ජීවත් වෙන්න  රෙදි අපුල්ලන රජ කුලේ රජකයෝ

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඥාති පරම්පරාවක පස්වන පුරුක

උපේක්ෂා උඩුවැරැල්ල –

සුදුහුම්පොල තෙලිඟු සුභසාධක සංගමයේ ලේකම් තැන බාලා සිවසුබ‍්‍රමනියම්ය.    සිවසුබ්‍රමනියම් ලා ජීවත් වෙන්නේ රෙදි ඇපිල්ලීමෙනි. සිව සුබ්‍රමනියම්ගේ තාත්තා මූලුසාමි රාමසාමිය. සීයා මුරුස්සාමිය. මේ ඇත්තන් මුත්තුසාමි බංගාරස්වාමි පෙළපත් වලින් පැවත එන්නන්ය. එම පරම්පරා දෙක ලංකාවේ සුප්‍රකට ප්‍රභූ කාන්තාවක් වන වෙන්කත රෙංගජම්මාල් ගේ ඥාතීන්ය. මේ ප්‍රභූ කාන්තාව වෙන කවරෙක්වත් නොව, සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ රන්දෝලිය වූ බිසවුන්නාසේය.

වෙන්කතරන්ගම්මාල් බිසව

අපි ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රාජ පරපුරෙන් පැවත එන මිනිස්සු. දකුණු ඉන්දියාවේ තෙලිඟු දේශයෙන් මෙහාට ආවේ වෙංකතරෙංගජම්මාල් බිසවගේ ආරාධනාවට. ඇය අපේ මුත්තාගේ පරපුර ලංකාවට ගෙන්වාගෙන තියෙන්නේ රජුගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ පවුලේ අය සිටිය යුතුයි කියන අදහසින්.“


රජ පවුලේ මහේශාඛ්‍ය විඳමින් මහනුවර මලබාර් වීදියේ යෙහෙන් වැජඹුණු අතීතයක් සහිත නායක්කර් වංශික රජවරු සුදුහුම්පල ටැංකියවත්තේ රජකයන් වූ ආකාරය එක්තරා අතකට දෛවෝපගත කතාවකි. මේ ඒ කතාව සොයාගෙන සුදුහුම්පල ටැංකියවත්තට ගිය ගමනේ කතාවය.

සේනා සම්මත   රජතුමා ගෙන් ( ක‍්‍රි.ව 1473 – 1511) පැවත ගෙන එන සිංහල රාජ පෙළපතේ අවසාන රජු වූයේ, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ (ක‍්‍රි.ව 1707 – 1739) ය. සිංහල රාජවංශිකයන් අතින් නායක්කර් වරුන්ට සිංහල රාජධානියේ රාජ්‍යත්වය මාරු  වන්නේ ඔවුන් දකුණු ඉන්දියාවේ නායක්කර් රාජවංශය සමග  පවත්වාගෙන ගිය විවාහ  චාරිත්‍රයක ප්‍රතිඵලයක් වශයෙනි.

දකුණු ඉන්දියාවේ නායක්වරු ආරම්භ වන්නේ 14 සහ 15 වැනි සියවස් වලදී ය. ඒ විජය නගර රජ පෙළපතේ ආධිපත්‍යය තහවුරු කළ   ආණ්ඩුකාරවරු වශයෙනි. මේ පාලකයෝ තමිල්නාඩුවේ කොටසක් ද පාලනය කළහ. 16 වෙනි සියවසේ විජය නගර ආධිපත්‍යය බිඳ වැටුණු පසු මෙම ආණ්ඩුකාරවරු තම තමන් පාලනය කළ ප්‍රදේශවල ස්වාධීනත්වය ප්‍රකාශ කළහ. ඉන් පසු ඔවුන්ගේ රාජ්‍යයන් ගින්ගි, තන්ජෝර්, මදුරෙයි සහ චන්ද්‍රගිරි ප්‍රදේශවල පිහිටුවා ගත්හ. ඔවුහු තෙළිඟු සම්භවයක් ඇත්තෝ වූහ. තමිල්නාඩුවේ බටහිර පෙදෙස් වැඩි තෙළිඟු ජනගහනයක් සිටීමේ එක් හේතුවක්ද එයයි.

මහනුවර සිංහල රජවරු සෑම විටම පාහේ මේ මදුරෙයි නායක් හෝ තන්ජෝර් නායක් වැනි රජ පවුල්වලින් බිරියන් සරණ පාවා ගත්හ. මහනුවර රජ පෙළපතේ අන්තිම සිංහල රජු ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහය .  ඔහුගේ අග බිසව මදුරෙයි නායක් පරම්පාරාවේ කෙනෙකි. නරේන්ද්‍රසිංහ රජු මිය යන්නේ සිය දරුවෙක් හෝ වෙනත්  අනුප්‍රාප්තිකයෙක් රාජ්‍යය උරුමයට  නොතබමිනි. ඒ අවස්ථාවේ දී දකුණු ඉන්දියාවේ රජ පෙළපත් අතර බලපැවැත්වෙන “මරුමක්කදයන්” නීතිය අනුව යමින්    බිසවගේ සහෝදරයා සිහසුනට තෝරා ගැනුණි.

