මිත්‍යාවක ගිල්වා රටේ කෘෂිකර්මය වැනසූ හැටි මහාචාර්ය බුද්ධි මාරඹේ හෙළි කරයි!

විද්‍යාත්මක දත්ත මත පිහිටා අදහස් දැක්වූ විද්වතුන්ට වඩා ආණ්ඩුව කේවට්ටයන්ගෙ කතා ඇහුවා...

මහාචාර්ය බුද්ධි මාරඹේ  – කෘෂිකර්ම පිඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  කෘෂිකර්ම පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  බුද්ධි මාරඹේ  ලෝක සම්භාවනාවට ලක් වූ කෘෂි විද්වතෙකි.  රටේ කෘෂිකර්මාන්තය  සහ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් සිය විද්වත් වෘත්තික භාවය පදනම් කර උචිත සංවාදය ඇතිකළ විද්වතෙකි.  කෘෂිකර්මය සම්බන්ධව මෙලෝ හසරක් නොදත් කේවට්ටයින්ගේ  උම්මන්තක හීන  අතර මේ ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වල් වැදී ගිය ආකාරය පෙන්වා දීමේ වරදට  අමාත්‍යවරයාගේ දණ්ඩනයට ලක් වූවෙකි. මේ මොහොතවනවිට බුද්ධි මාරඹේලා අට මසකට පෙර කළ පුරෝකථනය යථාර්ථයක් වී රටේ කෘෂිකර්මාන්තයට කෙළවී තිබේ.  සිදුවූයේ කුමක් ද?. මහාචාර්ය බුද්ධි මාරඹේ කියන්නේය.
මේ ඒ කතාවය.

buddhi-marambe
මහාචාර්ය බුද්ධි මාරඹේ

“හදිස්සියට කොරොස් කටෙත් අත දමා ගන්නට නොහැකි” බව පාසල් යන කාලයේ පටන් අසා ඇත්තෙමු. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මෑතකදී ගත් සමහර ප්‍රතිපත්තිමය තීරණ මේ කියමන සඳහා අනාගතයේදී යොදා ගත හැකි හොද උදාහරණ වනු ඇත.

මුදල් ඇමතිගේ පුරෝකථනය

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගතවුණු දශක 7 කට වැඩි කාලයක් පුරාවට විද්‍යාඥයන්ගේ, පරිපාලකයන්ගේ සහ ගොවි ප්‍රජාවගේ අප්‍රතිහත ධෛර්යයෙන් ගොඩ නගාගත් කෘෂිකර්මාන්තයේ ප්‍රගමනය ආපස්සට හැරවීමට (සම්පුර්ණයෙන් නොවුනත්), එම ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කළ ආකාරයෙන්, අප සමත් වී ඇත. වර්තමානයේ ගෙවෙන මහ කන්නයේ වී වගාවේ අස්වැන්න 20-30% අතර ප්‍රමාණයකින් අඩු විය හැකි බව 2022 ජනවාරි මස 3 වන දින පැවති කැබිනට් රැස්වීමේදී ගත් සහන පැකේජ පිලිබඳ තීරණ දැනුම් දෙමින් මුදල් අමාත්‍යතුමා විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලදී.  අස්වැන්න 50% කින් අඩු වුවහොත්, එයින් වී වගාවේ ආදායමට වන හානිය සලකා බලා, වී කිලෝවකට ලබා දෙන මිල රුපියල් 25 කින් වැඩි කර ඇති බව පැවසේ.

බඩ ඉරිඟු, එළවලු සහ තේ වැනි බෝගවල අස්වැන්න මිට වඩා දැඩි බලපෑමකට ලක්වන බව පෙනෙන්නට තිබෙන නමුදු ඒ පිළිබඳව මෙම සහන පැකේජයෙන් අවධානයක් යොමු නොකරන්නේ, මිට පෙර ඒ සඳහා රසායනික පොහොර ලබාදීමට (ප්‍රමාණවත් නොවුවත්) හෝ විශේෂිත වූ රසායනික පොහොර මිශ්‍රණ ආනයනය කිරීමට තීරණය කර තිබීම නිසාත් යැයි උපකල්පනය කල හැක. එසේ නොමැතිනම්, රසායනික පොහොර ප්‍රමාණවත් ලෙස ලබා නොදීම පිලිබඳ වැඩි හඩක් නැගෙන්නේ වී ගොවීන්ගෙන් වන නිසාත්, එය රටේ ආහාර සුරක්ෂිතතාවට වැඩි බලපෑමක් ඇතිකරන නිසා විය යුතු ය.   


