ටියුෂන් ගුරුවරයා දැරිය පැහැරගත් අයුරු පිළිබඳ ඇසින් දුටු සාක්ෂිය…

අප්සාර මදුෂාණි

ලලිත් චාමින්ද –

“අනේ සුදු නෝනා ගෙනියන්න එපා කියලා මා කැගැසුවා. මාව කාර් රථයෙන් එළියට ඇදලා දැම්මා. විෂාන් ඇවිත් සුදු නෝනා ඇදගෙන ගියා.“ යැයි මනාලියන් සඳහා කරනු ලබන පුර්ව රූගත කිරීමකට (පෝටෝ ෂුට්) බව පවසා රූපලාවන්‍ය ශිල්පිණිය හරහා මනාලිය හා දෙවන මනාලියන් ලෙස තෝරාගෙන සිට යුවතියන් ගෙන්වා ගෙන ඉන් එක් යුවතියක් පැහැරගෙන ගිය සිද්ධිය පිළිබඳ විස්තර කරමින් මනාලිය ලෙස සැරසී සිටි සිසුවියගේ නැන්දාවන අප්සාර මදුෂාණි (26) ලංකාසරට කීවාය.

පැහැර ගෙන ගොස් තිබුණේ 16 හැවිරිදි පාසල් සිසුවියකි. එම පැහැරගත් පුද්ගලයා 24 හැවිරිදි විෂාන් නැමැත්තෙකි.

යක්කලමුල්ල සිතිදොළ ආරණ්‍ය අසල මාර්ගයේ දී මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණි. සිද්ධිය විස්තර කරමින් ඇය මෙසේද කිවාය.

“ අලුතෙන් ක්ෂේත්‍රයට එන ඡයාරුප ශිල්පියෙකුට ෆොටෝ ෂුට් එකක් කරන්න ඕන කියලා මට යක්කලමුල්ල නගරයේ පිහිටි රුපලාවන්‍ය කටයුතු කරන අක්කා කීවා. ඇය මා වසර 10ක් තිස්සේ හඳුනනවා. මගේ වෙඩින් එක මැයි මාසයේ 10 වැනිදා ගන්න හිටියේ. නමුත් කොරෝන වසංගතය නිසා ගන්න බැරිවුනා. සැලුන් එකේ අක්කා මට කථා කරලා කීවා නංගි ඔයා වෙඩින් එකට සුදානම් වු නිසා දෙවන මනමාලියන් සමග ෆොටෝ ෂුට් එකක් කරමු කියලා. මේ ගැන මම සුදු නෝනාගේ අම්මාටත් කීවා. “

“පොසොන් පෝය දින තමයි ෆොටෝ ෂුට් එක කරනවා කීවේ. සැලුන් එකට ඇවිත් ඇඳුම් බලලා යන්න කීවා. පස්සේ ඇඳුම් ටිකත් දුන්නා. පෝය දින ඩ්‍රෝන කැමරා උඩ යවන්න බැරිනිසා එදා වැඩේ කල්ගියා. පසුගිය 25 වැනිදා සැලුන් එකේ අක්කා කථාකරලා කීවා උදෑසන 8.00 ට විතර සැලුන් එකට එන්න කියලා. ඇඳුම් ඇඳගෙන අපි සැලුන් එකට ගියා. සැලුන් එකේදි මම ඒ අක්කාගෙන් ඇහුවා අක්කේ මගේ දුරකථනය අංකය දුන්නේ කවුද කියලා. නංගි බය වෙන්න එපා. ඔයා අඳුනන කෙනෙක් කියලා ඇය කිවා. “

“පෝටෝ ෂුට් කරණ තැනට අපිව එක්ක යන්න ඇල්ටෝ කාර් රථයක් ඇවිත් තිබුනා. මමයි මල්කුමාරිට ඉන්න දරුවන් 02න්නයි කාර් රථයට නැග්ගා. කොට්ටව රක්ෂිතයේ තමයි ෂුට් එක කරණ බව කීවේ. නමුත් කොට්ටව කැළේ ළග කාර් රථය නතර කළේ නැහැ. කොට්ටවහන්දියෙන් ඇතුළට දමන කොට මා ඇසුවා ඇයි මේ පැත්තට යන්නේ කියලා. සැලුන් එකේ අක්කාට කොල් කරලා කීවා කොට්ටවහන්දියෙන් ඇතුළට දැම්මා කියලා . ඇය මට කිවා භය නැතිව යන්න කියලා. “

