එක් හේතුවක් නිසා මැරෙන්න නොසිතන්න… ජීවත් වෙන්න හේතු දාහක් තිබේ…

සිය දිවි නසා ගැනීම ජීවන කුසලතා හීන පුද්ගලයන්ගේ දුර්වලකමේ පිළිබිඹුවකි...

එෂාමා කාරියකරවන –

සිය දිවි නසා ගැනීම ගැන යළිත් කතා වෙමින් ඇත. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කළ ප්‍රචාරණයන් දරා ගත නොහැකිව උතුරේ තරුණයන් දෙදෙනෙක් සිය දිවි හානි කරගත් බව උත්කර්ෂයට නන්වනු ලැබුවේත් සමාජ මාධ්‍ය විසින්ම ය. සමාජය සුපුරුදු රිද්මයෙන් වෙනස් කර අගුලු දැමූ වටපිටාවක යළිත් සියදිවි නසාගැනීමේ සමාජ ව්‍යසනය පිළිබඳ සංවාදයක් ඇති වීම යපහත්ය.

ජීවිතය මොනතරම් වටිනා දෙයක් ද බව මිනිසුන්ට කියා දුන්නත් මිනිස්සු දිවිනසා ගනිති. සමහරු ජීවිතය හැර යන්නේ තවත් එක් රංගනයක් බවට එය පත් කරමිනි. ඒ රංගනය තවත් බොහෝ දෙනෙකුට සියදිවි හානි කරගැනීමට සිත් පහළ කරවයි. මිනිසුන්ට දිවිනසා ගැනීමට බොහෝ විට මූලික වන්නේ එක් හේතුවකි. එහෙත් තමන්ට  ජීවත් වීමට ඕනෑ කරන හේතු සියගණනක් තම ජීවිතය තුළම පවතින බව සිතන්නට ඔවුහු මැළිවෙති. 

සියදිවි හානි කරගැනීමෙන් සිදුවන විශාලම හානිය නම් එය ප්‍රශ්නයකට ඇති ඉතාම හොඳ විසඳුම ලෙස ජීවත්ව සිටින සමහරුන් වැරදි අවබෝධයක් ඇතිකරගෙන එය අනුකරණය කරන්නට යෑමයි. එහෙත් එය ප්‍රශ්නයකට තිබිය හැකි අතිශය දුර්වල විසඳුමකි. එයට හේතුව සියදිවි නසාගන්නට ගොස් බේරුණු පුද්ගලයන් වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශනය මගින් සුවපත් වූ පසු කරන ප්‍රකාශයන්ය.


මනෝවිද්‍යාවට අනුව සියදිවි නසා ගැනීමට විශාදය නම් වූ මානසික රෝගය ප්‍රධාන හේතුවක් වේ. විශාදය ඇතිවීමට බොහෝ මානසික මෙන්ම කායික හේතුන්ද බලපායි. අන්තර් පුද්ගල සබඳතා බිඳවැටීම, දික්කසාදය, අහිමිවීම්, අපේක්ෂා බිඳවැටීම්, අසම්මත සබඳතා, පීඩාකාරී කායික රෝග ආදීය හේතූන් විශාදයට මුල් වේ. විශාද මට්ටම තීව්‍ර වෙද්දී  මොළයේ සිදුවන රසායනික වෙනස්වීම නිසා සිතුවිළි අසාමාන්‍ය වෙයි. මෙම අසාමාන්‍ය සිතුවිලි අතරට දිවිනසා ගැනීමේ සිතුවිළිද එකතු වේ. එයට අමතරව සමහර මානසික රෝග නිසාද සියදිවි හානිකර ගැනීමේ සිතුවිළි ඇතිවේ. ඒ සඳහා නිසි ප්‍රතිකාර සහ උපදේශන ලබා ගැනීම මගින් සාමාන්‍ය තත්වයට පත්වීමට හැකි බව බොහෝ දෙනා නොදනිති. තමාට සියදිවි හානිකර ගැනීමට නිතිර නිතර සිතුවිලි ඇතිවේ නම්, ඒ සඳහා අනුගමනය කළ යුතු උපක්‍රම සොයා බලමින් සිටින්නේ නම් , තමාගේ දෛනික ජීවිතය අකර්මණ්‍ය වී ඇති නම් කළ යුතු හොඳම දෙය වහාම විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙත යෑමයි. 

ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම ,වැඩිහිටි අවවාද අනුශාසනාවන්ට අකමැතිවීම වැනි දේ නිසා සියදිවි හානිකර ගන්නන් තරුණ පරපුර අතර බහුලය. මව්පියන්ද දරුවන් හැදීමට උත්සහ ගන්නේ ඔවුන් නවයොවුන් වියට එළඹුනු පසුවය. එය සාර්ථක ක්‍රමයක් නොවේ. දරුවන් හැදීම දරුවා ඉපදීමට පෙර සිට කළ යුතුය. මාතෘ සායනයේදී ලැබෙන බොහෝ උපදෙස් දරුවාගේ කායික නිරෝගීතාවයට හේතුවෙයි. එහෙත් පූර්ව ප්‍රසව මනෝ උපදේශනයකට සහභාගි වීමෙන් කායික මානසික වශයෙන් නිරෝගී දරුවකු හදාවඩා ගන්නා ආකාරය දැනගත හැකි වෙයි. 