මාස අටකට පෙර විද්වතුන් අස්වැන්න අඩුවීම ගැනකළ අනතුරු ඇඟවීම

 පසුගිය වසර මැද භාගයේදී ගත් ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් මහ කන්නයේ වී අස්වැන්න 21.5 සිට 31.5 % අතර ප්‍රමාණයකින් අඩුවන බව කෘෂි විද්‍යාඥයන් විසින් පර්යේෂණ තොරතුරු පාදක කර ගනිමින්, නොයෙක් වතාවක් රජය මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවද දැනුවත් කර ඇත. මෙවන් අවම අස්වනු හානියක් පුරෝකථනය කර ඇත්තේ ශාක ආරක්ෂණය නිසි පරිදි කෙරේ යයි උපකල්පනය කිරීමෙනි. ශාක ආරක්ෂණය සදහා අවශ්‍යවන වල් නාශක, කෘමිනාශක සහ දිලිර නාශක නොමැති වීමෙන් මෙම අස්වනු හානිය තව දුරටත් වැඩිවනු නොඅනුමානය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙන්ම, රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, සහ කැලණිය විශ්ව විද්‍යාලවල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ද තම විෂය ක්ෂේත්‍රවල විද්‍යාත්මක නිපුණත්වය සහ පළපුරුද්ද මනාව විදහා පාමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට මෙම කාබනික හෝ පරිසර හිතකාමී වෙසින් මෑතකදී කරන ලද ක්‍රියාකාරකම් වල දුර්විපාක පැහැදිලි කර දී ඇත. එහෙත් අවාසනාවකට කෘෂි විද්‍යාඥයන් දුන් එම විද්‍යාත්මක උපදේශ පසෙක දමා, බොහෝ දෙනා කියා ඇති පරිදි කේවට්ට උපදෙස් පිළිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මෙවන් දරුණු තත්ත්වයකට පත්ව තිබීම කනගාටුවට කරුණකි. අද පවතින තත්ත්වය මාස 8 කට පෙර කරන ලද පුරෝකථනයට ආසන්න වීම හෝ ඉන් ඔබ්බට යාම, කෘෂි විද්‍යාඥයන් බහුතරයක් දැඩි වේදනාවකින් නිරීක්ෂණය කරමින් සිටිති. නැති ප්‍රශ්නයක් ඇති කිරීමට ගතවන්නේ නිමේෂයකි. එහෙත් එවන් කෘත්‍රිමව ඇති කළ ගැටලුවක් නිසා ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට සිදුවූ හානිය නිවැරිදි කිරීමට ක්ෂණික විසඳුම් නොමැත. අභාග්‍යය එයයි.     

ඇහුම්කන් නොදීමේ මුග්ධකම

2021 මැයි මස සිට වෙබ් අඩවි සහ ප්‍රධාන ධාරාවේ පුවත්පත් වල මෙන්ම මාර්ගස්ථ ක්‍රම ඔස්සේ පැවති සංවාද වලදී මෙම හරිත සමාජ ආර්ථික ක්‍රමයක් කරා යන ගමනේ කෘෂිකර්මාන්තය සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහි නොවන නුමුදු, සංකල්පනාත්මකව කොතරම් සුදුසු වුවත්, එය වර්තමානයේ  ක්‍රියාත්මක වන ආකාරයේ ඇති දෝෂ සහිත බව ඉතා සවිස්තරාත්මකව සාකච්චා කර ඇත. ඒවා හුදු විවේචන නොවූ අතර, විවිධ රටවල් උදාහරණයට ගනිමින් මෙන්ම, ශාක, පාංශු, ක්ෂුද්‍ර ජීවි සහ පරිසර විද්‍යාව පාදක කරගනිමින් එම රාජ්‍ය ප්‍රතිපත්තිවල ඉලක්ක සපුරා ලිය හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ද සමග ඉදිරිපත් කෙරුණු විද්‍යාත්මක විශ්ලේෂණ විය. එම සාධනීය විශ්ලේෂණ සම්බන්ධ රාජ්‍ය අවධානයක් යොමු නොවුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය මෙන්ම ජාතික ආර්ථිකයේ අවාසනාවකට යයි සිතීම වරදක් නැත.

