කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

විගණනයේ දී පියවරින් පියවර හෙළි වූ ජාතික අපරාධයක මූසල කතාව...

ලලිත් චාමින්ද –

උක් වගාව හා සීනි ගැන සඳහන් කරන විට කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නිතැතින්ම අපේ මතකයට නැගෙන කම්හලකි. මක්නිසාද යත් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව උක් වගාව සඳහා  ඉතා හිතකර දේශගුණික කලාපයක පිහිටි ඇති නිසාය. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ක්‍රියාත්මකව පැවති අවධියේ දී  එහි  හෙක්ටයාර් 4800ක්  උක් වගාකොට තිබුණි. වර්තමානයේ මෙම භූමියේ බෙහෙතකටවත්  උක් ගසක් සොයා ගැනීමට නැත. දැනට වසර 25ක සිට කන්තලේ සීනි කර්මාන්තශාලාවෙන් සීනි ඇටයක්වත් නිෂ්පාදන වන්නේ නැත.

එපමණක් නොව, කන්තලේ සීනි  කර්මාන්ත ශාලාවේ පැවති වත්කම්වල   අයිතිය  රජයෙන් ඉවත්වි  තිබේ. අපි ඒ පිළිබඳව මීට පෙර සංක්ෂිප්තව විස්තර කළෙමු.  මෙම සීනි කර්මාන්ත ශාලාව යහපාලන රජය  සමයේ ව්‍යුහගත කිරීම සඳහා    පුද්ගලික සමාගමක් සමග ගැසු ගිවිසුමක් හේතුවෙනි. යහපාලන රජය සමයේ ගැසු මේ ජඩ ගිවිසුම් නිසා රජයට පුර්ණ හිමිකාරිත්වයක් පැවති  කන්තලේ සීනි කම්හල් වර්ථමානයේ රජයට අහිමිවි තිබේ. එමෙන්ම පුද්ගලික  ආයෝජන සමාගමක් වෙත  සිංගප්පුරු ඩෝලර් 894,516,83ක් හා ඇමරිකානු  ඩොලර්  211,913,93ක වන්දිමුදලක් ගෙවිමට ද රජයට සිදුවී තිබේ.

මේ තොරතුරු අනාවරණය වන්නේ ජාතික විගණන කාර්යාලය මගින් කරණු ලැබු විගණනයකදීය. සිමාසහිත කන්තලේ සීනි කාර්මාන්තායතනය ප්‍රතිව්‍යුහගත කිරීම හා  එහි තිබු යකඩ අලෙවිකිරීම පරික්ෂා කිරීම සඳහා  මෙම විශේෂ විගණනය සිදුකොට ඇත. මෙතැන් සිට  මෙම ලිපිය මගින් දිග හැරනුයේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ  ඉතිහාස කථාව හා  යහපාලන රජය සමයේ ගැසු   ගිවිසුම නිසා  විගණනයේ දි අනාවරණය කරගත් තොරතුරුය.


අතීතය

කන්තලේ සිනි කර්මාන්ත ශාලාව චෙකොස්ලෝවැකියානු  රජයෙන් අපිට ලැබුණු දායාදයකි. 1957 වරෂයේ දී  මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ අතර 1960 වර්ෂයේ දී එය ජනතා අයිතියට පත්කරණු ලැබිය.කන්තලේ සීනි කම්හලට හෙක්ටයාර් 8596 ක භුමි  ප්‍රමාණයක් අයත්ව තිබුණි.සමස්ත භුමි ප්‍රමාණයෙන්  හෙක්ටයාර් 164ක  සීනි කම්හල් හා නිල නිවාස සංකීරණය පිහිටා තිබුණේය. මෙම කම්හලේ දිනකට උක් මෙට්‍රික් ටොන් 1200ක් ඇඹරීමේ ධාරිතාවයක් පැවතුණි. ඇඹුරුම් වාර දින 160ක් තුළ  උක්ගස් මෙට්‍රික්ටොන් 192000ක්  ඇඹරීමෙන් සීනි මෙට්‍රික් ටොන් 16320 නිෂ්පාදනය කිරීමට හැකියාව පැවතුණි. එමෙන්ම දින 300ක් තුළදී ස්ප්‍රිතු ලිටර් මිලියන 3.6ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයක් පැවතුණි.