එසේ පත්වන ලංකාවේ මුල්ම නායකර් වංශික රජතුමා ශ‍්‍රී විජය රාජසිංහ (ක‍්‍රි.ව 1739-1747)ය.  කීර්ති ශ‍්‍රී රාජසිංහ ( ක‍්‍රි.ව 1747-1781), ශ‍්‍රී රාජාධි රාජසිංහ (ක‍්‍රි.ව 1781-1798), ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798-1815) යන සිංහල රාජවංශයේ අවසන් රජවරු හතර දෙනාම නායක්කර් වංශිකයෝ වූහ

රජක කුලයේ සැඟවූ රජපවුලේ ඥාති වරු

මෙරට රාජාවලියේ අවසන් රජු වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන්ගේ බිසෝවරුන් සතර දෙනෙකි. වෙන්කත රෙංගජම්මාල් සහ වෙන්කත ජම්මාල් පළමු බිසෝවරුන් දෙදෙනා ය. අනෙක් බිසෝවරුන් දෙදෙනා වනුයේ වෙන්කත අම්මාල් සහ මුත්තු කන්නම්මාය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වෙන්කත රෙංගජම්මාල් රන්දෝලිය නමින් ද, ජම්මාල් කුමරිය රිදී දෝලිය නමින් ද හඳුන්වා බිසෝ තනතුරට පත් කර ගත්තේ ය.

කලක් ගතවූ පසුව පිළිමතලව්ව අදිකාරම්, කැප්පෙටිපොල, ඇහැළේපොළ වැනි සිංහල නිලමේවරුන් නායක්කර් වංශිකයන්  රජකමින් පහ කිරීම සඳහා කැරැල්ලක් දියත් කළහ. රජතුමාට රජ මාලිගාව ආරක්ෂිත තැනක් නොවුණි. හේ සිය බිසෝවරුන්  සහ සමීපතම විශ්වාසවන්ත කීප දෙනෙක් සමග  රජ මාලිගවෙන් පලා යන්නට තීන්දු කළේය. ඒ වනවිට රජ පවුලට නෑකම් කී නායක්කර් පවුල් පහක් පමණ  නුවර ඉතිරි වී සිටියේය. ඒ පිරිස වෙන්කත රෙංගජම්මාල් බිසවගේ නෑදෑයන්ය.

රජතුමා සැඟව පලා යද්දී මේ පිරිස රැගෙන යා නොහැකිය. එමෙන්ම ඔවුන් ඉංග‍්‍රීසීන් යටතට පත් කිරීමටත්  නොහැක. ඒ අවස්ථාවේ දී  නාගස්තැන්න පදිංචි රජ මාලිගාවේ ඇඳුම් සෝදන සිංහල ජාතිකයන් කිහිප දෙනෙකුම  මාලිගා පරිශ්‍රයට පැමිණ සිටියේය. වෙන්කත රෙංගජම්මාල් බිසව මේ පිරිස ඇමතූහ. සිය ඥාති පිරිස දක්වා ඔවුන්ව මේ රජ පවුලේ රජකයන්ට භාර දුන්හ. ඇය ඉල්ලා සිටියේ එම පිරිස  ආරක්ෂා කර දෙන ලෙසය.  රාජවංශික පිරිස රජක කුලයේ රැකවරණය යටතට පත්විය. ඔවුහු මේ රජයන් සමග    නාගස්තැන්නේ ජිවත් වූහ.

මහනුවර තෙළිඟු වංශිකයන්ගේ සුබ සාධන සංගමයේ සභාපති සිවා සුබ්‍රමනියම්.

සිවා සුබ්‍රමනියම්ලා දක්වන පරම්පරා තොරතුරු අනුව මේ අනුන්ගේ රෙදි සෝදමින් ජීවත් වන්නේ ඒ රාජකීය මූලයේ පස්වන පරම්පරාවය.

“තෙලිඟු වර්ග දොළහක් තියෙනවා. ඉන් හැම වර්ගයක්ම නියෝජනය කරන උදවිය ලංකාවේ තැන තැන ජීවත් වෙනවා. නයි නැටවීම්, ශාස්ත්‍ර කීම,  රත‍්‍රං කර්මාන්තය,  මැටි වළං කර්මාන්තය,  ලී වැඩ,  රෙදි ඇපිල්ලීම වගේ කර්මාන්ත ඔවුන් ජීවත් වෙන්න කරනවා.   අපි පරම්පරාවෙන් රෙදි ඇපිල්ලීම කරනවා“.