යම් කණ්ඩායමක සිත්වල ඇඳුනු චිත්‍රයක් හෝ සිහිනයක් රාජ්‍ය භාණ්ඩාගාරයේ වැය ශීර්ෂය යටතේ ක්‍රියාත්මක කර ගැනීමට යාමේ ප්‍රතිවිපාක අප අද විඳිමින් සිටිමු. කාබනික හෝ පාරිසරික කෘෂිකාර්මික සංකල්ප වලින් බැහැරව ඇති සැම දෙයක්ම “මොන්සාන්ටෝ කෘෂිකර්මය” වැනි පටු ආකල්ප තුළින් දැකීමට සහ බැලීමට පෙළඹී ඇති යම් පිරිසක් රජයේ ප්‍රතිපත්ති කඩාකප්පල් වන ආකාරයේ සහ රජය අපහසුතාවට පත්වන ආකාරයේ භූමිකාවක් කර ඇති බව දැන්නම් හොඳටම පැහැදිලිය. එය යම් අදිසි හස්තයක ප්‍රතිඵලයක් ද, සමාගමක ලාභ ඉපයීමේ කුමන්ත්‍රණයක් ද යන වග පසක් කරගැනීම අදාළ බලධාරීන්ට අයිති රාජකාරිය වේ.

ඇතිවීමට යන ව්‍යසනයක් විද්‍යාත්මක කරුණු පාදක කරගෙන පෙන්වාදීම රජය විවේචනය කිරීමක් ලෙස අර්ථකථනය කිරීම, කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් රජයට හෝ අදාළ අමාත්‍යංශ වලට උපදේශ දුන් පිරිස් තමා ලද දේශපාලනික පත්වීම හේතුවෙන් සැමවිටම සෑම දෙයක් දෙසම දේශපාලනික කෝණයෙන් බලන නිසාවෙන්, පුදුම විය යුතු කරුණක් ද නොවේ. බොහෝ දෙනා හැමදාම කතා කරන මාෆියා ගොන්නට තවත් මාෆියාවක් එකතු වී ඇති බව පැහැදිලිය.

විද්‍යාත්මක දත්ත මත අදහස් ප්‍රකාශක කළ විද්වතුන්ට වෙච්චි දේ

2021 දෙසැම්බර් 23 වන දින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් වෙබ් අඩවියක් සමග පැවති සාකච්චාවේදී පවසා තිබුනේ මෙවර මහ කන්නයේ වී වගා වපසරියෙන් 90% කින් පමණ අපේක්ෂිත අස්වැන්න ලැබේ දැයි සැක සහිත බවයි. ඊට කිහිප දිනකට පෙර කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් තුමා ඉතා පැහැදිලිව දක්වා තිබුනේ ආහාර හිඟයක් ඇති වීමේ ලකුණු පෙනෙන බවත් එවන් අවස්තාවලදී ආහාර බෙදා හැරීමේ යම් සීමාසහිත බවක් දැකිය හැකිය යන්නයි. හිටපු කෘෂිකර්ම ලේකම් තුමා එම තනතුරෙන් ඉවත් කිරීමට මෙම ප්‍රකාශය ආසන්නම හේතුව වූවායයි සැක කළ හැකි නමුත්, තාක්ෂණික ඥානය අතින් උසස් කෘෂිකර්ම උපාධිධාරීන් වන මෙම නිලධාරින් කියූ දේ අද යතාර්ථයක් වෙමින් පැවතීම මෙන්ම ඊට සමාන කරුණු රජයේ අමාත්‍යවරුන් විසින්ම වර්තමානයේදී ප්‍රකාශ කිරීම දෛවයේ සරදමක් වැනිය. 

