“කන්නා “  වගේ යාලුවෙක් හොයා ගන්න… ඒ ඩොලර් එක්ලක්ෂ හැටදාහේ හයර් එක!

ගතවුණු සතිය

අලුත් අවුරුද්දේ අලුත් සතිය ආරම්භ වන්නේ අදය. ඉකුත් සතිය ගෙවුනේ බඩගින්න, බඩුමිල ඉහළ යෑම, තානාපති කාර්යාල වසා දැමීම, සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ යළි වැසී යෑම, කිරිපිටි හිඟය ඇතුළු  ඩොලර් හිඟය නිසා රටම බිහිසුණු ආර්ථික අගාධයක වැටෙමින් තිබිය දී අගමැති  පුද්ගලික ජෙට් යානයකින් තිරුපති යෑම සම්බන්ධ කතාවේ දිගු පෙළ ගැසෙමිනි.

ජෙට් යානය එවූවේ උගන්ඩාවේ තානාපතිවරයාව සිට   දැන් කෙන්යාවේ තානාපතිකම දරන වේලුපිල්ලේ කනනාදන් හෙවත් කන්නා බව සමාජ මාධ්‍ය කීවේය. අයෙක් කීවේ කනනාදන් හෙවත් කොළඹ ඉහළ පන්තියේ අයට කන්නා වූ මේ තැනැත්තා යුද සමයේ එල්ටීටීඊ සංවිධානයේ කළු සල්ලි සුදු කළ ඒජන්තයෙක් බවය. ඔහු පිල්ලෙයාන්ලා එක්ක සිටි බවත් කියැවිනි.

රජයට හිතවත් ඇත්තන් කන්නා ගැන කීවේ ඔහු සුපිරි ව්‍යාපාරිකයෙක් බවය. වර්ෂ 1986 දී උගන්ඩාවේ  නිව් ඉම්පීරියල් හෝටල් සමූහයේ ගිනුම්  රැකියාවකට ගොස්  ඉක්මනින්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ බව කීවේය.  ඒ මාධ්‍ය කීවේ රැකියාවේ ස්වරූපයත් සමගම  දේශපාලන සම්බන්ධතා ගොඩ නගාගෙන, අනතුරුව විදුලි ව්‍යාපෘති සඳහා ආයෝජනය කරමින් උගන්ඩා ආර්ථිකය හසුරුවන බලයක් සහිතව සිටි “හොඳම දෙමළා“ කන්නා බවය.  ඒ සටහන්වලට අනුව නම් කන්නා මාරය. අප්‍රිකානු කලාපයේ සුපිරි බලවතා කන්නාය. ඔහු වර්ෂ 2014 දී රාජපක්ෂ ආණ්ඩුවට  ජගත් මානව හිමිකම්  කොමිසම ඉදිරියේ නැවැරදි වීම සඳහා   අප්‍රිකානු රටවල ඡන්ද ලබා දීමට පුරෝගාමීව කටයුතු කර රට බේරාගත් විරුවාය.


ඔහු වර්ෂ 2013 දී මහින්ද රාජපක්ෂ රජය උගන්ඩාව හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගන්නා අවස්ථාවේ පත්කළ ලංකාවේ මුල්ම තානාපතිවරයාය.

ඔහු ඔහුගේ වියදමින් තිරුපති බැතිමතෙක් බව ඉන්දියානු මාධ්‍ය විසින් ප්‍රකාශ කළ අගමැතිවරයාට තිරුපති යන්නට කෙන්යාවේ සිට මේ ජෙට් එක ලංකාවට එවා තිබේ.

බලාගෙන යනකොට ඒ කතාව මාරය. කෙන්යාවේ සිට ලංකාවට එන වියදම අතහැරියකොට රත්මලානෙන් ඉන්දියාවට ගොස් අගමැතිට තිරුපති වන්දවා එන්නට රුපියල් තුන්කොටි තිස් දෙලක්ෂයකට ආසන්න මුදලක් රුපියල් වලින් වියදම් කර තිබිණි. හයර් එක ඩොලර්වලින් ගත්තොත්   දල වශයෙන් ඩොලර් එක්ලක්ෂ තිස් හත්දායකි.

එනකොට පිටි ටින් එක්ක ගේන්න….

රටේ අන්තිම ඩොලර් ටික වියදම් කරමින් පිට රට ගිය රාජ්‍ය ඇමති  නිමල් ලන්සාට වෙච්චි වැඩක් පසුගිය සතියේ මාධ්‍යවල කතා බහට ලක්වුනේය.

