ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

ශ්‍රි ලංකාවේ මුදල් විෂයයට ගෑවුණු සහ නොගැවුණු මැති ඇමතිවරු මේ දවස්වල රටට දෙන ලොකු ම බලාපොරොත්තුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදල අද ලැබෙයි හෙට ලැබෙයි දැන් ලැබෙන්න ඕන්න මෙන්න කියාය. එහෙත් ඇත්ත ටිකක් තිත්තය. ඒ වගේම ඈතය. රටක් ලෙස ඉතිහාසයේ වැටෙන්නට පුළුවන් දරුණුම තැනකට වැටී තිබුණද මේ අර්බුදය තුළ රටක් ලෙස අද විශ්වාස කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වනත් ප්‍රායෝගික විකල්පයක් නොමැති බවය. ඒ බව ආණ්ඩුවේ දේශපාලකයනුත් විපක්ෂයේ දේශපාලකයනුත් අද පිළිගෙන ඇත.

මේ මූල්‍ය අසහනය පසුපස යන ශ්‍රි ලංකාවට ඒ සඳහා අවශ්‍ය පළමු සහතිකය ලබා දෙන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ මුදල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ශ්‍රි ලංකාව මුහුණ දී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපෙක්ෂා කරන ණය සහනය ලබා ගැනීම සහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට කැමැත්ත පළ කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියේවා වෙත පසුගිය ජනවාරි මස 16 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. එයින් දින කිහිපයක් ගත වන්නට පෙර ඉන්දිය විදේශ ලේකම් ආචාර්ය එස් ජෙයශංකර් ශ්‍රි ලකාවට පැමිණ ජනාධිපතිවරයාද හමුවී ඉන්දියාව මෙම අර්බුදය හමුවේ ක්‍රියා කරන ආකාරය පිළිබදව සහතිකය ලබා දුන්නා පමණක් නොව ජනාධිපතිවරයාට නුදුරේදීම ඉන්දියාවේ සංචාරයක් කිරීම සඳහා නිල ආරාධනයක්ද කළේය.

ආචාර්ය ජෙයශංකර් ද ඉන්දීය විදේශ සේවා ඉතිහාසයේ  විදේශ අමාත්‍ය ධුරයට පත් වූ ඉතා ශූර රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙසින් සැලකෙයි. දීර්ඝ කාලයක් විදේශ සේවයේ කටයුතු කොට විදේශ ලේකම්වරයා දක්වාම ඉහළට ගිය ජෙයශංකර් ට අගමැති මෝදි විදේශ අමාත්‍ය ධුරය පිරිනැමුවේය. පෙර අපර දෙදිග සමඟ ඉතා තියුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නඩත්තු කිරීමේ ක්‍රමෝපායක් සහ දැක්මක් සහිත මෙම විදේශ අමාත්‍යවරයා ඉන්දියාව කෙරෙහි හ්‍රි ලාංකික හදවත්වල විශ්වාසය තහවුරු කර ගැනීමට මෑත කාලීන ව ඉතා දක්ෂ ලෙස හැසිරුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන්නේය. ඔහු මෙරටට පැමිණ විශේෂයෙන් ඉඟි කළේ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ඉන්දියාවේ වැඩි අවධානයක් යොමු කරවන බවයි. මේ වනවිටත් බලශක්තිය සම්බන්ධයෙන් අතිශය බරපතල අර්බුදයක සිටින ශ්‍රි ලංකාවේ නැගෙනහිර පළාත තුළ ත්‍රිකුනාමලය ආශ්‍රිතව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියානු ආයෝජන ගෙන එන බවට පොරොන්දු විම විශේෂත්වයක් විය.


මේ පිළිබඳව සිය මතය පළ කළ නවදිල්ල්ලියේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පසුගියදා පවසා තිබුණේ ආචාර්ය ජෙයශංකර්ගේ සංචාරය ශ්‍රි ලංකාවත් ඉන්දයාවත් අතර පැවති සම්බන්ධතා අලුත් කැනකින් යළි පටන් ගැනීමකට සමාන බවය. විශේෂයෙන් පසුගිය වසරේ ශ්‍රි ලංකාව මුහුණ දුන් අමිහිරිතම අත්දැකීම් තුළ කිසිදු කොන්දේසියකින් තොරව ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ණය මුදලක් ලබා දිමත් රට දුවන්නට අවශ්‍ය මූලික තල්ලුව ලබා දීම එහිදී වඩාත් වැදගත් මෑත කාලීනව වඩාත් වැදගත් වූ කරුණක් වෙයි.
ශ්‍රි ලංකාවට ආසනන්තම රාජ්‍යය ලෙස මෙන්ම ආසියාකරයේ නැගි එන ආර්ථික යෝධයා ලෙස ශ්‍රි ලංකාවට ඉන්දියාව අර්බුදයෙන් මිරිකී සිටින ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා යන ගමනේ පළමු පාලම ඉදිකරන්නා බව මිලින්ද මොරගොඩ ඉන්දිය මාධ්‍ය වෙත පවසා ඇත.

මේ පාලමේ අඩක් දුර ගෙවන්නට  මේවනවිට සදානම්ය.  එම පාලමේ තවත් කොටසක් ජපානයත් පැරිස් සමාජය නියෝජනය කරන රටවල් මෙන්ම බහු පාර්ශ්විය ණය ලබා දුන් ආයතන මේ වනවිට සිය එකඟතාවන්ට එලඹ ඇති සැටියක් පෙනී යයි.

