සුද්දන් ලඟ පදිරි වෙන රටේ නිරෝධායන නීතිය…

සම්පත් දෙණිපිටියගේ –

රටේ නීතිය නම් එකය.  එක රටක් එක නීතියක් ගැන අපට හොඳටම කියා දුන්නේ මේ ආණ්ඩුවය. ඒ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පිහිටවූයේය. අපේ ඤාණසාර හාමුදුරුවෝ එහි සභාපති තුමෝය. රටට සතුටුය.

මේ වනවිට රටේ වඩාත්ම සංවේදී සිවිල් නීතිය කොවිඩ් හා බැඳුණු සෞඛ්‍ය උපදේශනයන් හා බැඳී ඇත්තේය. කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් නිරෝධායන නීති රීති හඳුන්වා දීමෙන් පසු  නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවරීමට බලය ශ්‍රී ලංකා පොලිසියට සහ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුනේය.

ඉතින් නීතිය ක්‍රියාත්මක වන්නනේය.


කොටවිල පොලීසිය සහ  අකුරැස්ස පොලිසිය ඊයේ පෙරේදාත් ඒ නීතිය අකුරටම ක්‍රියාත්මක කලේය.   මුව ආවරණ  රහිතව  මහමග ගමන් කළ පුද්ගලයන් 3 දෙනෙකු   බදාදා දින  මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.   ඒ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීතියට අකීකරු වීම යන චෝදනාව යටතේය.  අකුරැස්ස පොලිසියේ පොලිස් සැරයන්  16856 මනම්පේරි  පොලිස් සැරයන්  88589 විජේසිංහ   විසින්  මෙම විත්තිකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. චූදිතයන් මාතර මොරවක  සහ අකුරැස්ස පදිංචිකරුවන්ය.     තිදෙනාගෙන් එක් අයකු කාන්තාවකි.  එක් අයෙකුට රුපියල් දස දහස බැගින්   රුපියල් තිස් දහසක දඩයක්   මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

පසුගිය 26 වැනිදා මාස්ක් එකක් නොමැතිව පා පැදියෙන් ගිය පුද්ගලයෙක් කොටවිල පොලිස් අත්අඩංගුවට පත් විය. කොටවිල පොලිසියේ උප පොලිස් පරීක්ෂක අනුර පොලිස් සැරයන්  59773 බන්දුල  සහ පොලිස් සැරයන්  55877 වන්නියාරච්චි  යන නිලධාරින් විසින් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරුවේය.

ඔහුවත් බදාදා (26) අධිකරණයට ඉදිරිපත් කෙරනි.  ඔහුට   රුපියල් එකොළොස් දහසක දඩයක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම විය.

මීට පෙර තිහගොඩ පොලිසිය  සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව  නිරෝධායන නීති නීතිරීති උල්ලංඝනය කරමින් දහවල් දානයට වැඩම කළ  බටුවිට ප්‍රදේශයේ  ස්වාමින් වහන්සේ නමකට එරෙහිව නඩු පැවරුවේය. උන්වහන්සේට රුපියල් 1500ක දඩයක් අධිකරණය නියම කළේය. ඒ අපට අකුරට නීතිය වැඩ කරන හැටිය.

සුද්දන්ට නැති නීතිය

එහෙත් මේ නීතිය දේශපාලන බලය සහිත යම් යම්  තැනැත්තන් ඉදිරියේ නැමෙන බවත්   විදේශික සංචාරකයන් ඉදිරියේ හතරගාතෙන් වැටෙන බවත්  අපට මිනිස්සු කියති. කිව්වත් නැතත් ඇස් ඇත්තෝ දකිති.

මේ වන විට දකුණු පළාතේ  සංචාරක ප්‍රදේශයක් වන මාතර මිරිස්ස සහ වැලිගම ප්‍රදේශ සංචාරකයන් ගෙන් පිරී  තිබේ .  එහෙත් ඒ  බොහෝ දෙනෙක්  රටට නිර්දේශ කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තඹයකට මායිම් කරන්නේ නැත. සුනාමියක් සේ යළිත් පැතිරීමේ අවදානමක් ඇති   කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කිසිදු නිරෝධායන නීතියක් අනුගමන කරන්නේ නැත.