ආනයනයනික කිරිපිටි හිඟය. දේශීය කිරිපිටි නිශ්පාදනය රටට ප්‍රමාණවත් නැත.  රටේ හැම තැනම කිරිපිටි ගන්නට දිගු පෝලිම්ය. මිරිහානේ දී ගරු ජනාධිපතිතුමාටත් හූවක් වැදුනු බව කියන්නෙ පැලවත්ත කිරිපිටි  අලෙවි මධ්‍යස්ථානය ඉදිරියේ පිටි පැකට් එකක් ගැනීම සඳහා පෝලිමේ සිටි මිනිසුන්ගෙනි. ඒ වීඩියෝවක් අන්තර්ජාලයේ බෙදා ගත් කාන්තාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් යන්න වුනේය.

පෝලිමේ නොසිට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ලබන   පෙබරවාරි මාසය දක්වා සිටීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කීවේය.

බැංකුවලින් ණයවර ලිපි ලබා ගැනීමේ ගැටලුව හේතුවෙන් කිරිපිටි ආනයනය ප්‍රමාද වී ඇති බව ඔවුන් පෙන්වා දුන්නේය.  හේතුව  ඩොලර් හිඟය ය.   දේශීය හා විදේශීය බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම නොකරන බැවින් කිරිපිටි වෙළදපලට ඒම  ප්‍රමාද වූ බව ආනයන කරුවෝ පැවසූහ.

සංචාරයක් ගිය රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට ඔහුගේ බිරිය කෙටි පනිවඩයක් මගින් ගෙදර එනවිට කිරිපිටි ටින් එකක් රැගෙන එන්නැයි   තිබුණේ මේ ජරමර අතරය. රාජ්‍ය ඇමතිවරයා කීවේ ඒ පණිවිඩය එන විට තමන් සිටියේ ට්‍රාන්සිට් එකක බවය.

නිලධාරීන්ගේ වැරදි

හතර අතින් ආණ්ඩුව බැනුම් අසන විට ඇමතිවරුත් ජනාධිපතිවරයාත් ඒ වැරැද්ද පටවනු ලැබුවේ නිලධාරීන් වෙතය. හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය   බිඳ වැටුණේ නිලධාරීන්ගේ වරදින් බව ජනාධිපතිවරයා කීවේය.  ගෑස් හිඟය ලිට්‍රෝ සභාපති වගකිවයුතු බව නොකියා පැවසුවේය. එහෙත් රාජ්‍ය ඇමති නිමල් ලන්සා කීවේ ලිට්‍රෝ සභාපති තෙසාර ජයසිංහට ගහලා පැන්නිය යුතු බවය. හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තම අමාත්‍යාශයේ නිලධාරීන්ගෙන් සියයට 70කගෙන් නිසි උදව්වක් නොතිබුණු බවකී කෘෂිකර්ම ඇමතිවරයා  පැවසුවේ ඔවුන් සියලුදෙනා  රසායනික පොහොර මාෆියාවේ කොමිස් කාරයන් බවය.

කැබිනට් සංශෝධනය

කැබිනට් සංශෝධනයක් ගැන කියැවෙන්නේත් මේ අතරතුරය. කැබිනට් මණ්ඩල සංශෝධනයක් ජනවාරි 08 සිදුවන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය. වඩාත්ම සංවාදයට ලක් වූයේ  අගමැති මහින්ද  රාජපක්ෂ විශ්‍රාම ගන්නා බවත් අගමැතිකම  බැසිල්ට හෝ රනිල්ට ලබා දෙන  ලෙස ආණ්ඩුවේ ඇමතිවරු කරන බව කියන ඉල්ලීමය.

නව කැබිනට් සංශෝධනයට අනුව ප්‍රබල ඇමතිධූර දරන කීප දෙනෙකුගේ ඇමතිකම් වෙනස් වී රාජ්‍ය ඇමතිවරු කීප දෙනෙකුට කැබිනට් ඇමතිකම් ලැබෙන බවට වාර්තා පලවේ.  අමාත්‍යාංශ ලේකම්වරු, සංස්ථා සභාපතිවරු, වෙනස් වීමට නියමිතව බව කියැවිනි. රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරු මේ වනවිටත් වෙනස් වී හමාරය.

ජනපතිගේ සාකච්ඡාව

පුවත්පත් කතුවරුන් හා ජනපති අතර සාකච්ඡාවක් පසුගිය  27  . ජනපති මන්දිරයේ දී  පැවැත්වුනේය. විශේෂත්වය වන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනය වූ ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පුවත්පත් හතරේම කර්තෘවරුන්ට මෙම රැස්වීමට ආරධනා නොකිරීමය. ලේක්හවුස් ආයතනයෙන් ආරධනා ලැබ තිබුනේ තිනකරන් කර්තෘවරයා පමණි.

