බාර් ලොක් වෙද්දී රට වෙරි කරන කසිප්පු

බ්‍රෑන්ඩ් හොයන කට්ටිය හොරෙන්ම කසිප්පු තිප්පල වල

සුදත් සමරදිවාකර

රටම ලොක් ඩවුන් වූ වකවානුවේ බාර් වැසුනේය. ඇඳිරි නීතිය ලිහිල් වූ පසුත් දිගටම බාර් වසා තබන්නට ආණ්ඩුව කටයුතු කළේය.  තමන්ගේ පාලනය තමන්ගෙන් ඉවත් කරගත් අවිනීත මිනිසුන් සමග ගනුදෙණු කරන්නට වනවිට රටකට මීට වඩා යහපත් විකල්පයක් නැත.

එහෙත් බාර් වසා දමුවාට බේබද්දන්ගේ ජීවිත එහෙමට වෙනස් වී තිබුණේ නැත. විකල්ප ඕනෑ තරම් විය. යූටියුබ් හරහා ගෙදරදී කසිප්පු පෙරාගැනීමේ කාලකණ්ණි දැනුමත් බෙදා හැරිනි. ඒ දැනුම බොහෝමයක් නිවෙස් වල විනෝදයටත් අත්හදා බැලිනි. කොහොම උනත් බාර් ලොක් කිරීමෙන් සිද්ධ වී තිබුණේ හැම ගමකම වගේ අලුතින් ජංගම ස්කාගාර කීපයක් ඇරීමට අවස්ථාව සැලසීමය. මේ රටේ මල පෙරේත බේබදු කම සම්බන්ධව හොඳම නිදර්ශනය සැපයුවේ ගමේ අතරින් පතර ඇරුණු මේ කසිප්පු තිප්ලවල්ය.

සීරුවට වාහනවලින් බැස, අවන්හල්වල “ක්ලාසි“  විදිහට අරක්කු බිව්ව බේබද්දෝ හොරෙන් හොරෙන් හොර කසිප්පු පොට් වලට ඇදෙනු දුටුවෙමු. ඇඳිරි නීති බාධක  ගොවිතැන් කරන ගොවීන්ට ලිහිල් කළ බව දැනගත් විට කකුල්වල මඩ තවරාගෙන කාගෙන් හෝ උදලු කෙටියක් ඉල්ලාගත් බේබද්දන් සැතපුම් ගණන් පා ගමනින් ද පා පැදිවලින් ද කසිප්පු සොයා ගිය ගමන් ගැන වාර්තා විය. මේ ඉල්ලුමට ගම්වල කසිප්පු කාරයන් ඇහැරී සිටියේය.


 ගමේ කසිප්පු

මීට දශකයට දෙකකට වටේ පිටේ හැම ගමකම කසිප්පු කාරයෙක් දෙන්නෙක් සිටියේය. එහෙත් ඉතාම සැලසුම්ගතව කළ වැටලීම් නිසා ගම්වල සිටි මේ කසිප්පු කාරයෝ අතුගෑවී ගියහ. දැන් දංකොටුවේ කසිප්පු නැත. එහෙත්  ඉස්සර හලාවත දංකොටුව මීගමුව වැනි ප්‍රදේශවල  කසිප්පු පෙරීම සිදුවූයේ ඉතාම ලිහිල් නීති රීති   යටතේය. කසිප්පු පෙරණ තඹ දඟර දංකොටුවේ හැම ගෙදරකම වගේ තිබිණි.  දඟරය වෙනුවට යොදාගත් හල්මිල්ල පත්තෙන් ගෙදර හැලි අරක්කු පෙරූ කාන්තාවෝ සිටියහ. තමනුත් අඩියක් ගසා ගෙදර උන්ටත් අඩියක් දෙන්නට පෙරාගත් වඩිය සමහරවිට පැහුනේ බත් මුට්ටිය ඉදෙන ලිපට අල්ලපු ලිපෙනි.

කසිප්පු වලට අහවල් ප්‍රමිතියක්වත් නැත. නමුත් ගෙයක් ගානේ කසිප්පු තිබුණ කාලෙ  පැවති තරගය නිසා අඩුම තරමේ හොඳ මට්ටමෙන් එය පෙරා ගන්නට කවුරුත් උත්සාහ කළහ. ගෙවල් ගානේ තිබුණු මේ කාලකණ්ණි කර්මාන්තය කාලයත් සමග මුලුමනින්ම පාහේ නවත්වා දමන්නට රටේ නීතිය කටයුතු කළේය. එහෙත් පොලිසියත් දේශපාලකයනුත් සාක්කුවට දමාගත් කසිප්පු මුදලාලිලා මේ ජවාරම සියතට ගත්හ. රට ලොක්ඩවුන් වීමත් සමග දැන් යළිත් වැඩේට බැස ඇත්තේ කලකට පෙර ගම්වලින් අතුගෑවී ගිය ගමේ කසිප්පු කාරයන්ය.

