ජන බල විරෝධ දහයක බලය එක් කළ වෙල්ගමගේ විනාඩි 10

ගතවුණු සතිය  

සතිය ගෙවී ගියේ රට තීව්‍රවන සමාජ දේශපාලන ගැටුම් අතරිනි. තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පැමිණි ආණ්ඩුව පත් කළ මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් ඇති අවස්ථාව නිද්‍රාශීලී දේශපාලන ධාරාවන් ද ජවසම්පන්න කර ඇත.

සජබ විරෝධය

පසුගිය සතියේ  රටේ අවධානය යොමුකළ වැදගත් දේශපාලන සිද්ධිය වූයේ සමගි ජනබලවේගයේ උද්ඝෝෂණය ය. රට කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා විශාල පිරිවැයක් දරනු ලැබුවේය. මෙම උද්ඝෝෂණය යටපත් කළ කොවිඩ් තත්වය යළි මතුවී බිහිසුණු වාතාවරණයක් ඇති කරන බවට වූ සෞඛ්‍ය අංශවල පූර්ව නිගමන මත පිහිටා රජය උද්ඝෝෂණය වැලැක්වීමට කටයුතු කළේය. පොලිසිය භාර ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර හැකිනම් උද්ඝෝෂණ කර පෙන්වන ලෙස අභියෝග කරනු ලැබුවේය.  පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වැළැක්වීමට ගත හැකි පියවර ගත්තේය. අධිකරණ නියෝග ගත්තේය.


මේ තත්වය තුළ  විරෝධතාවය පැවැත්වීමට සූදානම් කර තිබූ හයිඩ් පිටිය සඳහා කොළඹ නගරසභාව ලබා දුන් අවසරය අවලංගු කළේය.

ෆොන්සේකාගේ අකමැත්ත

මේ අවස්ථාව වනවිට ඉතාම අසීරු අඩියකට සජබ නායකත්වය පත් වී තිබිණි. උද්ඝෝෂණයට මාර්ග තුනකින් ජනතාව ඇතුළු කරගැනීමට සැලසුම් කර තිබිණි. දැන් මේ මිනිසුන් රැස් කර තබාගන්නට තැනක් නැත. 15 දා රාත්‍රියේ විපක්ෂ නායක කාර්යාලයට සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, රෝහිණී කවිරත්න, චම්පික රණවක, මනුෂ නානායක්කාර, ජේසී අලවතුවල එක් වූහ. එහෙත් සරත් ෆොන්සේකා මේ අවස්ථාවට එක් වූයේ නැත. ඔහු මුල සිටම මෙම විරෝධතාවයට එකඟත්වයක් ප්‍රකාශ කළේ නැත.

පොලිසිය යොදා කරන මර්ධනය හමුවේ උද්ඝෝෂණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සජිත් මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියේය.  මන්ත්‍රීවරු කීප පලක්ම හිටියේ සරත් ෆොන්සේකා ගේ ස්ථාවරයේය. දුරකථනයෙන් ඔහුගේ අදහස විමසා සිටි අවස්ථාවේ දීත් සරත් ෆොන්සේකා කීවේ රටේ පවතින සෞඛ්‍ය තත්වය මත පොලිසිය විසින් තහනම් නියෝග සහිතව නවත්වා දැමීමට හදන උද්ඝෝෂණයක් මේ අවස්ථාවේ දී නොපැවැත්විය යුතු බවය.

එහෙත් තරුණ මන්ත්‍රීවරු මේ අවස්ථාව මග හැරීමට සූදානම් වුනේ නැත. පොලිසිය විසින් මාර්ග බාධක යොදා කොළඹට ඇතුළුවන්නට උත්සාහ කරන අය නවත්වන ස්ථානයේ එම පිරිස් උද්ඝෝෂණය කළ යුතු බව මේ අවස්ථාවේ දී තිස්ස අත්තනායක යෝජනා කළේය.

පිරිසේ පැමිණීම

මේ අතර 16 දා දහවල් වනවිට විශාල ජනතාවක් පොලිස් බාධක නොතකමින්  කොළඹට පැමිණියහ. දැන් මේ පිරිස හසුරුවා ගැනීමට තැනක් නැත. අයෙක් විහාර මහාදේවී උද්‍යානය යෝජනා කරති. තවත් අය ගෝල්ෆේසිය යෝජනා කරති. යන එන සියලු මං පෙත් පොලිස් බැරියර් දමා වසමිනි. අවසානයේ යෝජනා වූයේ ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ  විපක්ෂ නායක කාර්යාලය අසලට ජනතාව රැස් කරවා එතැන ජන රැළිය පවත්වා විසිර යෑමය.

එහෙත් මනුෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු ඇතුළු තරුණ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත විපක්ෂ නායක කාර්යාලයේ සිට විරෝධතා පා ගමන ගෝල්ෆේස් පිට්ටනිය දක්වා ගමන් කළේය. එහෙත් ගෝල්ෆෙස් පිට්ටනිය පොලිසිය දමා ප්‍රවේශයට ඉඩක් නොලැබෙන සේ වසා දමා තිබිණි. ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමන මෙහෙයවීමේ යෝජනාවකි. ඒ අවස්ථාවේ දී ඊට සජිත් එරෙහි වූයේය.

