වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

සමාගමේ ගනුදෙනු ගැන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මැති සබේ  කතා කරති

ඩී.එස් ගුණසේකර බස් අද ලංකාවම දන්නා නමකි. මුලින්ම අනුරාධපුරය, කැකිරාව  වව්නියාව, කහටගස්දිගිලිය, මැදවච්චිය වැනි උතුරුමැද නගරවල සිට කොළඹට ධාවනය කළ මේ බස් රථ සෙසු බස් රථ පරයා ගමන් කරන අධිවේගී සේවාවක් බැවින් කොළඹ එන මිනිස්සු තෝරා තෝරා ඩී.එස් ගුණසේකර බස්වල ගොඩවුහ. මෙම බස් රථ ව්‍යාපාරයේ මුල අනුරාධපුරයයි. මෙම සමාගමේ නිල වෙබ් අඩවියේද ඔවුන්ගේ මූලික ලක්ෂණයක් ලෙස සඳහන් කර ඇත්තේ මඟීන්ගේ කාලය ඉතිරි කිරීම සඳහා වේගවත් ධාවනයක් සහිත සේවාවක් ලෙසය. ඩී.එස් ගුණසේකරලා දශක ගණනක සිට ව්‍යාපාර කරන පරම්පරාවක් වන අතර ඔවුන් ඉන්ධන පිරවුම්හල් සහ දුම්වැටි අලෙවි නියෝජිත ආයතනයක්ද පවත්වාගෙන යයි.

මේ වනවිට ඩී.එස් ගුණසේකර බස් රථ ලංකාවේ සෑම කොණකම දැකිය හැකිය. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත වූ වූදා සිට මහරගම සහ ගාල්ල සහ මාතර අතර මෙන්ම විවිධ අතුරු මාර්ගවලද ඔවුන්ගේ බස් සේවාව ව්‍යාප්ත විය. මේ අනුව අද ලංගම ඩිපෝ දෙක තුනකටවත් නැති ප්‍රමාණයේ බස් රථ සිය ගණනක් සහිත සාර්ථක බස් ප්‍රවාහන සමාගමක් ඔවුන්ට ගොඩ නගා ගැනීමට හැකිව ඇත.

ගමේ රටේ සාමාන්‍ය ජනතාව කතා  කරන බස් හිමි මේ සමාගම පිළිබඳව ඊයේ (19) ත් අදත් (20) පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක්වීම විශේෂ කරුණක් විය. මේ තත්ත්වයට හේතුව වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිස්නායක  ඊයේ (19) මෙන්ම අද ද පාර්ලිමේන්තුවේදී මෙම සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය සහ ඒ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද ලබා දුන්  පිළිතුරය.


අනුර කුමාර දිසානායක   ඊයේ ( 19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ කරුණ මීට පෙරද ව්‍යාපාර සහ බැංකු ක්ෂේත්‍රය අතර දැඩි කතාබහක පැවති කරුණක් විය. ඒ බස් දුවමින් දුම්වැටි සහ ඉන්ධන පිරවුහම්හල් පවත්වාගෙන යමින් තම ව්‍යාපාරය කරගෙන  ගිය ඩී.එස් ගුණසේකර සමාගම විසින් ගන්නා ලද දේශපාලන සහය මත රැඳුණු ව්‍යාපාර ක්‍රමෝපායක් හදිසියේ ඇණ හිටීමය.

මෙම සමාගම වර්තමාන රජයේ  ප්‍රබල පුද්ගලයන්ටද දේශපාලනික වශයෙන් උදව් උපකාර කොට ඇති බව වාර්තා වේ. ඒ පසුපස සමාගම මෙරට ප්‍රබල දේශපාලකයකුගෙන් එක්තරා ප්‍රතිලාභයක් බලාපොරොත්තුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසන කරුණකි.  ඒ එකවර කෝටි ගණනක් උපයා ගැනීමේ උපක්‍රමයකි. මෙහිදී අදාළ ප්‍රබලයාගෙන් සමාගමේ හිමිකරුවන් ඉල්ලා ඇත්තේ  පසුගිය අය වැයේ දී දුම්වැටිවල මිල ඉහළ දමන ලෙසය. මේ ඉල්ලීම ඉටුවනු ඇතැයි නිගමනය කළ සමාගම ඔවුන්ගේ ගිණුම් පවත්වාගෙන යන දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ශාඛාවෙන් විශාල මුදලක් ණයට ගන්නේ ප්ලෙජ් ලොන් එකක් ලෙසය.

