පැනික් වෙන්න එපා…

ජානක ලියනආරච්චි –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක ඉතිහාසයේ මුල්ම වරට හමුදා බුද්ධි අංශයක් වසංගතයක් පැතිරී යෑමේ හේතු නිර්ණය කර සොයාගෙන තිබේ. එම සොයා ගැනීම ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශ කර ඇත.

ඒ නිර්නායකයන්ට අනුව වසංගතයේ පැතිරීමට හේතුව රට පුරා පැවති උද්ඝෝෂණය. ඒ නිර්ණයන් අනුව උද්ඝෝෂණ 120ක් රට පුරා පවත්වා ඇත. ඒ එක් උද්ඝෝෂණයක් සඳහා අඩුම තරමින් 1500කට වැඩි පිරිසක් සහභාගී වී ඇත.

ඉතින් කොවිඩ් පැතිර තිබේ.

සෞඛ්‍ය ආරක්ෂිත නොවන ජනරාශීන් කොවිඩ් වෛරසය පතුවරුවනු ලබන බව සහතිකය. කඩපිලේ දීත්, සෞඛ්‍ය අංශ විසින් ඇර දුන් පොළේ දීත් මගතොටේදීත් අපට හමුවන්නේ මුවේ තිබිය යුතු මාස්ක් එක නිකටට දාගෙන හතරවරං කෙළින උන්ය. අනෙක මේ රටේ මිනිස්සුන්ගේ වගකීම් රහිත මුග්ධකම පිළිබඳ හොඳම සාධකය මේ උද්ඝෝෂණම නොවේ. තුනෙන් දෙකක බලයක් සහිතව මේ රට පාලනය කරන්නට ගෙනා මේ ආණ්ඩුවය.

ඛේදවාචකය නම් මේ මරණීය වසංගතයත් අශිෂ්ඨ දේශපාලනයෙන් නිර්වචනය කරගැනීමය. මේ වෛරසය උද්ඝෝෂණ කේන්ද්‍රීයව පැතිරෙන්නක් බව ජනාධිපති මාධ්‍ය අංශයම නොකියා කියමින් නිවේදන නිකුත් කරයි. මාරක විහිලුව වන්නේ කිසිම සෞඛ්‍ය විශේෂඥ මතයක් නොතකා නිසි ප්‍රවාහන පහසුකමක් නොදී සේවයට කැඳවූ මිනිසුන් ගමන් ගත් එක දුම්රියක උද්ඝෝෂණ තුනක හතරකට රැස්වූ ප්‍රමාණයක සෙනග කිටි කිටියේ හිරකරමින් වැඩට ගෙන්වීමට චක්‍රලේඛ ගැසූ ආණ්ඩුවක් හමුදා බුද්ධි අංශවලින් කොවිඩ් පැතිරීමේ විද්‍යාත්මක ප්‍රකාශන ලබා ගැනීමය.

මතක ඇති එකෙක් ඉන්නවා නම් මේ ව්‍යසනයේ මුල පසුගිය අප්‍රේල් සමය ය. අවුරුදු වකවානුව තුළ රට විවෘත නොකරන ලෙස මේ රටේ පිළිගත් සෑම සෞඛ්‍ය වෘත්තිකයෙක්ම ඉල්ලා සිටියේය. උද්දච්ඡකමේ ප්‍රමාණය තේරුම් ගත නොහැකිය. ඒ කිසිවක් නොඅසා කිසිම තාර්කික පදනමක් නැතිව ආණ්ඩුව රට විවෘත කළේය. නුවරඑළියේ සාද පවත්වන්නට අගමැති පවුලේ සමාජිකයන් ද ගොස් තිබිණි. ආණ්ඩුවම කියන අළුත් අවුරුදු පොකුර හැදුනේ එතැනිනි. ඒ පොකුර හැදුනේ උද්ඝෝෂණවලින් නොවේ. මේ අත්විඳින්නේ එතැනින් පටන් ගත් දිගුවය.