පුද්ගලික ආයෝජකයන්ගේ බැල්ම

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට 1993 වර්ෂයේ දී පුද්ගලික  ආයෝජකයකුගේ බැල්ම වැටුණේය. ඒ සමග එවකට පැවති රජය විසින්  මෙම කර්මාන්ත ශාලාවේ අයිතිය එම ආයෝජකයා වූ ලංකා එජන්සිස් සමාගමට  පැවරීමට කටයුතු කළේය. එහෙත් මෙම ආයෝජකයා විසින් සේවකයින්ට නියමිත පරිදි පාරිතෝෂික  දීමනා හා අර්ථසාධක මුදල් නොගෙවීම හේතුවෙන් එම වර්ෂයේදීම සීනි කම්හල  නැවතත් රජයය පවරාගනු ලැබුවේය. 

කෙසේවුවද 1994  වර්ෂයේ දී කර්මාන්තශාලාවේ යන්ත්‍රසුත්‍ර ඇතුළු උපකරණ ආරක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලවේ සේවකයින් 230 දෙනෙකු පමණක්  රඳවාගෙන 94 වර්ෂයේ මැදභාගය වනවිට සීනි කර්මාන්තශාලාව සම්පුරණයෙන්ම වසා දැමිමට කටයුතු කෙරිණි. කම්හලේ 1,133 ක් වු සියලු  සේවකයින් සදහා සේවක ආර්ථසාධක අරමුදල් හා පාරිතෝෂික  ලෙස රුපියල් 33,099,502 මුදලක් ගෙවා  ස්වෙච්ඡාවෙන් ඉවත්කිරිමට කටයුතු කරනු ලැබීය.

දිරාපත් වෙමින් ඇති කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ වාහන…

කෙසේ වුවද මෙකී සමාගම විසින් රජයට එරෙහිව  පවරා තිබු නඩුව 2003 වර්ෂයේ රාජයට වාසිදායක ලෙස අවසන් විය.ඉන් පසු මෙම කර්මාන්ත ශාලාව ආයෝජකයෙකුට බදු දිම සඳහා  එවකට පැවති රජයන් කටයුතු කළ ද සුදුසු ආයෝජකයෙකු හමුනොවීම නිසා එම කටයුතු ලත්තැනම ලොප්වි ගියේය.

කෙසේ වුවද 2015 වර්ෂයේ දී මෙම කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා  එවකට පැවති යහපාලන රජය මගින් කටුයතු කරනු ලැබිය. 

සීනි කම්හල් ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉඩම් අමාත්‍යංශය මගින්  කැබිනට්  මණ්ඩලය වෙත ඉදිරිපත් කලේය.  Sri Prabhulingashwar Sugar Group Of Companies Industries සමාගම වෙත  සීනි කම්හල බදුපදනම මත ලබාදෙනු ලැබිය.  මෙම ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කරණු ලබන දේශීය සමාගම ලෙස (MG Sugar Lanka (Pvt) Ltd   ආයතනය කටයුතු කරනු ලැබිය. ශ්‍රි ලංකා රජයට සියයට 51 හවුල්කාරිත්වයක්ද  සමාගමට සියයට 49ක් හවුල් කාරිත්වයක් ද ලැබෙන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට  සැලසුම් කෙරිනි. ආයෝජන සමාගම විසින් ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරමින් ගිවිසුමේ සඳහන්  කොන්දේසිවලට  යටත්ව 30 වසරක දිගුකාලික බදු පදනමක් යටතේ සීනි කර්මාන්තය පවත්වාගෙන යාමට එකඟතාවය පළකොට ඇති බව  ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍යංශ සංදේශය  මගින්  දක්වා තිබුණි. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවිය.

කෙසේවවුද පසුකාලිකව Prabhulingashwar Sugar Industries Group of Companies  සමාගම ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යුහය වෙනස් කරමින් නව ආයෝජන සමාගමක් ලෙස SLT Development (PTE) Ltd නමින් ව්‍යාපාරය සිංගප්පූරුවේ ලියාපදිංචිකරනු ලැබිය. එහි ප්‍රධාන හවුල්කරුවන් ලෙස  තවත් සමාගම් කිහිපයක් කටයුතු කරනු ලැබිය. 