මෙහිදී පුවත්පත් කතුවරුන් ජනපතිව විමසා සිටියේ කැබිනට් ඇමතිවරුම කැබිනට් තීරණයකට එරෙහිව උසාවි යෑම ජනාධිපතිවරයා දකින ආකාරය ගැනය.  විමල් වාසු සහ උදය  මුල් කරගෙන ඇතිකරගත් මේ සංවාදයේදී ජනපතිවරයා ප්‍රාකශ කළේ කිසි දෙයක් සඟවාගෙන කටයුතු කර නැති බවය.  රටට හානියක්වන කිසිම දෙයක් තමන් විසින් සිදුකර නැති බවය.

අනතුරුව ජනාධිපතිවරයා අධිකරණයට ගිය කැබිනට් ඇමතිවරුන් තිදෙනා දැඩිව විවේචනය කළේය.  එය කැබිනට් සාමුහිකත්වය කැඩීමක් බව කී ජනපතිවරයා කීවේ වඩාත් සුදුසු මේ ඇමතිවරුන්  සිය ධූරවලින් ඉවත් වී මෙම විවේචනය කිරීම බවය.

සතියේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වූයේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීමය.  ජනාධිපති ලේකම්වරයා කලක් තිස්සේ ඇමතිවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටියේය.  චමල් රාජපක්ෂ ඇමතිවරයාත් ජනාධිපතිවරයා ඉදිරියේම ජනාධිපති ලේකම්වරයාට බැන්න බව වාර්තා විය. ඒ තත්වය තුළ පී.බී කීහිප වරක්ම සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කළේය.  එසේ පිළිනොගත් ඉල්ලා අස්වීම අවසානයේ දී ජනාධිපතිවරයා විසින් පසුගිය සඳුදා පිළිගත්තේය. අද (03)පී.බී. ජයසුන්දර සේවයෙන් විශ්‍රාම යන්නේය.  ජනපති පී.බීගේ ඉල්ලා අස්වීම පිළිගන්නේ  ඇමති මණ්ඩලයේ සාමුහිකත්වය ආරක්ෂා කරගැනීමේ අභිලාෂයෙන් බව කියැවිනි. ජනාධිපති ලේකම් ලෙස  ගාමිණී සෙනරත් අද සිට එම ධුරයේ  වැඩ කරගෙන යන්නේය.

සනත් නිශාන්ත ගේ නත්තල් පාටිය

කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි නත්තල් පාටියක් සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා සූදානම් කර තිබුනේය. ජනපතිවරයා ඇතුළු    මැති ඇමතිවරු මේ අස්ථාවට එක් වී සිටියහ. අගමැතිවරයාගේ ඉල්ලීම මත සාදයේ සිටියවුන්   කුල්මත්  කරමින් ගී ගැයුවේ සජබයෙන්  ඉවත් කළ ඩයනා ගමගේය.

සාදය අතර තුර සංගීතය සැපයූ සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ට ජනපතිවරයා හමුවීමේ අවස්ථාවක් ලබා දෙන්නට සනත් නිශාන්තට හැකි විය. එහිදී මේ ශිල්පීන් කීවේ එලිමන් සංගීත ප්‍රසංග නොමැති වීම නිසා තමන් විඳින ආර්ථික පීඩාවේ තරමය.  එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස එම ශිල්පීන් ජනපතිගෙන් ඉල්ලා සිටියේය.

ජනපති ඒ ඉල්ලීමට කන් දුන්නේය. සෞඛ්‍ය ඇමතිරවයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගෙන නව මාර්ගෝපදේශනයක්  නිර්දේශ කරමින් එළිමහන් සංගීත ප්‍රසංග සඳහා  අනුමැතිය ලබා දීමට කටයුතු කළේය. එළිමහන් සංගීත ප්‍රසංග සඳහා සෞඛ්‍ය අනුමැතිය ලැබුනේ එසේය.

අනතුරුව ජනපති සහ අගමැති ඇතුළු පවුලේ සාමාජික පිරිස කතරගමත් වැඳගෙන අලුත් අවුරුද්දේ කිරිවෙහෙර හා සිතුල්පව්ව වන්දනා කළහ. එහිදී කතරගම අශ්ඨඵල රුහ බෝධීන්වහන්සේ අභියස දී ජනපතිවරයා වෙත විශේෂ ආශීර්වාද පූජාවක් ද පැවැත්විනි.

කතරගම අශ්ඨඵලරුහ බෝධීන්වහන්සේගේ ආශීර්වාදය….

