සීසර්ලාට සල්ලම් (නො) වූ සුනිල්

සුනිල් ජයවර්ධන ගැන පත්තර කාරයෙකුගේ මතකය

 රජිත ජාගොඩ ආරච්චි –

“මල්ලි සුනිල් ජයවර්ධන කියලා කෙනෙක් ඉන්නවා පහළට ඇවිත්. මිනිහා ගාව හොඳ කතාවක් ඇති, ගිහිල්ලා අරන් එන්න”.

ඒ 2012 අවුරුද්ද විය යුතු යි. එවකට මා රිවිර දිනපතා පත්‍රයේ කෝඩුකාරයෙකි. ප්‍රවෘත්ති කර්තෘ චාමින්ද වාරියගොඩ  අපගේ කථානායකයා මුණගැසෙන්නට යන ලෙස මට කීවේ ඔහුට ම සුපුරුදු සුහද ස්වරයෙනි. ඒ ස්වරයෙන් කෙරෙන ඉල්ලීමකට බැහැ කියන්නට කොහොමටත් බැරි ය.

ඉල්ලීම පිළිගෙන, එක් පඩිපෙළක් නැඟ තවත් පඩිපෙළක් බැස පිළිගැනීමේ කවුන්ටරයට ගියේ, නමක් අහලාවත් නැති මිනිහෙක් ගාව මොන කතාදැයි හිතමිනි. එය කොතරම් මරි මෝඩ සිතුවිල්ලක් දැයි මිනිත්තු කිහිපයකින් තේරුම් යාමට නියමිතව තිබුණි.


හමුවන්නට යන්නේ කවුදැයි පවා හරිහැටි නොදැන සිටි මා බලාපොරොත්තු වූයේ හොඳින් ඇඳ පැළඳගත් Whistleblower කෙනෙකි. ඇතැම්විට ඔහු ද බලාපොරොත්තු වන්නට ඇත්තේ ද වයසින් මුහුකුරා ගිය පරිණත පත්තරකාරයෙක් විය හැක.

දාඩියත් දූවිල්ලත් එකට මුසු වී නළලත රැඳුණු මිනිසා පිළිගැනීමේ කවුන්ටරය ළඟ පුටුවක උන්නේ ය. ඔහුගේ උකුළ උඩ වූයේ ලොකු ෆයිල් මිටියකි.

“සුනිල් ජයවර්ධන මහත්මයාද?”

“ආ ඔව් මහත්තයා”

ඒ අප හමු වූ හැටි ය.

එතැන් සිට අවුරුදු අටක පමණ කාලයක් විටින් විට අපි කතා කළෙමු. ඔහු මිය යන්නට සති දෙකකට පමණ පෙරාතුවත් ඔහුට කතා කොට ඔබ්සර්වර් පත්‍රයට මා ලියූ ලිපියකට ඔහුගෙන්  කරුණු එකතු කරගතිමි. සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපතිවයා මෙන්ම ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා ලෙසට ඔහු තමන්ගේ කරුණු ගොනුකළේය.

මාධ්‍ය ලෝකයේ සැරිසරන විට අපට මුණගැසෙන මිනිසුන් මෙතෙකැයි කියා ගණන් කිරීම අපහසු ය. රාජ්‍ය නායකයගේ සිට යාචකයා දක්වා පිරිස් අපට හමුවේ. ඔවුන් සතු කතාන්දර ද බොහෝමයකි. ඒවායෙන් විශ්වාසනීය තොරතුරු පෙරා ගෙන ලියන ලිපියකින් ඇතැම්විට අලුත් කතාන්දර රැසක මුල් මතුවීම වළක්වන්නට බැරි ය.

ඔහු එදා මා හමුවීමට ආවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ නුගේගොඩ ශාඛාවේ සභාපතිවරයා තමා බව කියමිනි.

ඔහු අත තිබූ ෆයිල් මිටියේ තිබුණේ ඉලක්කම් ගොඩක් බව අදට ද මට මතක ය. සමහර තැනක් පාට කර තිබුණේ වැදගත් කරුණු උල්පා දක්වන්නට ය.

මීට අට අවුරුද්දකට පෙර ඔහුගේ විරුද්ධවාදියා වූයේ එවකට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ ලොක්කා වූ මහින්ද කහඳගම ය. (කහඳගම කොළඹ නගර සභාවට තේරී පත්වූයේ ඒ කාලයේදී ම විය යුතුය)

ඔහු ගෙනැවිත් තිබූ කරුණු ද එකතු කරගෙන ලියූ ලිපියක් ඊට දින දෙක තුනකට පසු රිවිර දිනපතා පත්‍රයේ පළවිය. මතක හැටියට කහඳගමගෙන් ගත් ප්‍රතිචාරයක් ද ලිපියේ අඩංගු විය. කප්පම් ගැනීමක් වැනි යමක් ගැනත් එහි සටහන්ව තිබුණා යාන්තමට මතක ය. එය එවැන්නක් මා පත්තරයට ලියූ පළමු වතාව ද විය.

ලිපිය පළ වූ පසු සුනිල් ජයවර්ධන මහතා මට කතා කර ස්තූති කළේය. එය තමා වෙනුවෙන් නොව පීඩාවට පත් ව සිටි බොහෝ දෙනෙකු වෙනුවෙන් ඵලදායී වූ බවත්, බොහෝ දෙනෙකුගේ ඇස් ඇරවන්නට සමත් වූ බවත් ඔහු කීවා මතක ය. ඊට වසර කිහිපයකට පසු ඔහු කහඳගම පන්නා සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ බලය ඇල්ලුවේ ය. ටික දිනකට පසු මට කතා කළේ ද කළ හපන්කම ගැන ආඩම්බරයෙනි.

සුනිල් ජයවර්ධන මහතා ජීවත්වූයේ කැස්බෑව ප්‍රදේශයේ ය. මා පිළියන්දල වාසියෙකු වීම නිසා ‘වෙලාවක මුණගැසෙමු’ යැයි නොයෙක් වර කතා වුවද ඔහු මිය යන තෙක්ම එවැනි හමුවීමක් සිදු නොවිණි. බොහෝ විට අපේ කතාබහ දුරකථන ඇමතුමකට ම සීමා විය.

සුනිල් ජයවර්ධනගේ දේශපාලනය හෝ සිවිල් ක්‍රියාකාරීත්වය විමසා බලා ඔහුගේ අවසාන ඉලක්කය කුමක් දැයි විනිවිදී‌මේ වුවමනාවක් මට නැත. එහෙත් ඔහු මිය ගිය බවට මුලින් ම වට්ස්ඇප් හරහා දකිද්දි ඇති වූ කම්පනය තවමත් මුළුමනින් ම පහව ගොස් නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසාන අරමුණ කුමක් වුවද ඔහු රටට යමක් කළ මිනිසෙකි. තමන්ගේ පන්තියේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු මිය යාමට ආසන්නතම හේතුව දෙස බැලූව ද එය මනාව පසක් වනු ඇත. ‍

Exit mobile version