වර්තමානයේ ගොවි බිම් වලින් නැගෙන අදෝනාව කෘෂිකර්ම ක්ෂේත්‍රය පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය පැහැදිලි කරයි. පසුගිය වකවානුව තුළ අපට අසන්නට ලැබුනේ මෙවන් අවස්ථාවකදී වුවද වගා කරන වපසරිය වැඩිවීම පිලිබඳ උදම් ඇනිමකි. සමහරෙකුට එය කාබනික හෝ පරිසර හිතකාමී ගොවිතැනට ගොවින් නතු වූවායයි සිතා සතුටු විය හැකි කරුණක් වන්නට පුළුවන. එම සතුට එක් අතකින් සාධාරණය. වගා කරන වපසරිය වැඩිකිරීමෙන් මෙන්ම ඒකක ක්ෂේත්‍රඵලයකින් ලැබෙන අස්වැන්න වැඩිකිරමෙන් බෝගයක සමස්ත අස්වැන්න වැඩි කරගත හැක. එහෙත් පවත්නා වගා ඉඩම් අතුරින් වැඩි වපසරියක් වැවු පමණින් ශාකයට අවශ්‍ය පෝෂණය නොලැබේ නම් සහ අනෙකුත් කළමනාකරණ කටයුතු නිසියාකාරව නොකෙරේ නම් එයින් අපේක්ෂිත අස්වැන්න නොලැබී යනු ඇත. අද බොහෝ ගොවි බිම්වල  සිදුව ඇත්තේ මෙයයි. බිජ වපුරා ඇත, පල සිටුවා ඇත, එහෙත් බෝගයට අවශ්‍ය පෝෂක ලැබී නැත. බොහෝ පලාත්වල දවස් 40 ක් කල් පිරු වී ශාකය තවමත් කුරු වූ, පඳුරු නොදැමූ, කහ පහ ගැන්වූ ශාකයක් බවට පත්ව ඇත්තේ එබැවිනි.  

බොරු පිඹින උපදේශයකන් කළ විනාශය

රටක ආහාර සුරක්ෂිතතාව ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් සපුරා ලිය හැක, එනම් රටේ ආහාර නිෂ්පාදනය දියුණු කිරීම සහ හිඟ ආහාර ප්‍රමාණය ආනයනය කිරීම ය. මෙහිදී සහල් ඇතුළු අත්‍යවශ්‍ය කෘෂි නිෂ්පාදන ආනයනය කිරීමට සිදුවීම, ශ්‍රී ලංකාවට විදේශ විනිමය අත්‍යවශ්‍ය මෙවන් මොහොතක කිසිසේත් දැරිය නොහැකි වියදමකි. විද්‍යාත්මක දත්ත ආශ්‍රයෙන් කෘෂි විද්‍යාඥයන් සහ බලධාරීන් විසින් (වක්‍රාකාරව හෝ) පෙන්වා දුන් සත්‍යය පිලි නොගැනීමෙන් රජය පත්වී ඇති අපහසුතාව ගැන අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත.

