අම්මලාට විශේෂයි… දරුවා පාසල් යවන්න පෙර දැනගත යුතු කරුණු 17ක්.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා උපදෙස් දෙයි...

school reopening

ශ්‍රියානි විජේසිංහ –

කොවිඩ් 19  ජන ජීවිතය වෙනස් කර ඇත. ලොක් ඩවුන් වුණු  ජීවිත යළිත් පණ ලබන්නට පටන් ගෙන තිබේ.  එහෙත් කොවිඩ් අප හැර ගොස් නැත. කොවිඩ් සමගම අපට තවත් බොහෝ කාලයක් ජීවත් වීමට සිදුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවුයේ පසුගියදාය.   කොවිඩ් සමග ජීවත් වෙමින් යළි රැකි රක්ෂා ආරම්භ අරඹීමට රටට සිදු වී ඇත. ප්‍රවාහන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් තිබේ.  තව නොබෝ දිනකින් පාසල් ද විවෘත වීමට නියමිතය. පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තබා ගැනිමට මේ වන විටත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කරමින්  සිටින්නේය.

නිවාඩුවක් නිමකර පාසල් වෙත වෙනදාට යන දරුවා මෙන් නොව මෙවර නිවාඩුව නිමකර පාසල් යන දරුවාට අධ්‍යාපනයට අමතරව තවත් අමතර රාජකාරියක් පැවරී ඇත. ඒ තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව සලසා ගැනීමේ වගකීමය. ඒ අනුව දරුවාට පැවරී ඇති මෙම අමතර වගකීම පිළිබඳව මව්වරුන් ලෙස ඔබ දරුවාව වඩ වඩාත්  දැනුමෙන් සන්නද්ධ  කිරීම වැදගත්වේ.

මේ සම්බන්ධයෙන් අප රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ  දීපාල් පෙරේරා විමසීමු. මේ ඔහු  මව්වරුන්ට ලබා දුන් උපදෙස් කීපයකි.


  1. දරුවාට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිෂ්‍යා ගතියක් පවතිනේ නම් පාසල වෙත නොයැවීමට වගබලාගන්න.
  2. මවක් ලෙස මුලින්ම ඔබ කළ යුත්තේ ඔබගේ වගකීම හරියාකාරව ඉටු කිරීමයි. දරුවා පාසල නිමවා එනතෙක් වෙනදා මෙන් පාසල් ගේට්ටුව ලඟ පොදි නොගැසී දුරස්ව සිට තමන්ගේ දරුවාව රැගෙන යාමට කටයුතු කරන්න.
  3. මුව ආවරණය පළඳවා දරුවාව පාසල වෙත යැවීම හා එම මුව ආවරණය යහළුවන් සමග හුවමාරු කර ගනිමින් භාවිත නොකරන ලෙස උපදෙස් දෙන්න.
  4. පාසල තුළ දෑත්පිරිසිදු කර ගැනීම සඳහා දී තිබෙන ස්ථානයන් වෙත ගොස් දෑත් පිරිසිදු කර ගැනීමට දරුවාට උපදෙස් දෙන්න.
  5. අතින් මුහුණ කට නාසය අතගෑමෙන් වලකින ලෙසට උපදෙස් දෙන්න.
  6. නිවාඩු කාලය අවසන්කර පාසල වෙත යන දරුවා මාස ගණනකින් හමුවන යහලුවන් දැක සිප වැලඳ ගත හැකිය. මෙසේ නොකරන ලෙස දරුවන්ව දැනුවත් කරන්න. 
  7. යහළුවන් සමග ගතකරන කාලය තුළ මීටරයක දුර තබාගන්නා ලෙසට දරුවාට කියා දෙන්න.
  8. නිවසින් ගෙන යන ආහාර වෙනදා මෙන් යහලුවන් සමග බෙදා හදාගෙන කෑමෙන් වලකින්න කියන්න. 
  9. දරුවාට ලබා දෙන වතුර බෝත‌ලයේ වතුර ඔහුටම පමණක්  බොන ලෙසට දැන්වත් කරන්න.
  10. වතුර බෝතලයේ, කෑම පෙට්ටියේ පැන්සලේ, පෑනේ  දරුවාගේ නම ලියා අලවන්න. ඒත් සමගම යහලුවන්ගේ පෑන් පැන්සල් පොත් හුවමැරු නොකරගන්නා ලෙස දැනුම් දෙන්න.
  11.  කොවිඩ් 19 වෛරසය පෑනේ හෝ  පැන්සලේ සිටිය හැකිය. එනිසා පෑන පැන්සල  කටේ නොදමන්නැයි දරුවන්ට උපදෙස් දෙන්න. 
  12. විවේක කාලය තුළ යහළුවන්  සමග රංචු නොගැසෙන සේ සිටින්නැයි දරුවා දැනුවත් කරන්න
  13. දුරස්ථ භාවය රැකගත යුතු බැවින්  පංති කාමයේ වෙනදා මෙන් නොව රැඳවිය හැක්කේ දරුවන් සීමිත සංඛ්‍යාවකි. එබැවින් ඔබගේ යහළුවා හෝ යෙහෙළිය වෙනත් පංති කාමරයක සිටිනවා විය හැකිය.  කිසි විටෙකත් ඔවුන් සොයා නොයන්න ලෙසත්  ඔබට හිමි ස්ථානයේ පමණක් අසුන් ගන්නා ලෙසටත් දරුවාව දැනුවත් කරන්න.
  14. ගුරුවරයා පවරන අභ්‍යාස කර අවසන් වූ පසු  පොත පෙන්වීමට ගුරුවරයා අසලට නොයන ලෙසටත් ගුරුමේසය මත පොත තබා ඈත්ව සිටින ලෙසටත් දරවාට උපදෙස් දෙන්න.
  15. පාසල තුළදී  යම් අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ඒ බව වහාම පංතිභාර ගුරුවරයාට දැනුම් දෙන ලෙස දරුවාට කියාදෙන්න
  16. පාසල නිමවී දරුවා නිවස වෙත පැමිණි පසුව නිවසට ඇතුළු වීමට පෙර සබන් ගා දෑත් හොඳින් පිරිසිදු කරන්න කියන්න.
  17. ඔවුගේ පාවහන් යුගල නිවසේ දොරකඩ මත තබා නිවසට  ඇතුළු වීමට උපදෙස් දෙන්න.

 

                               

 

                              

 

 

 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


..

 

Exit mobile version