ජපුර වදකයිනි… ජීවිතය පමණක් ඉතිරි කරගෙන පසිඳු ගෙදර ඇවිත් සිටී

පසිඳු මධුෂාන් ඔබට මතක ඇතැයි සිතමු. ජයවර්ධනපුර සරසවියේ කලමණාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටිය දී කාලකණ්ණි නවක වදකයන්ගේ මරාන්තික වදකයට ලක්ව මරණයේ දොරටුව අසලට ගිය තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඔහුය.

විශ්වවිද්‍යාලයේ ඉහළ වසරවල සිසුන් විසින් විශාල ප්‍රමාණයේ ජේ.සී.බී, ටයරයක්  තල්ලු කර එවා බිහිසුණු අනතුරකට ලක් කළ සිසුවා ඔහුය. ඒ සිද්ධියෙන් බරපතල තුවාල ලද පසිඳු කොළඹ ජාතික රෝහලේ දාඩි සත්කාර ඒකකයට ඇතුළු කළේය. ඔහුගේ හිසට තදබල අයුරින් හානි සිදු වී තිබිණි. දැඩි සත්කාර ඒකකයේ සති ගණනක් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව ඔහු රෝහලේ දින අනූහයක් නේවාසිකව ප්‍රතිකාර ලැබුවේය. අනතුරුව ඊයේ (11) රෝහලින් කළ හැකි ප්‍රතිකාර නිමා කළේය.

ඊයේ සවස පසිඳු ගෙදර ආවේය. ඒ පූර්ණ සුවය ලබා නොවේ. ඔහු පෙර සිටි පසිඳු නැමැති ජවසම්පන්න තරුණයා නොව යන්තම් ජීවිතය පමණක් බේරා ගත් අසරණයෙකු ලෙසය. තවම ඔහුට තනිවම ඇවිදීම අපහසුය. ගොත නොගසා කතා කළ නොහැකිය. පෙර තිබූ තීක්ෂණ මතකය නැත.


අපි පසිඳුගේ තත්වය දැනගනු රිසිව ඔහුවගේ නිවසට ඇමතීමු.

“ ඊයෙ මල්ලිව ගෙදර එක්ක ආවා. එයා පූර්ණ වශයෙන් නීරොගී නෑ… මතකය අඩුයි. කතා කරන්න අපහසුයි. හරියට ඇවිදින්න බෑ. එත් දෙයියනේ මල්ලි ජිවත් වෙනවා… ඒ හොඳටම ඇති.“ පසිඳුගේ අක්කා ෂර්මිලා අපට කීවාය. ඒ හඬ හඬුමක් තරම් දුක්බර වූයේය.

“මල්ලිට ප්‍රතිකාර කළ ජාතික රෝහළේ වෛද්‍යවරුන්ට , හෙද හෙදියන්ට කාර්ය මණ්ඩලයට අප ණය ගැතියි.  ඔවුන් මල්ලිගේ ජීවිතය බේරා දුන්නා.  ඔවුන් අපට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නා.“

“ඒත් මල්ලිට අකුරු ලියන්න මතක නැහැ. . සිද්ධ වුණේ මොකක්ද කියන්න එයාට මතක නැහැ. එයාගේ මතකය අඩුයි. පොඩි දරුවෙක් බලා ගන්නවා වගේ තමයි මල්ලිව බලාගන්නේ.“

“ඊයේ (11) මල්ලි ගෙදර ආව සතුටට එයාගේ ඉස්කෝලෙ යාළුවෝ ආවා.  කේක් ගෙනාවා. මගෙ ඇස්වලට කඳුළු ආව. ඔවුන්ගෙන් සමහර කෙනෙක්ව මල්ලි හඳුනගත්තෙ නෑ . අපි කියන්නේ අපේ මල්ලිට වුණා වගේ දෙයක් අයේ කිසිම කෙනෙකුට නොවිය යුතුයි.

ෂර්මිලා කියන්නීය

පසිදුගේ පියා ඔගස්ටින් සිල්වාය. ඔහු සිය දරුවන් පෝෂණය කළේ ගොවිතැන් කටයුතු කිරීමෙනි. පිරුණු දැනුම් සම්පතක් හිමිව ප්‍රදේශය බැබලවූ දීප්තිමත් අනාගතයක් හිමිව සිටි මේ තරුණයා අද අර්ධ දුබලතාවයෙන් පෙළෙන අසරණයෙකි. එහෙත් පසිඳුලාගේ පවුලේ උදවිය මෙන්ම වෛද්‍යවරු ද පසිඳු පිළිබඳ බලාපොරොත්තු අත්හැරගෙන නැත.
“ මල්ලි නැවත ඉපදිලා වගේ.. හරියටම පොඩි එකෙක් තමයි මම ඔහුගෙන් දකින්නෙ. භෞත චිකිත්සාව ඔහු වෙනුවෙන් කළ යුතුයි. පුරා දින 03 ක් තිස්සේ ජාතික රෝහලෙන් මට ඒ් සම්බන්දව කියලා දුන්නා. පුහුණුවක් ලබා දුන්නා මට.  මම ඒ කියපු විදිහටම ඔහු වෙනුවෙන් ඒ දේවල් කරනවා…“ පසිඳුගේ සොයුරා ලක්ෂාන් කියන්නේය.

ජීවිතය පමණක් සහිතව පසඳු ගෙදර ඇවිත් ඇත. ජයවර්ධනපුර සරසවියේ කාලකණ්ණි මනෝ විකෘතික වදකයන් දැන් සතුටින්දැයි අප දන්නේ නැත.

ඇවිත් බලපල්ලා… මිය යමින් ජීවත්වෙන තරුණයෙක් නුඹලාගේ අශිෂ්ට අමානුෂිකත්වයේ තරම ලෝකයට කියමින් හිඳී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අප කියන්නේ මනුෂ්‍යත්වය රහිත මලමිනී වැනි නුඹලා යලි මැරී ඉපදිය යුතු බවය.

 

Exit mobile version