දේශපාලන කටයුතු  

නව වසරේ නව ගමනක් සඳහා සූදානම් වන බවත් ඒ වෙනුවෙන් ජනප්‍රිය නොවන දැඩි තීන්දු ගැනීමට කටයුතු කරන බවත් ජනපති ඊයේ ( 02) ප්‍රකාශ කළේය. ඒ ජනපතිවරයා වෙත  කෝට්ටේ කළ්‍යාණ ශ්‍රී සංඝ සභාව විසින් කෝට්ටේ රජමහා විහාරයේ දී  පිරිනමන ලද ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ  ගෞරවාභිධානය දරා ගනිමිනි.  ජනාධිපතිවරයා කීවේ තමන්ට නින්දා අපහාස කරන අයගේ ප්‍රකාශක උපේක්ෂාවෙන් දරාගෙන නව වසරේ නව ගමනක් සඳහා යොමුවන බවය.

ඒ පණිවිඩය මීට පෙර රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම කීවේය. දැඩි තීන්දු තීරණ ගන්නා බවත්  වර්ජනය කරන ආයතන පුද්ගලික අංශයට පවරන බවත්,  සාමුහිකව වැඩ කිරීමට නොහැකි අය ඉවත් කරන බවත් ජනපතිවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව තීරීණය කළ බව දිලුම් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් ජාතික ජනබලවේගය ඉතා සංවිධානාත්මක  දේශපාලන ව්‍යාපාරයක් බිම් මට්ටමේ සිට ආරම්භ කර තිබුණේය. ඒ සමගම ජාතික ජන බලවේගයේ නායක අනුර  කුමාර දිසානායක  ඉලක්ක කරගෙන දැඩි විවේචන මාලාවක් රාජ්‍ය මාධ්‍ය හා රජයට හිතවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි.  විදේශ ණය පියවීම සඳහා ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉදිපත් නොවීම බරපතල විවේචනයට ලක්කරමින් අනෙක් දේශපාලන පක්ෂ සිය අදහස් දක්වා තිබිණි.

සමගි ජනබලවේගය රාත්‍රී කාලයේ පන්දම් රැගෙන පාරට බැස ඉන්ධන මිල ගැන කියමින් උද්ඝෝෂණයේය.  තිස්ස අත්තනායක සදහම් යාත්‍රා සමග පන්සල් වෙත ගොස් සිය දේශපාලන ව්‍යාපාරය ගැන දැනුම්වත් කරමින් සිටින්නේය.

මේ අතර එජාප රැස්වීම් වාර දෙකක් සිරිකොත දී පසුගිය සතියේ පැවැත්විනි. ප්‍රධානත්වය දැරුවේ රනිල්ය.  රනිල් ඒ හමුවල දී ප්‍රකාශ කළේ නොසලකා හැර ඇති ප්‍රශ්න හමුවේ අප්‍රේල්වල එන්නට නියමිත සාගතය ගැනය. මේ සතියේ සිට පක්ෂයක් ලෙස අඛණ්ඩව දේශපාලනය කිරීම සඳහා සංවිධානය වී පෙළ ගැසීම ගැන තීන්දු විය. දිස්ත්‍රික් මට්ටමින්  වැඩපිළිවෙළක් ඒ සඳහා සකස් වී තිබිණි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ඉන්නේ ආණ්ඩුව ඍජුව විවේචනය කරමිනි. දයාසිරි හූ පාර කන උද්දච්ඡ ජනතා නියෝජිතයන් ගැන කීවේය. පොලේ ගිය සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමති පැවසුවේ දැන් මේ ආණ්ඩුව කරන්න හැකි අයෙකුට රට භාර දී ගෙදර යා යුතු බවය.

මේ සියලු හැල හැප්පීම් මැද මිනිස්සු අන්ත අසරණ වී සිටියහ.  ජනවාරි පලවෙනිදා කිරිබතක් හදා ගැනීම පසෙක තබා ගෑස් එකක් ගැනීමට පෝලිමේ සිටි මිනිසුන් දක්නට ලැබිනි.  ගෑස් නැති නිසා භූමිතෙල් ගැනීමට යන මිනිස්සුත් හිටියේ දැවැන්ත පොලිම්වලය. කිරිපිටි පෝලිම් තව මාස තුනක් යනතුරු අඩුවන්නේ නැති බව ආනයන කරුවෝ කීහ.  පොහොර ටික නැතිව ගොවිබිම් පාලුවීම නිසා ගොවි ජනපදවල ගොවීන් අපේක්ෂා රහිතවය. එළවළු මිල ඉහළ යමිනි. දඹුල්ල තොග වෙළෙඳපලේ මිරිස් ගෝනියක් සොරකම් කළ පුද්ගලයෙක් පොලිසියට කොටු විය. පොහොර ගබඩාවලට පැන කෙරෙන සොරකම් ගැන වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අලුත් අවුරුද්ද පටන් ගන්නේ එසේය.  ජනපති ලංකාධීශ්වර පද්ම විභූෂණ  ගෞරවාභිධානය සමගිනි.

Exit mobile version