ආනයනය කර හෝ ශ්‍රී ලාංකිකයනට අවශ්‍ය ආහාර හිඟයකින් තොරව ලබාදීම රජයක වගකීම වන නමුදු, කෘෂිකර්මාන්තය දියුණු කිරීම ප්‍රමුඛත්වයෙහි ලා සලකන රටකට, විශේෂයෙන්ම අනිසි උපදෙස් ඔස්සේ කෘෂිකාර්මික නිෂ්පාදකතාව අඩු කිරීමකට මග පෙන්වා ඇති අවදියක, අපට අවශ්‍ය මුලික ආහාර වලින් (විශේෂයෙන් සහල් සැලකීමේදී) වැඩි ප්‍රමාණයක් ආනයනය කරන තත්ත්වයට පත්වීම ඉතා සෝචනීය තත්වයකි. නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවූ නිසාවෙන් වස විස නැති ආහාර පිලිබඳ වූ කතිකාව ද, ජාතික ආහාර අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් ආනයන මගින් සපුරා ගැනීමට වීම තුළ (මුල්‍ය ගැටළු වලට මැදිවී ඇති අවධියක), අනුකම්පා විරහිතව මග හැරී ඇත. ශ්‍රී ලංකාව සිංගප්පුරුව වැනි දියුණු වෙළඳ ආර්ථිකයක් ඇති, භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව වැඩි, එනම් ඒක පුද්ගල ආදායම ඉතා අධික රටක් නොවන බව අපි මතක තබා ගත යුතුය. එනම් අපිට අවශ්‍ය ආහාර විදේශ රටවලින් මිලදී ගැනීමට ඇති මුල්‍ය ශක්තිය අවම ය. ණයට ආහාර ගැනීම හෝ තේ වැනි වෙනත් අපනයන සැපයුම් සමග ආහාර ආනයන වියදම හිලව් කිරීම රටේ ආහාර අවශ්‍යතාව සපුරා ලිය හැකි තවත් ක්‍රම දෙකකි. එවන් ඛේදනීය තත්ත්වක් ගැන සිතීමට පවා නොකැමැත්තෙමි.         

 අප කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට කෘෂිකර්මයේ දායකත්වය වැඩි කිරීමය. ආහාර බෝග වගාව සම්බන්ධයෙන් ගත් කල, පසු ගිය දශක කිහිපය පුරාවට අප එම කර්තව්‍යයේ සාර්ථකව නියැලී සිටියෙමු. මෙම සත්‍යය දේශපාලන අධිකාරියට කවුරුන් හෝ විසින් සවිස්තරාත්මකව පෙන්වා දී නැතැයි යන සිතුවිල්ල සැමවිටම සිතට බරක් ලෙස පැන නගින කරුණකි. එමෙන්ම  බොරු කියන නොව බොරු පිඹින, කෘෂිකර්මය පිලිබඳ විද්‍යාත්මක දැනුමක් නොමැති ඊනීයා උපදේශකයන් හට මෙම ක්ෂේත්‍රය තුල බඩ පිනුම් ගසන්නට ඉඩදී බලා සිටීම අප සැමදෙන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට කල බලවත්ම වරද ලෙස දකිමි. දේශපාලකයන් හටද මෙවන් විනාශකාරී උපදෙස් පිළිගැනීමේදී සහ ඒ මත තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී සහ ප්‍රායෝගික විය යුතු බව හොඳින් වැටහෙනු ඇත. මෙම සිද්ධීන් තුළ අනාගතයේ බිහිවන දේශපාලකයන් හට ද ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. මක්නිසාද යත් ඔවුන් රටක්, ජාතියත් සහ අනාගත පරපුරක් වෙනුවෙන් තීරණ ගන්නාවූ නිසාවෙනි.

අද පවතින තත්වයේ බැරෑරුම්කම

මෙම ලිපියට අනවශ්‍ය දිගුවක් එකතු කිරීමේ අරමුණක් නැති වුවද, අද පවතින තත්ත්වයේ බැරෑරුම්කම පෙන්වීම සඳහා ආහාර බෝග කිහිපයක් උදාහරණයට ගෙන ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික දියුණුවේ පැතිකඩක් ගෙනහැර දැක්වීමට කල්පනා කලෙමි.  

