දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

පුරාවිද්‍යා භූමියක් ලෙස රජය ගැසට් කරන්නේ වර්ෂ 1933 දි...

දිනසේන රතුගමගේ –

මුලතිව් කුරුන්දමලෙයි කැණීම් ආරම්භ කළ ප්‍රදේශය බෞද්ධ පුරා වස්තු සහිත ප්‍රදේශයක් නොවන බවත් එය හින්දු ජනතාව අනාදිමත් කාලයක  සිට වන්දනාමාන කළ ආදී අයියනාර් කෝවිලට අයත් භූමියක් බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්න්බලම්  පවසයි.

පක්ෂය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරණ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටින්නේ මුලතිව් අධිකරණය මගින් පළාතේ හින්දු බැතිමතුන්ට  එම ස්ථානයේ වන්දනාමාන කිරීමට අවසරය ලබා දී ඇත්තේ මෙම පෞරාණික උරුමය සැලකිල්ලට ගැනීමෙන් පසුව බවය.

මේ පිළිබදව පාර්ලිමේන්තුවේදී හඬක් නැගීමට තමන්  තම පක්ෂයේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පැවරූ බවත් රජය  යුද හමුදාව හා පුරා විද්‍යා නිලධාරීන් යොදවා  උතුරේ හින්දු දහමට අයත් ප්‍රදේශ බලහත්කාරයෙන් බෞද්ධකරණයකට ලක් කිරීම වහාම නවතාලන ලෙස ඒ මගින් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කරයි.


දැනට පුරා විද්‍යා නිලධාරීන්  යුද හමුදාවේ ආරක්ෂාව ඇතිව කැණීම් ආරම්භ කොට ඇති ප්‍රදේශයේ කිසිදු කලෙක බෞද්ධ භික්ෂූන් වහන්සේලා හෝ සිංහල ජනතාව වාසය කොට නොමැති බව පවසන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්  හින්දු ප්‍රදේශ බෞද්ධ උරුමයන් ලෙස හුවා දැක්වීම රජයේ බලපුලුවන්කාරකම පෙන්වීමක් හා  හින්දු දහම යටපත් කිරීමක් බවද පෙන්වා දෙයි.

උතුරු පළාත යනු ලංකාවේම කොටසකි. එම ප්‍රදේශයත් රටේ ඉතිහාසයේ රිද්මය ගලා යන රටාවට ඇතුළත්ය. කුරුන්දිමලෙයි පුාවිද්‍යා ස්ථානය  ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා නොදැන සේ මග හැර යන ජාතිවාදී මජර දේශපාලනයට එපිටින් වන සාධනීය ශාස්ත්‍රීය කාරණාවකි. 

වංසකතා කියන ඉතිහාස කතාව

මේ ස්ථානයේ පිහිටන්නේ වංශකතාවන්හි හා අට්ඨතාවන්හි පැනෙනා කුරුන්දාවශෝක විහාරයයි.  මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවති ජනාවාසකරණය සම්බන්ධව විද්‍යාත්මක සාධක සහිතව හෙළි කරන පුරාවිද්‍යා භූමි අතරින් වැදගත්ම භූමිය කුරුන්දාවශෝකාරාමය ය. මහාවංසයේ 33වැනි පරිච්ඡේදයේ 32 වැනි ගාථාවෙන් දැක්වෙන ලජ්ජිතිස්ස රජුගෙන් පසු ලංකාද්වීපයේ රාජ්‍යත්වයට පත්වූ ඛල්ලාටනාග රජු ( ක්‍රි.පූ.110 – 103) විසින් ඉදිකළ කුරුන්දපාසක විහාරය මෙය බව හඳුනාගෙන තිබේ. මෙම විහාරයට අනුබද්ධව කුරුන්දචුල්ලක නම් පිරිවෙණක් වී යැයි වංසකතාවන්හි සඳහන්ය.

සමන්තපාසාදිකා විනයාට්ඨ කතාවේ කුරුන්දි අට්ඨකතා ගැන වාර 75කට වඩා සඳහන්ය. එම අටඨකතා සම්පාදනය කළේ කුරුන්වේලු විහාරයේ දී බව සාහිත්‍ය කෘතිවල පැනේ. පළමුවන අග්බො රජු ( ක්‍රි.ව. 571-604) මෙම විහාර භූමියේ නවකම් කළහ. මේ පෙදෙස කුරුඳුවැව වූ බවත් පළමු අග්බෝ රජු කළ කුරුඳුවැව වත්මන් තන්නිමුරුප්පු වැව බවත් නිකසල් කියයි.

ඉතිහාසය පුරාම මෙම විහාරය ඇසුරෙහි සිදුවූ සංවර්ධන කටයුතු වංසකතා කරුවෝ වාර්තා කරති. හතරවන අගබෝ රජු ( 667-683), තුන්වන මිහිඳු රජු ( ක්‍රි.ව. 801-804), මෙම විහාරයට කළ මැදිහත්වීම් මහාවංසය දක්වයි. පළමු විජයබා රජු  ( ක්‍රි.ව. 1055-1110) මෙම විහාරය නැවත පිළිසකර කළ අයුරු පැනේ. දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී ( ක්‍රි.ව. 1236 -1270)  කාලිංග මාඝ ගේ සහ ජයබාහුගේ ද්‍රවිඩ සේනාව විසින් බිඳ දමන ලද කඳවුරු 15න්  එකක් වූයේ කුරුන්දි විහාරය ය. පූජාවලිය, නිකාය සංග්‍රහය, වැනි පැරණි ග්‍රන්ථවල කුරුඳු රට, කුරනන්දුගම්මු රට, කරුන්දක හා කුරුන්දිරට්ඨ ආදී නම්වලින් හැඳින්වෙන්නේ  ද මෙම ප්‍රදේශය බව පුරාවිද්‍ය වාර්තාවල දැක්වේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 1905 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවට අනුව මේ භූමියේ සෙල් ලිපියක් පිහිටා තිබී ඇත. හෙන්රි පාකර්ට අනුව උතුරු පළාතේ ඇති විශාලම නටබුන් සංකීර්ණය කුරුන්දාශෝක විහාරයය.  මෙම භූමිය වර්ෂ 1933 දී 1933-05-12 දිනැති අංක 7981 දරන ගැසට් නිවේදනය ගමින් අක්කර 78 රූඩ්1පර්චස් 62ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

 

Exit mobile version