නීතිපති නිශ්කාශනය ලබා ගත්පසුත් ගිවිසුම වෙනස් කළ හැටි

මෙම සමාගම  ප්‍රතිව්‍යුහගත කිරිමේ දී ඊට අදාලව ටෙන්ඩර් පටිපාටියක් මගින්  විවෘත මිලකැඳවිමක් සිදුකර නොමැති අතර  ඉඩම් අමාත්‍යංශය වෙත ලද ආයෝජන යෝජනාවක් හා  ආයොජන මණ්ඩලය වෙත ලද  ආයෝජන යෝජනාවක් පදනම් කරගනිමින්  මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකොට තිබු බව විගණනයේ දි අනාවරණය විය.

තවද වර්ෂ 2015  ජුලි 27 වැනිදින MG Sugars Lanka (Pvt) හා එළඹි එම ගිවිසුමට  විවිධ අවස්ථාවල විවිධ පර්ශවයන්ගේ බලපෑම් එල්ලවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉහත සඳහන් සමාගම සමග ඇතිකරගත් ගිවිසුම වරින්වර වෙනස් කිරීම, කර්මාන්තශාලාව ප්‍රතිව්‍යුහගත කිරිමේ දි ඇතිකරගන්නා ලද කොටස්කාර ගිවිසුමට  නීතිපති නිෂ්කාශනය ලබාගත් පසුව ද  මුදල් අමාත්‍යංශයේ නීති කටයුතු දේපාර්තමේන්තුවේ  එවකට සිටි නීති උපදේශක විසින් රජයට අවාසිදායක ලෙස ගිවිසුමට කොටස් එකතු කිරීම සිදුකර  ඇති බවද විගණනයේ දී නිරික්ෂණය වූයේය. 

සිනි කර්මාන්ත ශාලාව

අන්තර්ජාතික අධිකරණයේ දී පැරදුණු නඩුව… 

මේ අතරතුර සීනි කර්මාන්ත ශාලාවේ  යකඩ විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබිය. යකඩ විකිණීම සම්බන්ධයෙන් අන්තර්ජාතික බේරුම්කරණ අධිකරණයේ නඩුවක් ගොනුකිරීමට අදාල අයෝජන සමාගම මගින් කටයුතු කළේය. ආයෝජන සමාගම විසින් කොටස්කාර ගිවිසුමට ඇතුළත්කොට ඇති කොන්දේසි ශ්‍රී ලංකා රජය විසින් උල්ලංඝනය කොට ඇතැයි චෝදකා කරමින්  සිංගප්පුරුවේ අන්තර්ජාතික බෙරුම්කරණ විනිශ්චය සභාවේ නඩුවක් 2017 සැප්තැම්බර් මස 17 වැනි දින ආයෝජන සමාගම විසින් ගොනුකරනු ලැබිය. සිංගප්පුරු බෙරුම්කරණ අධිකරණයේ ගොනුකොට තිබු නඩුවේ තින්දුව 2019 වර්ෂයේ අගොස්තු 06 වැනිදින ලබා දි තිබුනි.

එම නඩු තින්දුව අනුව  ව්‍යාපෘතියේ ප්‍රමාදයට ශ්‍රි ලංකා රජය හේතුවු බව තිරණයය කරනු ලැබීය. එමෙන්ම ව්‍යාපෘතියේ පිරිවැය සියයට 15කින් වැඩිකර තිබුණි. බේරුම්කරණ නඩුවේ පිරිවැයෙන් සියයට 50ක් එනම් සිංගප්පුරු ඩොලර් 626,877 අතුරු නියෝගය ඇසීමේ පිරිවැය ලෙස සිංගප්පුරු ඩොලර් 30,070 තින්දුව ලැබු දින සිට දින 30ක් ඇතුළත අදාල  සමගමට ගෙවිය යුතු බවට නියෝග කෙරිණි. 