අපේ විද්‍යාඥයන් විසින් වැඩි අස්වනු ලබා දෙන සහ රෝග පලිබෝධවලට මධ්‍යස්ථව හෝ ඔරොත්තුදෙන දෙන වී ප්‍රභේද නිපදවා ඇති අතරම, සමස්ත ගොවි ප්‍රජාව විසින් එම සාර්ථක තාක්ෂනය හොඳින් ග්‍රහණය කර ඇත. මේ හේතුවෙන් කෘමි පලිබෝධ සහ රෝග පාලනය සඳහා වී වගාවේ භාවිත වන පලිබෝධනාශක ප්‍රමාණය අනෙකුත් බෝග වලට සාපේක්ෂව අවම මට්ටමක පවතී. අද ශ්‍රී ලංකාවේ වී වගා කරන වපසරියෙන් 98% කට වඩා  එම වැඩි දියුණු කල වී ප්‍රභේද (දෙමුහුම් වී ප්‍රභේද නොවේ) සඳහා යොමු වී ඇත. 1940 දී පැරණි වී වර්ග වගා කිරීම තුලින් ලබා ගත් හෙක්ටාරයකට මෙ.ටො. 0.65 ක් වූ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වී අස්වැන්න 2020 වනවිට හෙක්ටාරයකට මෙ.ටො. 4.7 කට වඩා ඉහලට ඔසවා තැබීමට මෙම නව වැඩි දියුණු කළ වී ප්‍රභේද භාවිතය මෙන්ම ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත කෘත්‍රිම මෙන්ම අවශ්‍ය අවස්තාවලදී කාබනික යෙදවුම් එකාබද්ධව යොදා ගැනීම හේතු වී ඇත.     

පහත රූපයෙන් දැක්වෙන්නේ 1950 වසරේ සිට ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය වැඩි වී ඇති අයුරුය. නව වැඩි අස්වනු දෙන ප්‍රභේද හඳුන්වා දීම, කෘෂිකාර්මික යෙදවුම් නිසි පරිදි අවශ්‍ය අවස්තාවලදී පහසු මිලට ලබාදීම වැනි කරුණු මෙම සාර්ථක තත්ත්වය උදා කරදීමට සමත්ව ඇත. 2007 වසරේදී සැලසුම් කිරීමෙන් අනතුරුව 2008 වසරේ දී දියත් කරන ලද “අපි වවමු රට නගමු” වැඩසටහන යටතේ, නිදහස ලබා ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ අපට අවශ්‍ය සහල් ප්‍රමාණය තිරසාර ලෙස නිපදවා ගැනීමට අප සමත් වීම මෙයට හොඳම නිදසුනකි. 2008 දී සහ 2011 දී ලොව කැළඹු අධික ලෙස ආහාර මිල අහල යාමේ ගැටලුවට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දුන්නේ මෙම වැඩ සටහන කෘෂිකර්මය පිලිබඳ අනෙකුත් රාජ්‍ය ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කල ආකාරයට පින්සිදු වන්නට ය. කෘත්‍රිම රසායනික පොහොර මෙන්ම අනෙකුත් යෙදවුම් සාර්ථකව භාවිත කිරීමෙන් රට තුල ආහාර නිෂ්පාදනය සහ නිෂ්පාදකතාව වැඩිකර ගැනීමට හැකිවීම, මෙම වසර වලදී ඇතිවූ ලෝක ආහාර අර්බුධයෙන් පීඩාකාරී තත්ත්වයකට පත් නොවීමට අවශ්‍ය ශක්තිය ශ්‍රී ලංකාවට ලබා දුනි. අහිතකර දේශගුණික තත්ත්වයන් ගේ බලපෑම් මගින් 2016-2017 වැනි වසරවල අස්වනු අඩු වුවද, නැවතත් අප සතු තාක්ෂණයෙන් වී වගාවේ වර්ධනය මෙන්ම කෙටි කලකදී  නැවතත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සහල් නිෂ්පාදනය කිරීමට අපට හැකියාව තිබු බව මෙම රුප සටහන හොඳින් විද්‍යාමාන කරයි. සාවද්‍ය තොරතුරු සහ අනිසි උපදෙස් මගින් රජය නොමග යැවීමෙන් සහ එවන් පදනමක් නැති ක්‍රමෝපායයන් ප්‍රායෝගිකව යොදා ගැනීමෙන්  අප නැති කරගන්නට උත්සහ කර ඇත්තේ සහ නැති කරගෙන ඇත්තේ මෙවන් ඉදිරි ගමනක් ය.