“එදා රජ බිසව  අපේ පරම්පරාවේ ඇත්තන් නාගස්තැන්නෙ රජක කුලයට භාර දුන්නේ ඒ තැන්වල රාජවංශිකයන් ඉඳී කියන සැකය ඇති නොවන නිසා. අනික ඉංග්‍රීසි ජාතිකයන් පවා රජකයන්ව ආරක්ෂා කළ නිසා .  ටික දවසක් යන කොට ඉංග‍්‍රීසි හමුදා ඔත්තුකරුවන් පැමිණ අපේ අය සොයන්න පටන් අරන් තිබුණා.  ඔවුන්ගෙන් බේරීම සඳහා රාජකීයන් ලෙස තවදුරටත්  නොඉඳ ජිවිතය බෙරාගන්න අපේ මුත්තන් රෙදි සෝදන වෘත්තියේ නියැලුනා.“  සිවා සුබ්‍රමනියම් කියන්නේය.

අතීතතයේ නාගස්තැන්න රජක ඇත්තන් රජතුමාගේ කුණු රෙදි සෝද තිබෙන්නේ ”කොටියාවල’’ කනම් ස්ථානයේ ය.   හන්තාන පාරේ නාගස්තැන්න පන්සල ආසන්නයේ එම ස්ථානය පිහිටා තිබේ. හන්තාන කඳු මුදුනේ සිට ගලා එන තරමක් ලොකු දිය පහර මැදි කර, බේසමක් වැනි තටාගයක් සෑදෙයි.    එය ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයකි. ඒ අසලම තරමක් දිග පළලින් යුත් විශාල පැතලි ගල් පතුරක් ද දක්නට ලැබෙනවා. එදා රජමාලිගාවේ  රෙදි සේදුවේ එතැනය.

“ක‍්‍රමයෙන් සිංහල අය රෙදි සෝදන වෘත්තියෙන් ඉවත් වුණා. අපේ අය මෙම වෘත්තියේ දිගටම නියැලූනා. ඒ ආකාරයටයි නායක්කර් රජ පවුලේ අය රෙදි සෝදන වෘත්තියට පිවිසියේ. පසුව නාගස්තැන්න ඔය හරහා පහළට ඇවිත් දෙයියන්නේවෙළට අපේ කට්ටිය ආවා. සුදුහුම්පොලට මම එන්නේ 1972 අවුරුද්දෙ. එදා හිට මම මෙහෙ රස්සාව කරගෙන යනවා. අපි තවමත් ටැංකිවල රෙදි පුරවලා සම්ප්‍රදායික ක්‍රමයට රෙදි සෝදන්නේ. රැකියාව දියුණු කරගන්න කිසිම අවස්ථාවක් අපට නෑ. අපිට මනුස්සයො විදිහට ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය කිසිම දේශපාලකයෙක්   හදලා දීලා නෑ. ඔවුන්ට අවශ්‍ය ඡන්ද කාලෙදි අපේ ඡන්දය විතරයි.“  රාජකීය ලේ ඇති රජකයා අවසනයේ දී අපට කියන්නේ එවැනි කතාවකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුදුහුම්පොල ටැංකියවත්තේ රාජකීය පෙළපතේ රජකයෝ දිනකට දළ වශයෙන් ඇඳුම් කැබලි තුන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් සෝදා පිරිසිදු කරති. එම රෙදි වේලා ගැනීමෙන් අනතුරුව පොල් කටු ඉස්තිරික්කයට බර දමා කුඩා මේසය මත එළාගෙන මදිති. මහනුවර හා අවට නගරවල, හෝටල්, වෙළෙඳසල්, බංගලා, නිල නිවාසවල   රෙදි පමණක් නොව ගම්පොළ, නාවලපිටිය, පේරාදෙණිය, තෙල්දෙනිය රෝහල්වල අපිරිසිදු රෙදි ද පිරිසිදු වන්නේ ටැංකියවත්තේ රජකයන් අතිනි.    මේ සඳහා පවුල් තිහක් පමණ දායකත්වය ලබා දෙති. මෙයට වසර කිහිපයකට පෙර මහනුවර ආරෝග්‍යශාලාවේ  රෙදි   රෙදි සෝදන මැෂින් මගින් ආරෝග්‍යශාලා සේවකයන් විසින්ම සෝදා ගැනීම ඇරඹීය. දැන් ඔවුන්ගේ රජක වෘත්තියටත් සීමා වැටෙමින් ඇත. තමන් ජිවත්ව බිමෙන්   ඉවත් කිරීමේ අවදානමක් පිලිබඳ බියක් ඔවුන් තුළ තිබේ. අවසානයේ මේ තෙලිඟු වංශික අතීත රාජකීයන් අපට ඇඟිල්ලෙන් ඇණ කියාදෙන කතාවක් තිබේ. ජීවිතය වටා එල්ලාගත් බාහිර ආලෝලනයන් රඳා පවතින්නේ බලය ඇති තාක් පමණි. ඒ හැව ඉවත් වූ පසු ඉතිරිවන්නේ අතිශයින්ම කටුක වූත්, නීරස වූත්, බලාපොරොත්තු රහිත වූත් ජීවන අරගලය පමණි. ඒ අරගලය තුළ යන්තමින් ජීවත් විම සඳහා නායක්කර් රාජවංශිකයෝ අදත් සුදහුම්පල ටැංකිවත්තේ රෙදි සෝදති.

 

 

 

Exit mobile version