අනතුරුව ගෝල්ෆේස් හොටලය ඉදිපිට විරෝධතා රැළිය පැවත්වා විරෝධතාකරුවෝ විසිර ගියහ.

තිස්ස පල්ලිවල

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් කටුවාපිටිය පල්ලියට  සහ මීගමුව වත්තල දේවස්ථාන කීපයකට පසුගිය දා තිස්ස අත්තනායක ගියේය.    තිස්ස සහ කටුවාපිටිය පල්ලියේ පියතුමන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විනි. පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු නොවීමේ අවනඩුව පිළිබඳ පියතුමන්ගේ වේදනාත්මක විවේචනය දිගහැරෙමින් තිබිණි.

දේශපාලන අවස්ථාවන් විවිධාකාරය. පාස්කු ප්‍රහාරය එල්ල  වූ අවස්ථාවේ සිට පැමිණි පොදුජන පෙරමුණු දේශපාලකයන් නැත. දැන් පාස්කු ප්‍රහාරය වකවානුවේ පාලන බලයේ සිටි දේශපාලකයන් පල්ලිවලය. දැන් තිස්සගේ පැමිණීමෙන් කටුවාපිටිය පල්ලියේ පියතුමා ප්‍රමෝදයෙනි. එතුමා පවසා ඇත්තේ කාලයකින් දේශපාලකයෙක් කටුවාපිටිය පැත්තේ නොපැමිණි බවය.  තිස්ස සමග කාවින්ද ජයවර්ධනත්, හර්ෂණ රාජකරුණාත් ඒ අවස්ථාවට එක් වූහ.

ශ්‍රී ලනිපයේ සහ ආණ්ඩුවේ දීගය

එය තවදුරටත් නොපවතින එකක් බව මේ සතිය පුරාවටම යම් යම් ලකුණුවලින් ප්‍රකාශ වූයේය.  එහෙත් ශ්‍රීලනිපය අණ්ඩුවේ ඉන්නවග හෝ යන වග කෙළින්ම තවම ප්‍රකාශ නොකිරීම දක්නට ලැබිණි.

ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 දා    අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ පිහිටි දිස්ත්‍රික් කාර්යාලයේ   පැවති අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී මින් ඉදිරියට පැවැත්වෙන මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම මැතිවරණයට මුහුණ දිය යුතු බව ඒකමතික යෝජනාවක් සම්මත කරගත්තේය.

ඒ අතර ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය  මහින්ද  අමරවීරවීර මෙසේ කීවේය.  “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ අභිමානවත් ඉතිහාසයක් තියන පක්ෂයක්. අපි කාගෙවත් රූකඩ වෙන්න කැමති නෑ. අත ඔසවන්න කියන විට අත ඔසවන්නත්, දැන් අත පහළ දාන්න කියනවිට අත පහළ දාන්නත්  අපි ලෑස්ති නෑ.  කිසිවිටකත් මේ ආණ්ඩුවේ රූකඩ වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නෑ. “ මහින්ද අමරවීර පසුගිය 17 දා මෙසේ පැවසුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. පෙනෙන්නේ සබඳතා දෙදරා යන ලකුණුය.

ජනපති අගමැති සහ සඳහිරු සෑය

ජනාධිපති ගෝටඨායය දෙවර්ෂ පූර්ණ සැමරුම යෙදී තිබුණේ පසුගිය 18 දාය. එදිනම අගමැතිගේ උපන්දිනය ය. අගමැති අයියාට මුලින්ම සුබ පැතුවේ ජනාධිපති මල්ලීය. උපන්දිනයට කේක් කපන්නට පෙර අගමැති තුමා අභයාරාමයේ කිරි අම්මාවරුන්ගේ දානයට ගියේය.  අනතුරුව අයියා මලෝ අනුරාධපුරය බලා ගියහ. ඒ සඳහිරු සෑය විවෘත කිරීමටය.

ජනපති නැවතී සිටියේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේය. අගමැති නැවතීමට සූදානම් වී සිටියේ සිය මිත්‍රයෙකුගේ ප්‍රභූ නවාතැනකය. එහෙත් ජනාධිපති මල්ලීගේ ඇවිටිලිසහග ඉල්ලීම පිට අගමැති අයියා පූර්ව සැලසුම් වෙනස් කර අනුරාධපුර ජනාධිපති මන්දිරයට ගියේය.

අනතුරුව මේ සහෝදර ප්‍රභූවරු සඳ හිරු සෑය සඟ සතු කළහ.