විද්‍යාවේ ප්‍රතිඵල එක රැයකින් පහළවූයේ නැත.

දේශගුණික විපර්යාසවලට අපේ කෘෂිකර්මය හොඳින් හැඩ ගැසිය යුතු බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සඳහා නියඟයට ඔරොත්තු දෙන වැඩි දියුණු කරන ලද, වැඩි අස්වැන්නක් ගෙන දෙන වී ප්‍රභේද දෙකක් (බී.ජී. 251 සහ බී.ජී. 314) මේ වන විටත් බතලගොඩ වී පර්යේෂණ ආයතනය මගින් නිර්දේශ කර ඇත. මිට අමතරව නියඟ මග හැර ඒවාට පාත්‍ර නොවී අස්වනු ලබා දිය හැකි කෙටි කාලින වී ප්‍රභේද 3 ක් වගාව සඳහා නිර්දේශ කර ඇත. (බී.ජී. 250, බී.ජී. 252, එල්.ඩී. 253). තේ වගාව සඳහා ද නියං තත්ත්වයට ඔරොත්තු දෙන ටී.ආර්.අයි. 5000 ශ්‍රේණියේ වගා ප්‍රභේදයක් නිර්දේශ කර ඇත. මේ කිසිවක් එක රැයකින් පහල වූ විශ්වකර්ම වැඩ නොවේ. නව වී ප්‍රභේදයක් බිහි කිරීම සඳහා, කන්න 4 ක් පුරා සිදු කරන කේෂේත්‍ර පර්යේෂණ කාලය ද ඇතුළුව, වසර 8ක් පමණ ගත වේ. නව තේ වගා ප්‍රභේදයක් බිහි කිරීමට වසර 25 ක් පමණ ගතවන අතර නවීන තාක්ෂනය ඔස්සේ එය වසර 18 කට පමණ අඩු කිරීමට හැකිවී ඇත. බොහෝ දෙනා අමතක කර ඇත්තේ මේ යථාර්ථයයි. අනාගතය දැක, රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීම සඳහා විද්‍යාඥයන් ගෙන ඇති පියවර එක රැයකින් නැසීමට උපදෙස් දෙන්නන් සැබවින්ම ජාතික ආරක්ෂාවට තර්ජනයකි.  

මෙරටට ආනයනය කරන ලද දෙමුහුම් බඩ ඉරිඟු ප්‍රභේද හේතුවෙන් වැඩි ඵලදායිතාවක් සහ ලාභයක් ලබා ගැනීමට බඩ ඉරිඟු ගොචින් සමත්වීමත්, එයට තවත් ශක්තිය සැපයීම පිණිස මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ ආයතනය මගින් ශ්‍රී ලංකාව තුළම දෙමුහුන් බඩ ඉරිඟු ප්‍රභේද පහක් නිපදවීමත් අපේ ගොවි ප්‍රජාව සහ විද්‍යාඥයන්ගේ නව තාක්ෂණය සොයා යාමේ ක්‍රියාන්විතය හොඳින් පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ නිපදවන බඩ ඉරිඟු වලින් 85% ක් පමණ සත්ත්ව ආහාර සඳහා භාවිත කරන අතර, මෙමගින් කුකුළු පාලනයට වන සේවය ඉමහත් ය. අප වියලි මිරිස් නිෂ්පාදනය පිළිබඳව නුදුරු අනාගතයේදී ස්වයංපෝෂිත වන බවට අද උදම් අනන්නේ සහ ආඩම්බර වන්නේ, පසුගිය දශකය පුරාවට කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස 2015 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිපදවන ලද දෙමුහුම් මිරිස් ප්‍රභේදය හේතුවෙනි. මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණායතනයේ දී උපත ලද මෙම එම. අයි. දෙම්හුම් 1 මිරිස් ප්‍රභේදය ක්ෂේත්‍ර තත්ත්ව යටතේ හෙක්ටාරයකට අමු මිරිස් ටොන් 35-40 අතර ප්‍රමාණයක් හෝ ඊටත් වැඩියෙන් ලබා දෙන අතර ගුණාත්මයෙන් යුත් වියලි මිරිස් නිපදවීම සඳහාද භාවිත කළ හැක.    

