පෙති අහිමි මල් පවා සුවඳ විහිදුවයි…

Happy family moments - Mother and child have a fun.

එෂාමා කාරියකරවන –ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

දරුවන්ට ආදරය නොහිතෙන හදවතක් තිබිය නොහැකිය. දරුවෝ එතරම්ම ආදරබරය. එහෙත් අප ආදරය දෙන්නට දරුවන් අතරින් සුදු, මහත ලස්සන බෝල බබාලා සොයන්නේ නම් අපගේ ආදරයේ කිසියම් අසාමාන්‍ය තත්වයක් තිබේ. ලෝකයේ සර්ව සමාන කිසිවක් නැත. ඇත්තේ සමාන බවක් පමණි. දරුවන් විෂයෙහි ද එය එසේමය. එසේ නම් අපේ ආදරය වර්ග කළ යුතුද?

වර්තමාන ලෝකයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ වර්ධනයක් ඇතැයි පෙනෙන මුත් එයට තවමත් නිශ්චිත හේතුවක් සොයා ගෙන නැත. සමහර විට අද මවුපියන් තමන්ගේ එවැනි දරුවන් සමාජගත කරන්නට කරන උත්සහය නිසා ඔවුන්ගේ ගැවසීම සුලබ  වීම මෙසේ පෙනෙන්නට හේතුවක් විය හැකිය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යනු කවුරුද?.විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යනු සාමාන්‍ය මට්ටම යැයි පිළිගන්නා කායික මානසික බුද්ධිමය ප්‍රමිතීන්ට වඩා පහළ හෝ වඩා ඉහළ හෝ දරුවන්ය. උදාහරණ ලෙස දරුවකුගේ පංති කාමරයක සිටීමට අවශ්‍ය සාමාන්‍ය බුද්ධිඵලය ලෙස මනෝ විද්‍යාඥයින් හඳුන්වන්නේ 70 -130 අතර බුද්ධි ඵලය ඇති දරුවන්ය. එහිදී 130 යනු සුභග දරුවන් වේ. ඔවුන්ගේ බුද්ධි ඵලය ඉතා ඉහළය. සාමාන්‍ය මට්ටමක (100 ලෙස සැලකේ) දරුවන්ට වඩා ඔවුන්ගේ තර්කනය, චින්තනය, භාෂා ඥානය, සංඛ්‍යා ඥානය අවබෝධය ඉතා ඉහළය. තේරුම් ගැනීම වේගවත්ය. මෙම දරුවන් දෙවන වසරේ උගන්නා විට බුද්ධි මට්ටම හතර වසරේ දරුවකුට සමානය.

එසේම සාමාන්‍ය මට්ටමට අඩු අයගේ තර්කනය, චින්තනය, භාෂා සහ ගණිත ඥානය අඩුය. ඔවුන්ගේ ඉගෙනීම සිදුවන්නේ සෙමින්ය. මෙකී දෙයාකාරයේම සිසුන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන් වේ.


එයට අමතරව අංග සම්පූර්ණ නොවූ අවයව සහිතව, පංච ඉන්ද්‍රියන් සහිතව, දරුවෝ මේ සමාජයේ වෙසෙති. අන්ධ, ගොළු, බිහිරි දරුවෝ මෙන්ම ඇවිදීමට නොහැකි, අතපය නිසියාකාරව හැසිරවීමට නොහැකි දරුවෝද ආදි විවිධ අබල දුබලතාවන්ට ලක්වූ දරුවෝ සමාජයේ වෙසෙති. මේ සෑම දෙනාටම අප මහත සුදු බෝල බබාලාට දක්වන සෙනෙහස දැක්වීමට උත්සහ කළ යුතුය. මේ ලිපියෙන් මා කතා කරන්නේ එබඳු අඩුපාඩු සහිතව මෙලොව වෙසෙන අපේම දරුවන් ගැනය.

මව්පියනි මේ ලිපිය ලියන්නේ එවන් දරුවන් වෙනුවෙනි. එවන් දරුවන් සිටින මව්පියන් වෙනුවෙනි.ඔබගේ දරුවගේ බුද්ධි මට්ටම ඔබ පළමුවෙන් වටහා ගත යුතු වෙයි. එසේ නොමැති වුවහොත් ඔබගේ අධිකතර ආශාවන් හා බලාපොරොත්තු ඒ දරුවා මත පැටවීම ඔබ සිදු කරනු ඇත. ඔහුට එය ඉටුකරගැනීමට නොහැකි වූ විට ඔබ මෙන්ම ඔහුත් පීඩා විඳිනු ඇත. හිතන්න බුද්ධිඵලය 130 ක දරුවකු පෙන්වන දක්ෂතා බුද්ධී ඵලය 70 ක දරුවකුට නොව 100 ක් ඇති දරුවකුට පවා කිරීමට නුපුළුවන. එය ඔබ වටහා ගෙන දරුවාගේ බුද්ධියට ගැලපෙන ඉලක්ක ලබාදිම කලහොත් ඒ මට්ටමේ සිටින දරුවන් අතුරෙන් හොඳම දරුවකු ලෙස ඔබේ දරුවා ඔසවා තැබීමට ඔබට හැකිවනු ඇත.