එමෙන්ම පැමිණිලිකරුගේ නීති ගාස්තුවෙන් සියයට 95ක මුදලක් රජය විසින් නඩුතින්දුව ලබාදුන් දිනයේ  සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බවට නඩු තින්දුවේ සදහන්ව ඇත. පැමිණිලිකරුගේ අමතර පිරිවැයවන  සංචාරක හා නවාතැන් වියදම් වන  ඇමරිකානු ඩොලර් 211,913 93 ශ්‍රි ලංකා රජය විසින් ගෙවිය යුතු විය. ඉහත නඩු මුදල් රජය විසින් නොගෙවා සිටියහොත් අදාල මුදල් ගෙවන තුරු  සියයට 05 වාර්ෂික පොලියක් තීරණය වු මුදලට එකතුවනු ඇති බවද  තීන්දු විය.

කන්තලේ සීනි සමාගමේ සියලු වත්කම් ආයෝජකයාට

කන්තලේ සීනි සමාගමට අයත් සියලුම යටිතල පහසුකම් යන්ත්‍රෝපකරණ  ගොඩනැගිලි හා අනිකුත් උපාංග ගිවිසුමේ ප්‍රකාරව ආයෝජකයාගේ අභිමතය පරිදි භාවිතා කළ හැකි බවට  අන්තර්ජාතික බේරුම්කරණ විනිශ්චය සභාව තීරණය කළේය. වර්ෂ 2017 දී තක්සේරු දේපාර්තමේන්තුව මගින් කරනු ලැබු තක්සේරුවේදි  පරිශ්‍රයේ පවතින වාහනවල මුළු වටිනාකම  රුපියල් 13,030,000කට  තක්සේරුකොට තිබුණි. කම්හලේ  ට්‍රැක්ටර් 120ක්  අනිකුත් වාහන 48ක් යතුරුපැදි 06 බරවාහන 41 තිබුණේය.

ජාතික අපරාධය කළ නිලධාරියා කවුද?

රජයට පුර්ණ හිමිකාරිත්වයක් පැවති සිනි කර්මාන්ත ශාලාව  රජයට අහිමි වුයේ ඇයි? 

රජයට අවාසිසහගත ලෙස හා අයෝජන සමාගමට වාසි සහගත ලෙස කොටස්කාර ගිවිසුම සකස් කිරීම නිසා මහජන මුදල් සිංගප්පුරු ඩෝලර් 894,516,83ක් හා ඇමරිකානු  ඩොලර්  211.913.93ක වන්දිමුදලක් අදාල සමාගමට  ගෙවිමට ද රජයට සිදුවූයේ ඇයි?. කොටස්කාර ගිවිසුමේ වගන්ති වෙනස් කරමින් මුදල් අමාත්‍යංශයේ එවකට සිටි නිති උපදේශක විසින් කටයුතු කළ ආකාරය විගණනයේ දි හරි අපුරුවට අනාවරණය කොට තිබේ.

2016 වර්ෂයේ  අගොස්තු 01 වැනි දින නීතිපති දේපාර්තමේන්තුව මගින් දෙන ලද නිෂ්කාශන බැහැර කරමින්  මුදල් අමාත්‍යංශයේ එවකට සිටි නීති උපදේශක විසින් ගිවිසුම පිළියෙල කොට තිබුණි. මෙහි අවසන් ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ  නීතිපති නිරික්ෂණ  භාණ්ඩාගාර ලේකම්ගේ අවධානයට ලක්කොට නොමැති බව නිරික්ෂණය වි ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. ආයෝජකයා විසින් කර්මාන්ත ශාලාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ  දක්වා ඇති කොන්දේසියට පටහැනිව   ආයෝජකයාට දැනට පවත්නා යන්ත්‍ර සූත්‍ර භාවිතයට  ගැනීමට හැකියාවක් ඇති බවට  අත්සනට එලඹි ගිවිසුමෙහි  නව ගිවිසුම් වගන්තියක් මුදල් අමාත්‍යංශයේ හිටපු නිති උපදේශක  ඇතුළත්කොට  ඇත. එම ගිවිසුම් වගන්තිය නීතිපති නිෂ්කාශනයට යවන ලද  අවසන් කෙටුම්පත්  කොටස්කාර ගිවිසුමේ ඇතුළත් නොවන බව ද විගණනයේ දි අනාවරණය වි ඇත.