එහෙත් මේ සෑම පාලම් කොටසක තවත් කොටසක්  ජාත්‍යන්ර මූල්‍ය අරමුදල ආසන්නයට ගොස් නවතින තැනක් ඇත. ඒ චීනය විසින් සැදිය යුතු සැලකිය යුතු කොටසයි. මේ වනවිට ශ්‍රි ලංකාවට ණය ලබා දී ඇති විශාලතම ණයකරුවා වන්නේ චීනයයි.

සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ චීනයට  පවතින ණය ඩොලර් බිලියන 7.4ක් පමණ වන බවය. අද රටක් ලෙස ශ්‍රි ලංකාව ලොකුම අර්බුද නිර්මාණය කරගෙන ඇත්තේද චීනය විසින් ක්‍රියාත්මක කරන ලෙස එක් මාවතක් එක් තීරුවක් චීන ව්‍යාප්තවාද වැඩ සටහන හරහා ණයට ලබා දුන් සුදු අලි ව්‍යාපෘති නිසාය. කිසිදු ආර්ථික ඵලදායිතාවකින් තොරව  චීන ණයවලින් ඇරඹුණු ව්‍යාපෘතිවල ණය අපට මුදල් ගෙවන්නට සිදුව තිබුණද එම ආයෝජනය ඵලදායීව යෙදුණු බව පිළිබඳව ඉදිරිපත් වන සාධක සාපෙකෂව අඩුය.

කෙසේ වුවද ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රි ලංකාවට පය තබන්නට දවසකට කලින් , ඊට දින කිහිපයකට පෙර ශ්‍රි ලංකාවට පැමිණ සිටි  චීන නියෝජ්‍ය ඇමතිවරයකු ඇතුලු දූත පරිසක් දින කිහිපයක් මෙරට ගත  කර පිටව ගියේය. ඔවුන් රටේ ප්‍රධාන පෙලේ පුරවැසියන්  දෙතුන් දෙනාම හමුවීමට ක්‍රියා කළද මෙතෙක් කලක් චිනය දෙසින් බලාපොරොත්තුවෙන් හිඳින ණය ප්‍රතිව්‍යූහගතකරණය  පිළිබඳව පිළිතුර ඔවුන්ගෙන් ලැබුණේ නැත. චීන ජනාධිපති ෂී ජින් පින් ශ්‍රි ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලියුමක් ඔවුන් අත එවූ බව කියවුණද මේ ලියුමෙන් චීනය දන්වා තිබුණේ කුමක්ද යන්න දෙපාර්ශ්වයම එළියට දැම්මේ ද  නැත. ඒ වෙනුවට ඒ දිනවල ප්‍රකාශ වුණේ චිනය පසුගිය සතියේදි ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව   සිය ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ප්‍රකාශ කරන බව සඳහන් වුවද ඉන්දියාවේ ද හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත පවසන්නේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  හමුවේ ප්‍රකාශ කිරීම  චීනය යළිත් කල් තබා ඇති බවය. ඒ වෙනුවට චීනයේ ප්‍රධාන ණය දෙන්නකු වන චීන ආනයන සහ අපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව ශ්‍රි ලංකාවට ලබා දී ඇති සිය ණය සඳහා ආපසු ගෙවීමේ වසර දෙකක සහන කාලයක් ලබා දීමය. එහෙත් සෙසු ණයකරුවන් මෙම ආපසු ගෙවීමේ සහන කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමට සිය කැමැත්ත පළ කර ඇත.

මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව පිළිගත හැකි තීන්දුවකට පැමිණීමට හෝ  අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකිව නැත. චීනය යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන විශාලතම කොටස් හිමියාය. එය වෙනම කතාවකි. එහෙත් චීනය මෙම අවස්ථාවේදීත් වෙහෙසෙන්නේ ඉන්දියාව සමඟ පවතින භූ දේශපාලනික හරඹය මත ශ්‍රි ලංකාව ඉත්තකු සේ පාවිච්චි කිරීමය.

චීනයට ගෝලීය ආර්ථික ආධිපත්‍යයක් පිළිබදව දැක්මක් ඇත. එය ඇමෙරිකාවටත් ඉන්දියාවටත් අඩු වැඩි වශයෙන් ඇත. මේ සෑම රටක්ම සිය නයාය පත්‍රය හෝ ගමන් සිතියම තුළ ශ්‍රි ලංකාව සලකන්නේ තීරණාත්මක මර්මස්ථානයක් ලෙසින්ය. ඒ අවස්ථාව අනිසි ලෙස උපයෝගී කර ගත් චීනයත් චීනයේ මේ දැකම අනිසි ලෙස උපයෝගී කරගත් ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පරපම්පරාව ප්‍රමුඛ දේශපාලනයත් අද ශ්‍රි ලංකාව යම් අවදානම් තැනකට තල්ලු කර ඇත. මේ සංදර්භය තුළ  වඩාත් පීඩනයට පත්ව ඇත්තේ දූපත් වාසී ශ්‍රි ලාංකිකයන්ය. 75 වසරක නිදහස් සැමරුම ආසන්නය වනවිට රටේ අභිමානය පොළොවට පස්වන මට්ටමට අද ශ්‍රි ලංකාව අසරණ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විය යුතු දේ හොඳින්ම දනී.එහෙත් ඒ යුතකුකම ඉටු කිරීමට අර අදින්නේ ඔවුන්ගේ සැඟවුණු භූ දේශපාලනික ක්‍රියාදාමයේ සැඟවුනු කොටසක් මේ අසරණ භාවය මත්තේ ඉටු කරවා ගැනීමට බව ට අපට සාධාරණ සැකයක් මතුවේ. ජනාධිපතිවරයාට චීන ජනාධිපතිගෙන් ලද ලිපිය වැරදිලාවත් එලියට නොඑන්නේද මේ නිසා බව  අපට නිරායාසයෙන් සිතට එන කරුණකි.

Exit mobile version