.
මේ ගමන පළමු වැරැද්ද පටන් ගත්තේ පක්ෂයේ අභ්‍යන්තරයේ සිදු කළ යුතු වෙනස්කම් සිදු නොකිරීමයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මේ තත්වයට ඇඳ දැමීමට 2015 ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්ෂකයා ලෙස පත් කිරීමට ගත් තීන්දුව ප්‍රධාන වශයෙන් බලපෑවා.
2015 ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යුතු බවට ඔහුගේ නම යෝජනා වූ මෙහොතේම මා ඊට තරයේම විරුද්ධ වුණා. ඒ නිසාම පක්ෂයේ ප්‍රබලයින් මට එදා දිගට හරහට පහර දුන්නා. නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද ? එලෙස මට පහර දුන් අයට ගෙදර යාමට සිදු වුණා. මා තාමත් ක්‍රියාකාරී දේශපාලනයේ සිටිනවා.
මෙරට දේශපාලන ධාරවේ ශක්තිමත්ව සිටි පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එවැනි පක්ෂයක් මෙලෙස විනාශවීම ගැන මා කණගාටු වෙනවා. විනාශ වී ගිය එක්සත් ජාතික පක්ෂයට නැවත නැඟිසිටිය නොහැකි බව මගේ විශ්වාසයයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමඟි ජනබලවේගය ශක්තිමත් කරන්න සියළු දෙනා එකට ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළකට මගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.

ප්‍රශ්නය : එවැනි ක්‍රියාදාමයක් මේ වන විට ආරම්භ වී තිබෙනවද ?
පිළිතුර : මේ ගැන විවිධ කථාබහ කෙරෙනවා. බිම් මට්ටමේ ජනතාව කියා සිටින්නෙත් එකතු විය යුතු බවයි. මේ එකතුවීම ගැන නිල වශයෙන් තවම සාකච්ඡා ආරම්භ වී නැති වුනත් නිල නොවන සාකච්ඡා පවත්වා තිබෙන බව කිව යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතික පක්ෂය අප සමඟ එක් වෙනවා නම් ඒ සඳහා අපි විවෘතව කාරණා දෙකක් ඔවුන්ට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක් කාරණයක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කර තිබෙන සමඟි ජනබලවේගයට එකතු වී එක් කණ්ඩායමක් ලෙස ඉදිරි අභියෝගවලට මුහුණ දීමයි. එසේ නොමැති නම් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ තිබෙන සමඟි ජන සන්ධානයට පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට එක්විය හැකියි.

Exit mobile version