සෞභාග්‍යයේ  දැක්මට පාසලක් හදනවා නම් ධම්මික  – දිලිත් ජෝඩුව  අගුළු කඩාගෙන පාසලට රිංගුවේ ඇයි

නුගේගොඩ විජයාරාම ආදි සිසු අනුශාසක හිමි අසයි

නුගේගොඩ විජයාරාම විද්‍යාලය සහ ඉඩම කොළඹ දේවි බාලිකා විද්‍යාලයට පවරා දීම ජාතික අවශ්‍යතාවක් මත රජයේ සෞභාග්‍යයේ දැක්මට අනුව සිදුවන වැදගත් කාර්යයක් නම් පසුගිය දවසක ප්‍රකට ව්‍යාපාරිකයන් දෙපළක් වන  ධම්මික පෙරේරා  සහ දිලිත් ජයවීර මහත්වරුන් බලහත්කාරයෙන් ඉබි යතුරු කඩා අයුතු ලෙස ඇතුළු වී මෙම විද්‍යාල භූමිය නිරීක්ෂණය කරන්නට  පියවර ගැනීම තමන්ට ප්‍රශ්නයක් බවත් රටේ විද්‍යා අංශයේ උසස් පෙළ සිසුන්ට ඇති පහසුකම් වැඩි කරන්නේ නම් පාසල් වැහෙන තතත්වයට පත් නොකොට නව සංකල්පයක් යටතේ මෙම පවතින විජයාරාම පාසලම වැඩි දියුණු කිරීමේ හැකියාවක් පවතින බවත් එම විද්‍යාලයයේ ආදි සිසු සංගමයේ පැවිදි අනුශාසක පූජ්‍ය ගංගොඩවිල මුදිත මනෝ හිමියෝ පවසති.

දේවි බාලිකා විද්‍යාලයයේ විද්‍යා සහ ගණිත අංශය ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රි ජයවර්ධනපුර කලාපයට අයත් නුගේගොඩ ශ්‍රි විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයට පවරා දීම සම්බන්ධයෙන් මේ වනවිට අනුමත වී ඇති කැබිනට් පත්‍රිකාව පිළිබඳව අදහස් දක්වමින් මුදිත මනෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ 1953 පටන් පැවැති මෙම විද්‍යාලය දියුණු කරනු වෙනුවට ප්‍රදේශයේ දානපතියන් ධන පරිත්‍යාගයෙන් ඉදිකොට විශාල සිසුන් සංඛ්‍යාවකගේ ඇස් පෑදු මෙම පාසල සම්පූර්ණයෙන්ම දිය කොට එය දේවි බාලිකා විද්‍යාලයට ලබා දීම පසුපස ක්‍රියාත්මකවන ව්‍යාපාරි බලවේග සම්බන්ධයෙන් කුකුසක් පවතින බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මුදිත මනෝ හිමියෝ මෙසේද පැවසූහ.


“ අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහත්තයා මෙම කැබිනට් පත්‍රිකාව සකස් කර තිබෙන්නේ පසුගිය මාර්තු මාසේ 29 වැනිදා. මෙම ව්‍යාපාරික දෙපළ මේ විද්‍යාලයයට බලහත්කාරයෙන් ඇතුළුවෙලා තිබෙන්නේ ඊටත් කලින්. රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව උසස් පෙළ විද්‍යා අංශයේ සිසුවියන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් මෙය කළ බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා. එවැනි වැඩපිළිවෙළක් නම් මොකටද රජයේ නිසි පියවරවලින් තොරව බලහත්කාරමින් හොර රහසේ කටයුතු කළේ්. මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය සහ අධ්‍යාපන අධ්‍යක්ෂ මිරිහාන පොසියට පැමිණිලි කළත් පොලිසිය මෙය විමර්ශනය කර තිබෙන්නේ ඊට මාසකයට පසුව. කොහොම වුණත් එතනන් එහාට සිදුවිය යුතු පිළිවෙත ඉදිරියට ගිහින් නෑ.