“මට සැකයක්ද ඇතිවුනා. මල්ලිට කථා කරලා කීවා කොට්ටව ඇතුල් පාරේ යන්නේ කියලා . නැවුන්ගලත් පසුකරගෙන යනවිට මම මේ දුවගේ අම්මාටත් කොල් කළා. මගේ මහත්තයාටත් කිවා. සිතදොළ ආරණ්‍ය පාරෙන් ඇතුළට දැම්මා. සිතදොළ ආරණ්‍ය කියලා ගහලා තියෙන බෝඩ් හැම එකෙන්ම ඇතුල් වුනා. සිතදොළ ආරණ්‍යට හැරෙන තැනදි තුන් දෙනෙක් ඇවිත් කාර් රථය නතර කළා. මිටර් 200ක් විතර ඉදිරියෙන් ත්‍රිරෝද රථයක් නතර කරලා තිබුනා.“

“මම කාර් රථයේ දොරවල් ලොක් කළා. කාර් රථය පදවපු මල්ලිටත් තර්ජනය කළා කාර් එක ඉදිරියට ගන්න එපා කියලා. කාර් රථයේ විදුරු ඇරලා තිබුණු නිසා විෂාන් ඇවිත් කාර් රථයේ දොරවල් ඇරලා බහින්න කිවා. මම නැවත කාර් රථයේ දොරවල් ලොක් කළා. මා සුදු නෝනා අල්ලාගත්තා. පස්සේ ඔවුන් යළිත් දොරවල්වල ලොක් ඇරලා සුදුනෝනා එළියට ඇද්දා. මා සුදු නෝනා ඇදගෙන හිටියා. තව නංගි කෙනෙක් මැද හිටියා. පස්සේ තව කෙනෙක් ඇවිත් මගේ පැත්තේ කාර් රථයේ දොර ඇරලා මාව එළියට තල්ලු කළා. සුදු නෝනා ගෙනියන්න එපා කියලා මම විෂාන් සමග පොරකැවා. මාව පස්සට තල්ලුකරලා සුදු නෝනව ඇදගෙන ගියා.“

“ පස්සේ අනික් පිරිමි දෙන්නා ඇවිත් මට තර්ජනය කළා. උඹට ගහන්නේ නැහැ. ගැණියෙක් නිසා කියලා. ඔවුන් යන්න ගියා. පස්සේ කාර් රථයේ මල්ලිට කිවා අපි ත්‍රිරෝද රථය පස්සේ යමු කියලා. ත්‍රිරෝද රථයේ කට්ටිය කිවා. අපේ පස්සේ එන්න එපා. කාර් එක නතර කරන්න කියලා. සුදු නෝනා අරගෙන යනවා කියලා මා දන්නා අයට කොල් කළා.119 අංකයටත් දැනුම් දුන්නා. ත්‍රිරෝද රථය පස්සේ එළවාගෙන අකුලහේන හරියට ගියා.

එතැනදි ත්‍රිරෝද රථය මග හැරුණා. ත්‍රිරෝද රථයේ රෝදපාරවල් ඔස්සේ ඉදිරියට ගියා. කාර් රථයේ මල්ලිත් මේ සිද්ධිය තමන්ගේ මිතුරන්ට කොල් කරලා කිවා. අකුලහේන ප්‍රදේශයේ දි තමයි සුදු නෝනා බේරාගත්තේ“ යැයි ඇය කිවාය.

ත්‍රී විල් රථයෙන් තරුණිය පැහැරගෙන යන අයුරු….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙකී පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයකු හා ඒ සඳහා අනුබල දුන් රුපලාවණ්‍ය ශිල්පිනියක් සහ කාර් රථයේ රියදුරු යක්කලමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

උපකාරක පංති ගුරුවරයා මෙම සිසුවියගේ නිවසට ගොස් ටියුෂන් ලබාදි ඇත. පසුව මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවි තිබේ. දෙමව්පියන් මෙයට විරෝධය දක්වා ඇති අතර පසුව පාසල් දැරිය ද ප්‍රේම සම්බන්ධය නතරකොට ඇත. උපකාරක පංති ගුරුවරයා විසින් ෆොටෝ ෂුට් එකක් කරණ මුවාවෙන් මෙම දැරිය පැහැරගැනිමට සැලසුම්කොට තිබුණි..

Exit mobile version