මා වෙත පැමිණි දරුවකුගේ ප්‍රගති වාර්තාව ඔහුගේ මව මට පෙන්වූවාය. ඔහු පංතියේ විසි පස් වැනියාය. ගණිතයට ලකුණූ 10කි. භාෂාවට 24කි විද්‍යාවට 37කි. නමුත් ඔහුගේ මව ඔහුගෙන් අනාගත දොස්තර කෙනෙකු අපේක්ෂා කරයි. එය කිසිසේත්ම ඔහුට කළ නොහැකිය. ඔහු 10 වසරේ සිටියත් ඒ වසරට ප්‍රමාණවත් දැනුම ඔහු වෙත නොතිබුනි. මව ඔහුට දැනුම ලබා දෙන්නට විශාල මුදලක් අමතර පංති සදහා වියදම් කරයි. එහෙත් වෙනසක් නැත. මේ නිසා නිතර නිතර මවුපියන්ගේ දොස්වලට ලක්වීමට සිදුවීම නිසා දරුවා පීඩාවට පත්ව සිටි අතර මව සිටියේද පීඩාවෙනි. උපදේශනයේදී මවට දරුවාගේ තත්වය පහදා දුන්නෙමි. දරුවාට කළ හැකි නොහැකි දේ පිළිබඳව මව දැනුවත් වූවාය. සාමාන්‍ය පෙළ විභාගයේදී ඔහු සමත් වූයේ විෂයන් තුනක් පමණි. මව ඔහු සමග කතා බහ කොට ඔහු ඉතා ප්‍රිය කළ සුපවේදය උගන්වන පාඨමාලාවකට දැමුවාය. අද ඔහු දකුණු පළාතේ ප්‍රසිද්ධ හෝටලක ආධුනික සූපවේදියකු ලෙස සතුටින් රැකියාවක යෙදෙයි. මේ සමානම සිද්ධීයක දරුවකු අද ලන්ඩන් නුවර කීර්තිමත් හෝටලයක ප්‍රධාන සූපවේදියකු ලෙස කටයුතු කරමින් සිටී. ඹහු මෙරට පැමිණි විට තරු පහේ හෝටල් ඔහු පිළිබඳ දක්වන සැලකිල්ල ගරුත්වය ඉතාම ඉහළය.  එහිදී නම් ඔහුගේ ඉතාම බුද්ධිමත් මව දරුවාට පීඩා නොදී ඔහු කැමති ක්ෂේත්‍රයට යෑමට ඉඩ සලසා දුන්නාය. අපගේ එක් පහන් සිතුවිල්ලකින් දරුවෝ සුවපත් වෙති.

එසේම විකලාංග සහිතව ඉපදුනු දරුවෝ ඉගෙනීමේ අදක්ෂ දරුවෝ නොවෙති. සමහර දරුවෝ ඉතා ඉහළ බුද්ධි මට්ටම් ඇති අය වෙති. නොබෝදා ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබූ විද්‍යාර්ථයා දිනපතාම මව විසින් වඩාගෙන ගොස් විශ්ව විද්‍යාලයේ වාඩි කල තරුණයෙකු විය. එමනිසා දෙමව්පියන්වන අපගේ අවබෝධය දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට හේතු වන බව සිතා තම දරුවා පිළිබඳව නිශ්චිත තක්සේරුවක සිටීමට මව් පියන් උත්සහ ගත යුතුය.

