නිරෝධායනය පොලිසිය සහ හංසමාලිලා…

Hansamali

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හංසමාලිලා ඇල්ලීම රටේ ජනප්‍රිය කතාබහක් නිර්මාණය කළේය. හංසමාලි දැන් නිරෝධායනය වෙන්නේ කොතැනද, චන්දිමාල් නිරෝධායනය වී ද වැනි කතා රටේ ජනමාධ්‍යවලත් ප්‍රධාන මාතෘකාවය.

නීතියට පිටින් ඕවර් ඇක්ටින් කරන්නට ගොස් හංසමාලිලා නිසා පොලිසිය ඇනගනී දැයි සිතෙන තරමට දැන් වැඩේ දුර දිග ගොස් තිබේ. පාරේ යන උන් කකුල් කෙටියෙන් අල්ලා බස්වල පටවන් ගිය පොලිසියට, සෙනග රැස්වන තැන්වලට පැන නිරෝධායන නීති කඩ කළ බව කියමින් හිතු මතේ ගෙවල් තුළත් හෝටල් තුළත් මිනිසුන් නිරෝධායනය කළ පොලිසියට චන්දිමාල් හා හංසමාලි අල්ලා පබ්ලිසිටි ගන්නට ගොස් ඇන ගැනීමට සිදුවේ යැයි සිතීම එක අතකට දෛවෝපගතය.

මේ සිද්ධියත් සමග කවුරුත් කතාවෙන රටේ නිරෝධායන නීතිය ගැන පැහැදිලි කිරීමක් කරගන්නට උත්සාහ කරන්නේ එබැවිනි.

නිරෝධායනය යනු දඬුවම් ලබා දෙන නීතියක් නොවේ.

එය බෝවන රෝගයක් වළක්වා ගැනීම සඳහා භාවිත කරන සෞඛ්‍යය ප්‍රතිකර්මයකි. එනම් නිරෝධායනය යනු වර්ෂ 1897 අංක 3 දරණ නිරෝධායනය සහ බෝවන රෝග වැලැක්වීමේ ආඥාපනතේ විධිවිධානයන්ට ප්‍රකාරව කටයුතු කිරීමය.

මේ අනුව නිරෝධායන පනතේ බලධරයා වන්නේ සෞඛ්‍ය ඇමතිනියයි. පනතේ ප්‍රකාරව සෞඛ්‍ය ඇමතිනියට ලැබී තිබෙන බලතලවලට අනුව කෝවිඩ් 19 වළක්වා ගැනීම සඳහා නිකුත්කළ ගැසට් පත්‍රයේ 98 වෙනි වගන්තියේ සඳහන් කර ඇත්තේ මෙම වසංගත රෝගය පාලනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ නිකුත් කිරීමේ බලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට පවරා ඇති බවකි. ඒ අනුව ඔහු විවිධ කාරණා සඳහා චක්‍රලේඛ නිකුත් කර තිබේ.

වසර 2020 මාර්තු මාසයේ කෝවිඩ් රෝගය බෝවන රෝගයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගැසට් කර ඇත.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පුද්ගලයෙකු නිරෝධායනය කළ යුතු හා කළ හැකි අන්දම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආසාදිතයෙකුට නිරාවරණය වුණ පළමු පෙළ ආශ්‍රිතයෙක් දින 14ක් නිරෝධායනය කරන අතර දින 10ක් ගත වන විට පී.සී.ආර් පරික්ෂාවක් කළ යුතුය. මෙම පී.සී.ආර් පරික්ෂාවෙන් මෙම පුද්ගලයා ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් ඔහුව හෝ ඇයව දින 14න් නිදහස් කිරීමේ බලය පවරා ඇත.

ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයෙක් ආසාදිතයෙකු බව විශේෂඥ වෛද්‍යවරයා රෝග නිශ්චය කාඩ්ප‌තේ සඳහන් කරමින් එම පුද්ගලයා නිරෝධායනය කළ යුතු දින ගණන සඳහන් කර ඇති විට නිරෝධායනය කළ හැකිය.

විදේශගතව සිට නිරෝධායනය වී නිවසට පැමිණෙන පුද්ගලයින් දින 14ක් නිරෝධායනය කිරීමේ හැකියාව පවතී.

කෝවිඩ් රෝග ලක්ෂණ සහිතව පුද්ගලයෙකු සිටින බව වෛද්‍යවරයෙක් නිර්දේශ කළොත් එවැනි පුද්ගලයින්ව නිරෝධායනය කිරීමේ හැකියාවක් පවතී.

නිරෝධායන පනතේ නෛතික ආවරණය ප්‍රකාරව වෙන කිසිම පුද්ගලයෙකු කිසිම හේතුවක් මත නිරෝධායනය කිරීමේ හැකියාවක් නොමැත.