යූඑන්පී ය නඩු මගට

යූඑන්පීය ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරමිනි. වජිර, රුවන්, රංගේ, අකිල, ඇතුළු පක්ෂ ප්‍රධානීන් සමග රනිල් ගේ මූලිකත්වයෙන් එක්වුණු මෙම ප්‍රතිසංවිධාන කමිටු රැස්වීමේ දී ජනතා මර්ධනය කෙරෙන ආණ්ඩුවේ හැසිරීමට එරෙහි දැවැන්ත අධිකරණ ක්‍රියාවලියක් සඳහා රනිල් ඒ අතර යෝජනා කළේය.  තමන් තමන්ගේ වගකීම නිසි ලෙස සිදු කර ඇති බවත්, වගකීම් පැවරූ සමහර පිරිස් අදාල වගකීම ඉටු නොකරනු තමන් නිරික්ෂණය කරන බවත් රනිල් මේ ප්‍රතිසංවිධාන රැස්වීමේ දී පැවසුවේය.

ජවිපෙ ගැන අනාවැකිය

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ග්‍රාමීය මට්ටමට ගොස් ජනතාව ආමන්ත්‍රණය කරමින් සිය දේශපාලන ක්‍රියාවලිය බිම් මට්ටමින් ආරම්භ කර තිබිණි. පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු ප්‍රධාන ක්‍රියාකාරිකයන් ගෙයින් ගෙයට ගොස් ජනතාව ආමන්ත්‍රණය කරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව දියත් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල හැසිරීම සම්බන්ධව ජාත්‍යාන්තර සඟරාවක් කළ සමීක්ෂණය ප්‍රතිඵල නිකුත් වී තිබිණි. එහි සඳහන් පරිදි ජවිපෙ සියයට 13ක් දක්වා සිය දේශපාලන කටයුතුවලින් ඉදිරියට පැමිණ ඇති බව  වාර්තා විය.

වෙල්ගමගේ අමතක නොවන අයවැය කතාව

සජබ උද්ඝෝෂණයට පසු දින එම මන්ත්‍රී කණ්ඩායම තමන්ට එරෙහිව දියත් කළ මර්ධනයට එරෙහිව පාර්ලිමේන්තුවේ හදිසියේම උද්ඝෝෂණයක යෙදුනේය.  බල්ලා බූරුවා, හරකා, ජංගිහොරා වැනි ග්‍රාම්‍ය වචන සබා ගැබ තුළ පා වී ගියේය.

පොලිස් ඇමති වීරසේකරට එරෙහිව  එල්ලවූ විරෝධය නිළියන්ට ජංගි, වැසියන්ට පොළු පහර වැනි විරෝධතා පාඨවලින් සමන්විත විය.

මේ අය වැය විවාදය අතශයින්ම උණුසුම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෙක් වශයෙන් සිට පසුව සමගි ජනබලවේගයට එක් වූ කුමාර වෙල්ගම ඊයේ පාර්ලිමේන්තුවේ දී කළ ආන්දෝලනාත්මක කතාවය. මන්ත්‍රීවරයා විසින් කීවේ ‘පෙට්‍රල් ෂේඩ් වල ඩේටා එන්ට්‍රි කරමින්“ සිටි, ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර නැති පිස්සෙක් රටේ විධායක ජනාධිපතිවරයා ලෙස පත්කරගැනීමේ ආදිනව මේ වනවිට අප විඳින බවය.

කුමාර වෙල්ගම පැවසුවේ   ඇමරිකාවෙ ෂෙඩ්වල වැඩ කරද්දි කොන්ද කෙළින් තියාගෙන ගෞරවාන්විත ලෙස ඇමතිකම් කළ දිනේෂ් ගුණවර්ධන වැනි පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් පක්ෂය තුළ සිටි බවත් ජී.එල් පීරිස්ගේ නිවසේදී තමන් යෝජනා කළේ එවැනි දේශපාලකයෙක් මේ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලෙස බවත්ය. අගමැතිවරයාගේ  පවුලේ ප්‍රශ්නය දැන් රටට කෙළවා ඇති අයුරු ගැන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කීවේය.

“ මේ එන්නෙ පාස්කු ප්‍රහාරයේ සාපය. අපි නෙමෙයි පඩි ගෙව්වෙ ඒ මරාගෙන මැරෙන එවුන්ට. ආණ්ඩුවෙන් පඩි ගෙව්වෙ. නීතියන් බේරෙයි. මේ සාපය ස්වභාධර්මයෙන් හා විශ්වයෙන් ලැබෙනවා. එය තමයි මේ ලැබෙමින් තිබෙන්නෙ. ජේ ආර්, චන්ද්‍රිකාට, මහින්ද මහත්තයගේ මුල් කාර්තු දෙකට කවුරුත් කිව්වෙ නෑ පිස්සෙක්  කියලා. ඒත් මිනිස්සු දැන් අත් දෙක උඩට උසලා හෙණ ඉල්ලනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුමාර වෙල්ගමගේ පාර්ලිමේන්තු කතාව දේශපාලනයේ බොහෝ පාර්ශව තවමත් කම්පනය කර ඇත

Exit mobile version