දිවිනසා ගැනීමට උත්සහ කරන්නන් තුළ ජීවන කුසලතා ඌනය.  නිවැරදි තීරණ ගැනීම, අවස්ථාවට අනුව හොඳම තීරණය තෝරා ගැනීම, අභියෝගයකට සාර්ථකව මුහුණදීම, දරාගැනීම, ඔරොත්තු දීම වැනි කුසලතා අතින් දුර්වලය. එවිට ප්‍රශ්නයක් , අභියෝගයක් ඉදිරියේ ඉතා ඉක්මනින් විශාදයට පත්වීම සිදුවිය හැකිය. පුද්ගලයන්ට මෙසේ වී ඇත්තේ ඇයි?

හේතුව නම් වැඩිහිටියන් දරුවන්ගේ ජීවන කුසලතා වර්ධනයට අවශ්‍ය පරිසරය සකසා නොතිබීමයි. දරුවන්ට වයසට ගැලපෙන ස්වාධීනත්වය ලබා නොදීම සහ තීරණ ගැනීමට අවස්ථාව ලබා නොදීම මින් ප්‍රධානය. සියල්ල තීරණය කර දරුවාට ඒවා  ක්‍රියාත්මක කිරීමට බල කිරීම වැඩිහිටියන් අතින් සිදුවෙයි. 

තමා ඇඳිය යුතු ඇඳුම, දැමිය යුතු පාවහන් පිළිබඳ මව්පියන්ගෙන් විමසන වයස 1718 වූ දරුවෝ උපදේශනයේදී  හමුවෙයි. එපමණක් නොව මවට පියාට මැදිව නිදාගන්නා විවාහවන වයස ආසන්නයේ සිටින දරුවෝද උපදේශනයේදී අරුමක් නැත. මෙවන් දරුවන් මවට මහත් සතුටකි. මං නැතුව එයාට මුකුත් කරගන්න බෑ. හැම දේටම මාව ඕනේ. තාමත් අපි දෙන්නා මැද නිදියගන්නේයැයි මව උදම් අනයි. සත්‍ය වශයෙන්ම මේ සිටින්නේ ඉතාම අසාර්ථක අම්මා කෙනෙකි. වයස 18 ක තරුණ දරුවකුට ඉතාම සරල තේරීම් කරන්නටත් අම්මාගේ සහය අවශ්‍ය  වේ නම් එබඳු මානසික යැපීමක් ඇතිව දරුවා හදාවඩා ගත් මව දරුවාට කර ඇති හානිය බලවත්ය. මව්පියන් නැති මොහොතක දරුවාට තීරණයක් ගැනීමට සිදුවුවහොත් ඒ දරුවා පත්වන මානසික ව්‍යාකූලත්වය ඉතා විශාලය. ජීවන කුසළතා වල වැදගත්කම මනෝවිද්‍යාවේදී අවධාරණය කරන්නේ එහෙයිනි. ජීවන කුසලතා ලැබෙන්නේ ක්‍රීඩාවෙනි, සෞන්දර්යයෙනි, එදිනෙදා විඳින අත්දැකීම් වලිනි, කුඩා කළ සිටම ලැබෙන අභියෝග වලිනි, එකිනෙකා සමග මුහුණට මුහුණ ලා පවත්වන අන්තර් ක්‍රියා හේතුවෙනි.  මව්පියන් දරුවන් හදාවඩා ගත යුත්තේ ඒ සැමට දරුවා නිරාවරණය වන අයුරිනි.

වර්තමාන මව්පියෝ දරුවන්ට බය වෙති. ගුරුවරු ශිෂ්‍යයන්ට බයවෙති. මක්නිසාද? යත් අඩුපාඩුවක් වරදක් පෙන්වා තරවටුවක් කළහොත් දිවිනසා ගනු ඇතැයි බියට පත්වීමෙනි. ඒ සඳහා කිසිඳු බියක් ඇතිකර ගත යුතු නැත. එහෙත් අවවාද, තරවටු සිදු කරන ක්‍රමයක් ඇත. එනම් දරුවාගේ පැත්තෙන් දරුවාගේ මට්ටමෙන් ප්‍රශ්නය දෙස බලා ප්‍රශ්නය තේරුම් ගෙන. අවමන් අපයෝජන සහ හිංසනවලින් තොරව අවවාද කිරීමය. මව්පියන් දරුවාගේ යහපත සුබසිද්ධිය වෙනුවෙන් සිටින්නන් බව දරුවාට ඒත්තු ගැන්විය යුතුය. දරුවා තුළ මව්පියන් ගැන විශ්වාසය ඇති කළ යුතුය.

ජීවිතය ප්‍රශ්න පත්‍රයකි. හැමෝට එක සමානවූ ප්‍රශ්න එහිදී ලැබෙන්නේ නැත. එම නිසා තමාට අනන්‍ය වූ ප්‍රශ්න සඳහා පිළිතුරු සොයා ගැනීම තම වගකීමයි. තමාගේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය යුත්තේ තමාමය. එයද ජීවත් වෙමින්ය. අප ලියන නිවැරදි හැම පිළිතුරකින්ම ආලෝකමත් වන්නේ අපේම ජීවිතය බව වටහා ගැනීමට දරුවා හුරුකරවන වගකීම දෙමව්පියන්ට වැඩිහිටියන්ට ඇත. ඒ සඳහා ඔවුන් අනවරතයෙන් උත්සහ කළ යුතුය. අනාගත පරපුර කායික මානසික වශයෙන් ශක්තිමත් පුද්ගලයන් කිරීම එමගින් සිදුවනු ඇත. දිවිනසා ගැනීම් අඩුවීමට එය බලපානු ඇත. දිවිනසාගැනීම කිසිම ප්‍රශ්නයකට පිළීතුරක් නොවන බව තේරුම් ගැනීමටත් එමගින් හැකිවනු ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

 

Exit mobile version