නිරෝධායනය යනු දඬුවමක් නොව බෝවන රෝගයක් වලක්වා ගැනිම සඳහා තිබෙන නෛතිකමය ප්‍රතිපාදනයකි.

මෙම කරුණුවලට පරිබාහිරව කෙනෙකු නිරෝධායනය කළොත් එම පුද්ගලයාට මේ ආඥාපනතට අනුව නෛතික රැකවරණයක් හිමිනොවේ. යම් හේතුවකින් යමෙක් එසේ කරන්නේ නම් නැතහොත් අයුතු ලෙස සිරගතකර තැබීමක් කරන්නේ නම් එය මිනිස් අයිතිවාසිකම් කඩවීමේ ක්‍රියාවක් යැයි පවසමින් එම පුද්ගලයාට නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්වීමේ අයිතියක් හිමිවේ.

සරලව සඳහන් කරන්නේ නම් අපට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ චක්‍රලේඛයන්ට පටහැනිව කිසිම පුද්ගලයෙකු නිරෝධායනය කළ නොහැකිය.
සෞඛ්‍ය ඇමතිනිය හරහා සැකසෙන නීති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාත්මක කිරීමේ බලය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සතුවේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කවුරුන් හෝ නිරෝධායනය කරන්නේ නම් එම පුද්ගලයාගෙන් කොවිඩ් 19 රෝගය බෝවීමේ අවදානමත් පවතින බවට එම කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශය ගතයුතුයි .

නැතහෝත නිරෝධායන ආඥාපන ප්‍රකාරව මේ අය නිරෝධායන පනත කඩකර තිබෙන බව පවසා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණය එම කරුණු සලකා බලා එම පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම නිරෝදායනයට ලක් කල යුතුද නැද්ද යන්න නියෝග කරනු ලබයි.

නැවත හංසමාලිලාගේ කතාවට යමු.

නිරෝධායන නීති කඩ කළ බව කියූ හංසමාලිලා අල්ලන්නට ගියේ පොලිසිය පමණය. නිරෝධායන නීති කඩ කරනබව දැනගත් විට ඒ අවස්ථාව නෛතිකව ආවරණය කළ හැකි සෞඛ්‍ය නිලධාරියෙක් පොලිසිය සමග ගියේ නැත. පොලිසිය ඒ අවස්ථාවේ හංසමාලිලා අත්අඩංගුවට ගත්තේත් නැත.

පසුව අත්අඩංගුවට ගෙන හංසමාලිලා උසාවියට යොමු කරනවිට පී.එච්.අයි. ලා කැඳෙවුවේත් නැත. පොලිසිය අධිකරණයෙන් ඉල්ලුවේ මේ කණ්ඩායම බන්ධනාගාර නිලධාරීන් හරහා නිරෝධායනය කරන ලෙසය. අධිකරණය ඒ අවස්ථාවේ දී පැහැදිලි කර දුන්නේ එවැනි බලයක් තමන්ට නොමැති බැවින් අදාල සෞඛ්‍ය අංශ සමග එය විසඳා ගත යුතු බවය. පොලිසිය පී.එච්.අයි.වරයෙක් එතැනට ගෙන්වන්නේ ඉන් අනතුරුවය.

දැනුවත් මිනිසුන් අහන අනෙක් කාරණාව ඔවුන් නිරෝධායනයට බදුල්ලට යවන්නේ අහවල් දෙයකට ද යන්නය. ආසන්නම උදාහරණය ගනිමු. ඊයේ නුවර නේවාසික පාඨමාලා පවත්වන පුද්ගලික ආයතනයක් වැටලූ පොලිසිය එහි අධ්‍යාපනය ලද දරුවන් එම ආයතනය තුළම නිරෝධායනය කළේය. හොටල්වල නිරෝධායන නීති කඩ කරමින් උත්සව තැබූ විට හෝටල් සීල් කර පාටි දැමූ උන් හෝටලය තුළම නිරෝධායනය කිරීම මෙතෙක් සිදුකළ ක්‍රමය ය. ඒ තියරියට අනුව නම් හංසමාලිලා ෂැංග්‍රිලා හෝටලය තුළ නිරෝධායනය කර හෝටලයට සීල් තැබිය යුතුය.

රටක නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ක්‍රියා කළ යුත්තේ ගැලරිය පිනවා විෂිල් පාරවල් ලබා ගැනීමට නොව රටේ සුබ සිද්ධිය සඳහාය. නැවු ගිනි ගෙන ගිලී යනවිට, කොවිඩ් මරණයේ බිහිසුණු ව්‍යසනය රටේ ආර්ථික සමාජ පරිසරය සුන් කරනවිට ඉන් ඇතිවන සමාජ කම්පනය හංසමාලිගේ උඩුකයෙන් වසා ගැනීම අසීරු බව ලියා තැබිය යුතුය.

Exit mobile version