සුද්දෝ රිසි සේ නගරයේ සැරිසරති. ව්‍යාපාරික ස්ථාන තුළට මෙන්ම රාජ්‍ය ආයතනවලට, බැංකුවලට    දෑත් පිරිසිදු කිරීම සහ මුව ආවරණ පැළඳීම සිදු නොකර ඇතුළු වෙති.     ඉතා ජනාකීර්ණ ප්‍රදේශවල මුව ආවරණ නැතිව සැරිසරති.

මෙම තත්වය හමුවේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය දැඩි අසීරුතාවයට පත්ව ඇති බව දකිමු.  ඔවුන් නීතිය ක්‍රියාත්මක කිරීමට නොව ඒ දෙස බැලීමට පවා අකමැති බව පෙන්නුම් කර ඇත.

“ පොලිසියට ඉංග්‍රීසි බෑ.. වෙන භාෂාවන් දන්නෙත් නෑනෙ.  ඉතින් හරියට කියන්න දන්නෙ නෑ මාස්ක් එක දාගන්න කියලා. ඒකයි. පොලිසියට බැනලා වැඩක් නෑ.“  මේ පිළිබඳව අදහස් දක්වන අයෙක් අපට කියයි.

තවත් පුද්ගලයෙක් කියන්නේ මෙසේය.

“ අපේ ඩොලර් හිඟා කන තැනක ඉන්නෙ. සුද්දන්ට මාස්ක් දාගන්න කියන්න තරම් අපට හයියක්නෑ. උන් රට දාලා යාවි කියලා බයයි. පොලිසියට කරන්න දෙයක් නෑ. අපි ඉන්නෙ ඒ වගෙ තැනක.“

ඒත් සමහරු මේ පිළිබඳව ඉන්නේ පිපිරෙන තරමේ අරෝවකය.

“මේ රට   එක රටක්. හැබැයි නීති දෙකක්.   .හැමදේටම මේ රටේ නීති දෙකක්  තියෙනවා. ඉතින් නිරෝධායන නීතියටත් දෙකක් තිබීම පුදුම වෙන්න කාරණයක් නෙමෙයි.“

අප පුදුමාකාර ලෙස දීන වෙමින් පඩංගු වෙමින් ඇත. බඩගින්නේ මිය යන්නට ආසන්න බව සැබෑය. නමුත් ගෙට ගත් එකා සුතනඹුව දූෂණය කරනකම් බලා ඉන්නවා සේ රටේ පොදු නීතිය පහරන්නට ඉඩ දී බලා සිටින්නට තරම් නිවට වීම අන්තිම නරක ඛේදවාචකයක් බව ලියා තැබි යුතුය.

“ තවත් කියනවා එක රටක් එක නීතියක් කියලා… ආච්චිගෙ රෙද්ද… කට ගොන්නක් බීගෙන හෙල්මට් නැතිව බයිසිලක් පදින සුද්දො ඉස්සහ පොලිසිය පදිරි වෙන විදිහ දැක්කම නොදෝමකින් කියලා හිතෙනවා. “

මා සමග අදහස් දක්වමින් සිටින අයෙක් කියයි.

හිඟමනට වැටී හිඟා කන එකෙක් මුලින්ම නැති කරගන්නේ ආත්ම ගෞරවය සහ අභිමානය ය.  රටක් සම්බන්ධවත් ඒක වලංගුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“තවත් කියනවා එක රටක් එක නීතියක් කියලා… ආච්චිගෙ රෙද්ද“ ඒ පුද්ගලයාගේ හඬ තවමත් මට ඇසෙමින් ඇත. අප රටක් ලෙස ලෝකය ඉදිරියේ පදිරි වෙමින් ඇති ආකාරය රට වැසියන්ට තේරුම් කරමින් සිටිමු.

 

 

 

Exit mobile version