කොන්දේසි දමා උතුරේ දේශපාලනය හසුරුවන්න හදන පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ ය…

ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.තුලසි

දිනසේන රතුගමගේ –

පළාත් සභා මැතිවරණයේදී පිළිගත් දෙමළ දේශපාලන පක්ෂයක නාම යෝජනා සඳහා සියයට විස්සක නාමයෝජනා ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් මෙවර මහ මැතිවරණයේදී එම දේශපාලන පක්ෂයට  තම සහාය ලබා දෙන බව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් එක් කොන්දේසියක් වශයෙන් ඉදිරිපත් කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය කොන්දේසිවලට යටත්ව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ව දේශපාලන කටයුතු සඳහා එක් කර නොගන්නා බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුන්ගේ සෙසු කොන්දේසි මොනවාදැයි විමසූ විට ඔහු කියා සිටියේ එකම කොන්දේසියක් හෝ ඉදිරිපත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ සහය ලබා නොගන්නා බවය.

කොන්දේසින් විරහිතව ඔවුන් පැමිණ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට  ක්‍රියාකරන්නේ නම් ඔවුන්ගේ අනාගතය ගැන හා ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන සිතා යමක් කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකි බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.


ඔවුන්ගේ ඉතිරි කොන්දේසි මොනවාදැයි විමසූ විට ඔහු කියා සිටියේ ඔවුන්ගේ පලමු කොන්දේසියෙන්ම ඔවුන්ව එපා වූ බැවින් සෙසු කොන්දේසි ගැන විපරම් නොකළ බවයි.

නමුත් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් පිහිටුවා ගෙන සිටින ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමින්ගේ පක්ෂය දැනට යාපනයේ සන්ධානගතව සිටින සෑම දෙමළ සන්ධානයකටම ඔවුන්ගේ සියලුම කොන්දේසි ඉදිරිපත් කොට තිබේ.

එම සන්ධානවල පිරිස සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ පළාත් සභා මැතිවරණය සඳහා සියයට විස්සක නාම යෝජනා ප්‍රතිශතයකට ඔවුන්ගේ නම් ඇතුළත් කිරීමට අමතරව මේ මහ මැතිවරණයට පසුව එලඹෙන මහ මැතිවරණයක දී උතුරු නැගෙනහිර පළාත් සඳහා ඉදිරිපත් කෙරෙන නාම යෝජනා වෙනුවන් සියයට දහයක ප්‍රතිශතයක් ඉල්ලා සිටින බවයි.

මේ යෝජනාව මීට පෙර පැවති මහමැතිවරණ සමයේ දී ඔවුන් දෙමළ සන්ධානයේ නායකයාගෙන්ම අවස්ථා හතරකදී ඉල්ලා සිටීම නිසා සම්බන්ධන් මන්ත්‍රීවරයා කෝප වී ඔවුන්ව වවුනියාවේදී එලවා ගත් බව  වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්   පැවසීය.

ඉන් පසුව මේ මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමට ආසන්නයේ යළි එම ඉල්ලීම් ඉල්ලා සිටියත් කවරෙකු හෝ ඊට ඇහුම්කන් නොදීම නිසා ඔවුන් වෙනමම නාම යෝජනා උතුරේ දිස්ත්‍රික්ක කීපයකට ලබා දී ඇති බවද අඩෙයිකලනාදන් පෙන්වා දුන්නේය.

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් ඉල්ලා සිටින කොන්දේසි ප්‍රමාණය දොළහකට වැඩි බව කී හිටපු මන්ත්‍රීවරයා ඔවුන් දේශපාලන වශයෙන් ඔවුන්ගේ පක්ෂයට නාම යෝජනා සදහා ඉල්ලා සිටින කෝටාවට අමතරව ඔවුන් පුනරුත්ථාපනය වූ පාඨමාලාවන්ට අදාලව දේශීය හා විදේශීය රැකියා සඳහා ඔවුන්ට යම් අවස්ථාවක් ලබා දෙන මෙන්ද ඉල්ලා සිටින බව පැවසීය.

පුනරුත්ථාපනය වූ පිරිසට ඉඩම් හා නිවාස ලබාදීම මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තුරු යම් දීමනාවක් දෙමළ දේශපාලන පක්ෂ වලින් ඉල්ලා ඇතැයිද අඩෙයිකලනාදන්  කියා සිටියේය.

ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ කවර පදනමක් මතදැයි විමසූ විට ඔවුන් යුද්ධ කලේ දෙමළ ජනතාවගේ යහපත උදෙසා නිසා එම ඉල්ලීම සාධාරණ බව ද දෙමළ දේශපාලනඥයින්ට දේශපාලකයින් වීමට ශක්තිය ලැබුණේ ඔවුන් නිසා බවට පුහු තර්කයක් ඉදිරිපත් කරණ බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ සමගම දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය විසදීම හා යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබඳව  සොයා බැලීම යන ජාතික මට්ටමේ කාර්යයන් සඳහා තමන් සහය දක්වන දෙමළ දේශපාලන පක්ෂය  මැදිහත් විය යුතුයැයි ද ඔවුන්ගේ කොන්දේසි අතර වෙයි.

මේ පිළිබදව විමසූ  විට පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක තුලසියන් කියා සිටියේ මේ සියලුම කොන්දේසි ඔවුන් විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වා එම සාකච්ඡාවේ දී සම්මත කර ගන්නා ලද කොන්දේසි බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ දේශපාලන පක්ෂ උතුරු නැගෙනහිර දෙමළ දෙමළ ජනතාව රවටා ඔවුන්ගේ ඡන්දය ලබාගෙන බලයට පත් වීමෙන් පසුව ඔවුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම නවතා ලීම සදහා තම පක්ෂය කොන්දේසි සහිතව ඔවුන් සමග සන්ධානගත වීමට උත්සාහ කරන බව ද තුලසියන් පැවසීය.

 

Exit mobile version