ඒ දිගුවේ අවසානය මාරක කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වූ මොහොතය. ඒ අවස්ථාවේ දී රට හැසිරිය යුතු ආකාරය ගැන රටේ සෑම සෞඛ්‍ය වෘත්තිකයෙක්ම ආණ්ඩුවට කීවේය. එහෙත් දේශපාලකයන් දෙදෙනෙකුගේ තීන්දුවක් අනුව රට විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.
සියලුම රාජ්‍ය සේවකයන් වැඩට ගෙන්වීමට චක්‍රලේඛ ගැසුවේය.

මේ අමන වැඩේ බිහිසුණුකම ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකයෙක් මෙන්ම හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ වෛරස් අධ්‍යයන විද්‍යාව අංශයේ මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක දත්ත මත පදනම්ව පෙන්වා දුන්නේය. ලංකාවේ සිටින වසංගත රෝග පිළිබඳ ප්‍රමුඛතම සායනිකය වෛද්‍යවරයෙක් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ විවෘත කිරීමෙන් සිදුවන හානිය කීවේය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට කීමේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට මිනිසුන් ජීවත් වී සිටිය යුතු බවය.
එළියට පැමිණ රජය වෙනුවෙන් පෙනී සිටින සෙඛ්‍ය වෘත්තිකයන් පවා මේ කටයුත්ත නොකරන ලෙස ආණඩුවෙන් ආයාචනා කළේය. ඇසුවේ නැත. රට විවෘත කළේය.

ගෝලීය වසංගතයක ස්වරූපයට අවනත වී ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පියවර ගැනීමට තරම් මානසික සංයමක් නැති උද්දච්ඡකමේ ප්‍රතිඵල දැන් ප්‍රකාශිතය. සියලුම රජයේ රෝහල් කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරී ඇත. මෝචරිවල මරණ ගොඩගැසෙමිනි. ප්‍රතිකාර ගැනීමට අවස්ථා නොලද කොවිඩ් ආසාදිතයෝ නිවෙස් තුළම මිය යන අයුරු වාර්තා වෙමින් ඇත. දැන් සෞඛ්‍ය අංශවල ඇත්ත ප්‍රශ්නය කොවිඩ් ප්‍රතිකාර කිරිමෙන් ඉවත් වී ඉටිකොළවල ඔතා මෝචරිවල ගොඩ ගැසූ කොවිඩ් මිනී පුලුස්සා ගැනීමේ කෙළවරට පැමිණ තිබේ.r

ජනාධිපති මාධ්‍ය අංශය හමුදා බුද්ධි අංශ යොදවා සොයාගෙන අපට ප්‍රකාශ කරන්නේ මේ කෙළවරට දැමූ කොවිඩ් ගැනය.

දැන් එක එකාට බැණ වැඩක් නැත. සියල්ල සිදු වී හමාරය. මේ රටේ මිනිසුන් කළ යුත්තේ කොවිඩ් මරණය ජීවිත යථාර්ථයක් ලෙස පිළිගෙන “පැනික්“ නොවී සිටීමය.

මක්නිසාද යත් මේ මරණයට මේ රටේ අති මහත් බහුතරයේ වගකීම් රහිත මිනිස්සු ආකාර දෙකකින් දායක වී ඇති බැවිනි. එකක් අතිශය අවිනීත ලෙස සෑම සෞඛ්‍ය නිර්ණායක බිඳ දමමින් කළ සියලුම ආකාරයේ අශීලාචාර හැසිරීම්ය.

දෙවැන්න මනංකල්පිත තුසිත පුරයක් නිර්මාණය කරගැනීමට දියසෙන් පහළ කරගැනීම සඳහා පුරන් කුඹුරු අස්වද්දමින්, බිත්ති පේන්ට් කරමින් තුනෙන් දෙකක බලයක් සහිතව මෙවැනි ආණ්ඩුවක් බලයට ගෙන ඒමය.

Exit mobile version