බෝතලය දෙගුණයකින් ගණන්

රට වැසෙන්නට පෙර කසිප්පු බෝතලයක් රුපියල් හාරසීය ය. බාගයක් දෙසීය ය.  ආවේ පැකට් වශයෙනි. ඒ ගානට ආවේ මහාපරිමාණ කසිප්පු කරුවන්ගේ බඩුය. මේ වස බී ගම් පිටින් මිය ගිය අතීත අත්දැකීම් තිබිණි. මීරිගම පල්ලෙවෙල පැත්තේ උන් හැත්ත බුරුත්තක් කසිප්පු විස වී මලේ මීට මාස හත අටකට පෙරය.  ගෝඩා හැලියක්  පැහෙන්නට යන කාලය අඩු කරගන්නටත්,  ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙන්නටත්    දවස් එක හමාරෙන් වඩිය ගහගන්නට ක්‍රම මේ මහාපරිමාණ ජාවාරම්කරුවෝ සොයාගත්හ.  ගොඩා හැලියට   යවකාර ලුණු,    යූරියා මඳුරු දඟර, කටුකම්බි පමණක් නොව, පසු කාලයේ සිමෙන්තිත් දමා මේ මුදලාලිලා කසිප්පු පෙරූහ.   මේ කසිප්පු ලංකාව වටා තොග වශයෙන් ප්‍රවාහණය විය. එහෙත් පවතින ඇඳිරි නීති තත්ව යටතේ මේ ජවාරම් කාරයන්ට රට වටේ කසිප්පු බෙදන්නට බැරිය. ගමේ කසිප්පු කාරයන් අරගත්තේ ඒ අවකාශය ය.

කසිප්පු බොන්නන් කියන්නේ රුපියල් හාරසීයට ගත්ත කසිප්පු වලට වඩා ගමේ බඩු හොඳ බවය. කාලෙකින් කසිප්පු රසට කසිප්පු බොන බවය. රුපියල් හාරසීයට තිබුණ    කසිප්පු බෝතලයක දැන් මිල  රුපියල් අට සීයය. තැනෙක හයසීයටත් තිබේ. හැබැයි කසිප්පු බොන්නෝ කන්කෙඳිරි නොගා මේ මිලට කසිප්පු බොති. උන් කියන්නෙ එහෙම උනත් කමක් නෑ කියාය. සමහර තැන්වල විකිණෙන කසිප්පු බෝතලයක් රුපියල් දෙදහසකි. ඒ එක් බෝතලයකට වතුර බෝතලයක් කලවම් කළ  හැකි බව කියැවේ. මේ ආසවනය කළ ස්ප්‍රීතු ඇඟිල්ලේ ගල්වා ගිනි කූරකින් තෙවරක් පත්තු කළ හැකිය. උණු කර නිවාගත් වතුර බෝතලයක් කලවම් කර රුපියල් දහසකට මේ ආකාරයේ කසිප්පු බෝතලයක් හදාගන්නට අයෙක් කැමතිය. ඔවුන් කියන්නේ එවිට බඩු ෂුවර් කියාය.

බොහෝ විට ගම්වල මේ වඩිය දාන්නේත් කසිප්පු බොන එකෙකි.  කසිප්පු බෝතලයක නිශ්පාදන වියදම දල වශයෙන් රුපියල් දෙසීයකට වැඩි වන්නේන නැත. මේ නිසා බෝතල් දහයක වඩියක් ගහගන්නා එකාට දල වශයෙන් රුපියල් හයදාහකවත් ශුද්ධ ලාභයක් තිබේ. තමන්ගේ බේබදු මිලත් ආවරණය කරගෙන පන්දාහක් හය දාහක් උපයා ගත හැකි නිසා මේ වැඩේට බෙල්ල තියන්නට ගොඩක් උන් අකමැති නැත.

හොරෙන් හැදෙන ස්කාගාර   

ගමක ගෙවල් තුනක් හරතරක්   සීනි    ඊස්ට් සක්කරා දමා කරන මේ කසිප්පු කෙළිය පළතුරු වඩියක් කියා පලතුරු සුවඳ රස එකතු කරගන්නේ එක්කෝ බෙලි කොල ටිකක් කාඩියට එක් කිරීමෙනි. එසේත් නැතිනම් බෙලි මුල් කෑල්ලක් තලා දැමීමෙනි. පලතුරු වඩි කීවාට කසිප්පු පෙරන්නට තබා ගෙදරකට ගෙනියන්නවත් පලතුරු හොයාගන්නට නැත.කොත්තමල්ලි ටිකක් තලා දමා, කරදමුංගු කරාබු නැටි කුරුඳුපොතු ටිකක් දමා සුවඳ කරගන්නා කසිප්පු දැන් ගමේ පදමට තිබේ.  මොන සුවඳ   කසිප්පු බීවාත් බොන එකා ලඟින්  එන්නේ කුණු වුන පල් ගඳකි.  කසිප්පු බීව්වත් විස්කි බිව්වත් එන්නේ ඒ අප්‍රසන්න ගඳය. එය වෙනම කතා කළ යුතු එකකි.

සැන්ඩි දමා බයිට් හපමින් බොන අරක්කු කැටයම් නැති කසිප්පුවල ඇත්තේ ගත්ත ගමන් කටට හලාගෙන වහං වීමේ සිරිතකි. ඒ කසිප්පු සිරිත දැන් ගමේ ඕවිටිවල ඕනෑ තරම්ය.  එය අල්ලා ගන්නට පොලිසීය නොගන්නා වෙහෙසක් නැත. එහෙත් ගමක කරන එබඳු වැටලීම් එතරම් පහසු නොවන්නේ ඕඩර් පිට, කසිප්පු බෝතල් දහයක් දොලහක් හදා ගන්නට අහල පහල උන්ටත් කොලේ වසා කරන ජාවාරමක් නිසාය. අද එක ගෙදරක හෙට තවත් ගෙදරක ලෙස මාරුවෙවී මේ වඩිය ගහන එක කරන නිසාය.

ඒ නිසා තේරුම් ගත යුත්තේ රටේ බේබදුකම බාර් වසා නවත්තන්නට බැරි බවය. එය මිනිසුන්ගේ ජීවිත විනය සමග පැමිණිය යුතු හැසිරීමකි. කොහොමටත් මේ ලොක්ඩවුන් කාලයේ අපට කවුරු කවුරුත් කියා දුන්නේ බේබදු කම මහමුදලිකමටත් වඩා ලොකු බවය.

 

 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

 

 

Exit mobile version