නිදසුන් ලෙස 

උපතින් හෝ පසුව ඇතිවූ තත්වයකින් හෝ කකුල නොන්ඩි ගසමින් ඇවිදින දරුවකුට කෙලින් ඇවිදින ලෙස අප බලකර සිටියහොත් එය කීරීමට නොහැකි නිසා ඔහුත්,  එය ඔහු නොකරන නිසා අපිත් පීඩාවට පත්වන්නෙමු. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද ?. අප කළ යුත්තේ ඔහුගේ නොන්ඩි ගැසීම බාර ගැනීමය. ඔහු ඇවිදින ආකාරය පිළිගැනීමය. එයින් ඔහුත් අපත් මානසිකව සුවයක් ලබනු ඇත. වඩා වැදගත් වන්නේ නොන්ඩි ගසමින් හෝ දරුවා ඇවිදීම නොවේද?.එමනිසා ඔබගේ දරුවා කායික, මානසික වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවකු නම් ඔහු නිසා ඔබට සමාජයට මුහුණ දිය නොහැකි ලැජ්ජාවක් ඇති විනැයි සිතා ඔහුව කොන් නොකරන්න. ඔහුද අන් දරුවන් මෙන්ම ආදරයට පිළිගැනීමට ආරක්ෂාවට බඳුන් විය යුතුමය. සමාන අයිතීන් ඇතිව ජීවත්විය යුතුමය. හැකි තරම් ඔහුට ජීවන මගේ සාර්ථකත්වයට ළංවීමට ඔබගේ සහය ලබාදෙන්න. ඔහුගේ හැකියාවන්ට ගැලපෙන ප්‍රමාණයේ ඉලක්ක පමණක් ලබාදෙන්න. පවුලේ ඔහුට හිමි නිසි ගරුත්වය සහ ස්ථානය ලබා දෙන්න. එය ඔහුගේ අභිමානය වර්ධනයට රුකුලක් වෙයි.

එසේම කායික මානසික දුබලතා තිබුණද නිසි වයසේදී දරුවකුට ඇතිවන දේහ විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක විපර්යාසයන්ට ඔහු යටත් බව අවබෝධ කරගන්න. ඒ පිළිබදව වැරදි ඇසින් නොබලන්න. එම දරුවන්ටද ලිංගික හැගීම්, විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවන බව සිතා නිසි කල්හි නිසි උපදෙස් ඇතිව නිසි මාර්ගවලට යොමු කරන්න. එසේම බුද්ධිඵලය 70 ට අඩු දරුවන් නිරන්තර පුහුණුවක යෙදවීමෙන් ඔහුගේ ස්වාධීනත්වය සාධනීය මට්ටමකින් වර්ධනය කළ හැකිය. මෙම මන්ද මානසික දරුවෝ අත්කම් නිර්මාණයන් කිරීමේ අති දක්ෂයෝ වෙති. සමහරු පරිගණක තාක්ෂණයෙන්ද දස්කම් දක්වා ඇත.ඔබ නැති කලෙක ජීවත්විය හැකි සේ ඔහු ස්වාධීන කරන්න. පවුලේ සහ සමාජයේ විවිධ අවස්ථාවන්ට ඔහුත් සහභාගිවීම අවශ්‍ය වෙයි. ඒ සඳහා අනිවාර්යයෙන් රැගෙන යන්න. අනිත් අය ඉවත ලන ඇදුම් පැළදුම් නොව අලුත් ඇඳුම් ඔහු වෙනුවෙන්ද මිල දී ගන්න. මලක පෙත්තක් දෙකක් අඩු වූවත් සුවඳින් අඩු නැති බව මතක තබා ගන්න.

ඔහු ගන්නා සෑම හොඳ උත්සහයක්ම අගය කරන්න. ඔහුගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න. හැකි තරම් සාමානය පරිසරයට විවෘත කර හදාවඩා ගන්න. මිතුරු සමාගම් ඔහුට ඇති කර දෙන්න. ගුණදහම් පින්දහම් ඔහුගේ ජීවිතයට ඇතුලු කරන්න.

ඔබට පාරමිතාවක් සම්පූර්ණ කිරීමට හැකිවනු පිණිස ඔහු ඔබ වෙත පැමිණි බව සිතා ඉවසීම, කැපවීම, පරිත්‍යාගය සහ නිසි ආදරය පෙන්වා ඔහුව ගොඩ නගන්න. ලෝකයට ඉතා විශිෂ්ට දේවල් ප්‍රදානය කළ මිනිසුන් අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වූ බව මතක තබා ගන්න.

ලෝක පූජිත විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ස් දෙස බලන්න. ඔහු ලොවට කරන මහා මෙහෙවර බලන්න. එසේම ඇල්බට් අයින්ස්ටයින් නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඩිස්ලෙක්ෂියා නම් වූ රෝගයකින් පෙළුන බව ඔබ දන්නවාද?. එහෙත් ඔහුගෙන් ලොවට වූ සේවය මිළ කළ හැකිද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මව්පිය වරුනි, අද ඔබ තුරුලේ සිටින්නා වූ විශේෂ අවශ්‍යතා සහිත දරුපැටියා හෙට ලෝකය ආලෝකමත් කරන නිමැවුමක හිමි කාරයෙක් විය හැකිය. එසේ නොවුනත් ලෝකයට බරක් නොවී ඔහු ජීවත් වුවහොත් එයම ප්‍රමාණවත් නොවේද?. ඒ නිසා ඔබ ඔහු වෙනුවෙන් කැප වෙන්න. ඔහු ඔහුගේ උපරිමයට ළඟා වී ඔබේ කැපවීමට උපහාර දක්වනු ඇත.

 

Exit mobile version