කොහොම නමුත් මේ වනවිට මෙම පවරා ගැනීම සඳහා පළාත් ආණ්ඩුකාරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ දේවි බාලිකා විද්‍යාලයයට වසරකට උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා 3000ක් පමණ ඉලලුම් කරන බවයි. ඔවුන්ගෙන් අවස්ථාව සැලසෙන්නේ 200කට බවත් ඉතිරි 2800කට එම වරම අහිමි වන නිසා මෙම විද්‍යාලය පුළුල් කිරීමට අවශ්‍ය බව සඳහන් වෙනවා. අපට ප්‍රශ්නයක් තිබෙනවා මෙම දරුවන් මෙතෙක කලක් ලංකාවෙ වෙනත් පාසලකින් උසස් පෙළ කළේ නැද්ද කියල. අනෙක 1953 සිට පවතින මේ පාසල විනාශ නොකර ඔය ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිද කියන ප්‍රශ්නය අපට අහන්න වෙනවා.

මෙහිදී අප දැනට මේ පාසලේ සිටින සිසුන් සම්බන්ධයෙන් මේ ක්‍රියාවලියේදී අවධානය යොමු කර ඇති ආකාරය සැලකිල්ලට ගත යුතුයි. මහාචාර්ය ජී.එල් පීරිස් අධ්‍යාපන ඇමතිතුමා මේ කැබිනට් පත්‍රිකාව මුලින්ම අමාත්‍ය මණ්ඩලයට දාන්නේ අප්‍රියෙල් මාසේ 04 වැනිදා. එහි තිබෙනවා මෙම පාසලේ දරුවන් ගේ අනාගතය සම්බන්ධයෙන් ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් අවශ්‍ය කටයුතු  කළ යුතුයි කියල. නමුත් මේ කැබිනට් පත්‍රිකාව යළිත් අප්‍රියෙල් මාසේ 19 වැනිදා එන්නේ සංශෝධනය වෙලා. එහි තිබෙන ආකාරයට දැනට විජයාරාම පාසලේ සිටින දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ වගන්තිය සංශෝධනය වෙලා. එයත් සැලකිය යුතු කරුණක්.

කොහොම වුණත් මේ කැබිනට් පත්‍රිකාවෙම තිබෙනවා විජයාරාම පාසලේ සිටින දරුවන් ට කෝට්ටේ සී.එම්.එස් විද්‍යාලය හෝ ඔවුන්ගේ දෙමාපියන්ගේ අභිමතය පරිදි සුදුසු විකල්ප පාසලක් ලබා දීමට. එමෙනම් මේ දරුවන්ට එම පාසලට පවතින දුර නිසා ඔවුන්ට වසර දෙකකක් යන තුරු ධම්මික පෙරේරා සහ ඔහුගේ බිරිඳ ප්‍රශිලා මහත්මිය නමින් ඇති ධම්මික ප්‍රශිලා පදනම මඟින් නොමිලේ ප්‍රවාහන පහසුකම් දෙන බවද සඳහන් කරනවා. එනම් අවුරුදු දෙකෙන් එහාට ඒ ළමයින් ගැන බලන්නේ කවුද යන ප්‍රශ්නය මේ කැබිනට් පත්‍රිකාව තුළම තිබෙනවා. ED/Act/21/10 දරණ මෙම කැබිනට් පත්‍රිකාවේ ම සඳහන් වෙනවා, මෙම දේවි බාලිකා විද්‍යාලයයේ විද්‍යා ගණිත අංශය හදන්න ධම්මික පෙරේරා මහතා මිලියන 100ක මුදලක් ලබා දෙන බව.

රටේ විද්‍යා ගණිත අධ්‍යාපනයේ පවතින ප්‍රශ්නයක් විසඳන්න ඔවුන් උදව් කිරීම ගැන අප සතුටු වෙනවා. නමුත් ඔවුන් මේ ඉදිරිපත් කරන්නේ ඊට හොඳම විසඳුමද යන්න අපට ගැටලුවක් බව එහිමියෝ පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රදේශයේ දානපතියන්ගේ ගේ පරිත්‍යාගයෙන් ගොඩ නැගුණු විජයාරාම විහාරයේ ආශිර්වාදය ලැබුණු මෙම පාසල විනාශයට පත් කිරීමේ තීරණය වෙනුවට අවශ්‍ය නම් රජයට මෙවැනි පාසල් කිහිපයක් හෝ උසස් මට්ටමින් නිර්මාණය කොට මෙරට විද්‍යා ගණිත පමණක් නොව සමස්ත සියලුම සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකි බව උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

Exit mobile version