කාබනික පොහො ෆේල් වෙන්නේ ඇයි? 

මෙවන් වැඩි අස්වනු දෙන ප්‍රභේද මෙන්ම දෙමුහුම් බෝග වල අදාළ අපේක්ෂිත අස්වැන්න ලබාදීම සඳහා සහ නිෂ්පාදකයාගේ ලාභය වැඩි කිරීම සඳහා කෘත්‍රිම රසායනික පොහොර වලින් සිදුවන්නේ ධනාත්මක බලපෑමකි. අස්වැන්න වැඩිපුර අවශ්‍යනම්, ඒ සඳහා පෝෂක අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය අවස්ථාවේදී සැපයිය හැකි ප්‍රභවයක් භාවිත කල යුතුය. මේ ගැන විවාදයක් නැත. කාබනික පොහොර, ද්‍රව නැනෝ පොහොර සහ අනෙකුත් දියර පොහොර, ආනයනය කරන ලද ඝන කාබනික පොහොර, ජෛව පොහොර හා ජෛව අඟුරු භාවිතයෙන් මේ වැඩි අස්වනු තත්ත්වය බොහොමයක් බෝග සඳහා ප්‍රායෝගිකව ලඟා කරගත නොහැකි බව විශ්ව විද්‍යාලවල ශෂ්‍ය විද්‍යාඥයින් සහ පාංශු විද්‍යාඥයන් මෑතකදී ඉතා පැහැදිලිව විග්‍රහ කර ඇත.

කාබනික ද්‍රව්‍ය යෙදීම කෘත්‍රිම රසායනික පොහොරවල පවත්නා පෝෂක ශාකයට හොඳින් උරා ගන්නා අයුරින් පසේ භෞතික, රසායනික මෙන්ම ජෛවීය ගුණාංග වැඩි කරන බව අප අමතකළ යුතු නැත. එමගින් කෘත්‍රිම රසායනික පොහොර වල අන්තර්ගත පෝෂක හානිවීම වළක්වාලමින් පරිසරයට වන හානි අවම කරන බව විද්‍යාව දන්නෝ දනිති.   

ශාකයට අවශ්‍ය පෝෂක අඩංගු පොහොර ප්‍රමාණය එක්වරම ශාකයට ලබාදීම වෙනුවට එය කඩින් කඩ ශාකයට අත්‍යවශ්‍ය අවස්ථාවේ ලබා දීම මගින් පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව වැඩිවනවා මෙන්ම කෘත්‍රිම රසායනික පොහොර මගින් වන පරිසර හානියක් ඇත්නම එය ද අවම කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම අනෙකුත් පර්යේෂණ ආයතන මගින්ද පොහොර නිර්දේශයන් ලබා දී ඇත්තේ මෙම සංකල්පය මතය. කෘත්‍රිම රසායනික පොහොර අව භාවිතය මගින් වන පරිසර හානිය පිලිබඳ කෑ මොර දීම වෙනුවට කළ යුතු වන්නේ ඒවා නිසි භාවිතයට ගොවින් යොමු කිරීමත්, එම පොහොර යොදන තාක්ෂණය දියුණු කිරීමට උපකාරී වීමත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවිට කෘෂිකර්මාන්තයේ පාරිසරික කළමනාකරණය, අවශ්‍ය වැඩි අස්වැන්නක් සහ ලාභයක් ලබා ගන්නා අතරේදීම, යහපත්ව සිදු කළ හැකි වනු ඇත. කල යුතු වන්නේ, හුදෙක් පුහු ආටෝප පටලවා ගත් විද්‍යාත්මක නොවන, මිත්‍යා මත වලට අවනත වෙමින් තාක්ෂණයට පයින් ගැසීම නොව, කෘෂිකර්මය පිලිබඳ වගකිවයුතු ආයතන සිය පර්යේෂණ ආශ්‍රයෙන් කර ඇති නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමය. 

 

  

 

Exit mobile version