කටුවන මහජන බැංකු ශාඛාව

මෙම මුදල සුළු මුදලක් නොවේ. රුපියල්කෝටි 315කි. ඔවුන් මේ ණය මුදල ලබා  ගන්නේ දුම්වැටි මිල දී ගන්නටය.   මිලදී ගන්නා දුම්වැටි තොගය සහිත ගබඩාවම ඒ සඳහා ඔවුහු  ඇපයට තැබූහ. මේ දුම්වැටි තොගය ඔවුන් ගන්නේ අයවැය ඉදිරිපත් කිරීමට පෙරය. ඒ අයවැයෙන් වැඩිවන්නේ යයි ඔවුන් අපේක්ෂා කළ දුම්වැටියක මිල සමග මෙම පැරණි මිලට ගත් මෙම තොගයෙන් විශාල ලාබයක්  ට ලැබීමටය. ඔවුන් කළේ රජයේ බදු ලෙස වැඩිවන මුදල වැඩි වන්නට කලින් ආණ්ඩුවේම බැංකුවකින් ණයක් ගෙන දුම්වැටි මිලදී ගැනීමය.

දුම්වැටි ඉහළ යන බවට නිශ්චිත තොරතුරක් පවතින්නේ නම් ලාබ උපයන සමාගමක් ලෙස මෙම තීරණය හොඳ ව්‍යාපාර තීරණයකි. බැංකුවද අවදානම කළමනාකරණය කරගෙන මෙම ණය මුදල ප්ලෙජ් ලෝන් එකක් ලෙස ලබා දී ඇති බව සඳහන් වෙයි.

කෙසේ වුවද සමාගමට ප්‍රශ්නයක් වූයේ දුම්වැටි මිල වැඩි නොවීමය. මේ තත්ත්වය මත ඔවුන් ලබා ගත් සුවිසල් ණය මුදලේ ප්‍රතිලාභය හිමි කර ගන්නට ඔවුන් අපොහොසත් වී ඇත.

මේ පිළිබඳව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේත් අදත් විවේචනය කළේය. ඒ ඩී.එස් ගුණසේකර සමාගම කටුවන ශාඛාවෙන් මෙවැනි විශාල ණය මුදලක් ලබා දීම පිළිබඳවය.  රජයේ ප්‍රතිපත්තිය දුම්වැටි ප්‍රවර්ධනය අඩපණ කිරීම නම් එලෙස රාජ්‍ය බැංකුවක් දුම්වැටි තොගයක් ඇපයට තබාගෙන ණය ලබා දීම පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය.

ඔහු කළ තවත් අනාවරණයක් වන්නේ මෙම ගුණසේකර සමාගමේ එක් පුත්‍රයකු වන මුදිත ගුණසේකර පුල්මුඩේ ඛනිජවැලි සමාගමේ වර්තමාන සභාපවතිවරයා බවය. එයින් මෙම ව්‍යාපාර පවුල සහ රජය අතර යම් සබඳතාවක් පවතින බව පැහැදිළිය. කෙසේ වුවද බැංකුව මේ ණය මුදල ලබා දී ඇත්තේ හුදෙක් ව්‍යාපාරික තීරණයක් මත බව ද පෙනී යයි.

කෙසේ වුවද රාජ්‍ය අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ  අද ( 20) සවස ආරම්භ වූ පාර්ලිමේන්තු සැසියේදී මෙයට පිළිතුරක් ලබා දුන්නේය. ඔහු පැවසූයේ ඩී.එස් ගුණසේකර සමාගම මේ රටේ ව්‍යාපාර සිදු කරන ආයතනයක් ලෙස එම ණය මුදල ලබා ගෙන ඇති බවයි. ඔවුන් කලක සිට මෙරට විශාල ප්‍රදේශයක් ආවරණයවන පරිදි දුම්වැටි අලෙවි නියෝජිතයා ලෙසින් කටයුතු කරන අතර මෙම ගනුදෙනුව සහ රජය අතර සබඳතාවක් නොමැති අතර එය තනිකරම ලංකා බැංකුව විසින් සිදු කරන ලද ව්‍යාපාරික ගනුදෙනුවක් බවය.

එය සියලු කොන්දේසි සහිතව ලබා දුන් එකක් බව අවධාරණය කළ ෂෙහාන් සේමසිංහ  මෙරට ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ආයෝජකයන් අධෛර්යවත් කිරීමට අනුර කුමාර දිසානායක  වැන්නවුන් කටයුතු කරන බවය.

අනුර කුමාර දිසානායක  පවසන පරිදි ඩී.එස් ගුණසේකර සමාගම කටුවන ශාඛාවෙන්   රුපියල් බිලියන 3.15ක ණයක් එනම් රුපියල් කෝටි 315ක් ලබා ගෙන තිබේ.  අමාත්‍ය සේමසිංහ කියන්නේ මේ වනවිට ඔවුන් එම ණය මුදල සාර්ථකව ගෙවමින් සිටින බවය. ඔවුන්ට මෙම බැංකු ණය මුදලින් ගෙවීමට ඉතිරිව ඇත්තේ රුපියල් මිලියන 317ක් පමණක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ඩී.එස් ගුණසේකර සමාගම මෙම කටුවන බැංකු ශාඛාවේ ගිණුම ආරම්භ කර ඇත්තේ 2015 වසරේ වන අතර ඒ යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ බවය.

 

Exit mobile version