මේ අයුරින් ගිවිසුමේ වගන්ති වෙනස් කිරීම නිසා සිංගප්පුරු  බේරුම්කරන මධ්‍යස්ථානයේ ආයෝජකයින් විසින් ශ්‍රි ලංකා රජයට  එරෙහිව පවරන ලද නඩුවෙන්  රජයට අවාසිදාවක ලෙස බලපෑ බව විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම මෙම ගිවිසුමෙහි ආයෝජකයා සම්බන්ධ වගන්ති කෙටුම්පත් කොට ඇත්තේ  මුදල් අමාත්‍යංශ විසින් බවට තහවුරු වී ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්මත 2018 මාර්තු මස  මෙකී නඩුවේ රජයේ ප්‍රධාන සාක්ෂිකරුවා ලෙස  ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් අයි එච් කේ මහානාම  නම්කරනු ලැබිය.  ඔහු විසින් එම නඩුව වෙනුවෙන් සාක්ෂි ලේඛන වලටද අත්සන් තබා  එම සාක්ෂි ලේඛණ බේරුම්කරණ නඩුවට ගොනු කිරීමද සිදුකොට ඇත. එහෙත් ඉහත නම් සඳහන් ආයෝජකයාගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත  ඔහු අත්අඩංගුවට ගනු ලැබිය. බේරුම්කරණ නඩුව විභාගවන අවස්ථාවේ ඔහු රැගෙන යාම නීතිපති දෙපාර්තමේන්තු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය.

කෙසේවුවද  නීතිපති දෙපාර්තමේන්තුව හා  මුදල් අමාත්‍යංශය බේරුම්කරණ අධිකරණය හමුවේ කරුණු දැක්වීම නිසා ආයෝජකයා විසින් ඔහුට සිදු වු අලාභය ලෙස  තක්සේරුකොට ඉල්ලා සිටි  ඇමරිකානු ඩොලර් මිලියන 100ක වන්දිය  ලබාදීම බේරුම්කරණ මණ්ඩලය විසින් ප්‍රතික්ෂේපකරණු ලැබිය. කොටස්කාර ගිවිසුමට අත්සන් කිරිමේ ක්‍රියාවලිය සමබන්ධීකරණය කරනු  ලබුවේ ආයෝජන මණ්ඩල විසින්ය.  ආයෝජන මණ්ඩලය විසින් ඉදිරිපත් කරණු ලැබු කෙටුම්පත්  කොටස්කාර ගිවිසුම හා මුදල් අමාත්‍යංශය විසින් ගිවිසුමට එළඹෙන ලද කොටස්කාර ගිවිසුමෙහි  වෙනස්කම් තිබුණි. එහෙත්  එම වෙනස්කම් නිසා  ශ්‍රි ලංකා රජයටවන බලපෑම්  ඇගයීමට ලක්කර නොතිබුණි. එමෙන්ම අත්සන් කරනු ලැබු කොටස්කාර ගිවිසුමෙහි ඇතුළත් වගන්ති   ආයෝජන මණ්ඩලය හා ආයෝජකයා විසින්  අත්සන් කරනු ලැබු ආයෝජන ගිවිසුමට හා  අමාත්‍යමණ්ඩල තීරණවලට පටහැනි බවත්, එසේ වන ලෙස ගිවිසුමට වගන්ති ඇතුළත් කර තිබු බවත් විගණන වාර්තාවේ දැක්වේ.

ඒ පිළිබද ආයෝජන මණ්ඩලය නැවත මැදිහත් වු බවට නිරික්ෂණය නොවිය.  එහෙත් ආයෝජකයා  විසින් කරනු ලැබු ඉල්ලීම්වලට අනුව  ආයෝජකයාට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැපයීම  ආයෝජන මණ්ඩලය විසින්  අවශ්‍ය කටයුතු කරනු ලැබිය.

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ගිවිසුමේ සඳහන් වගන්ති පිළිබඳ ප්‍රමාණවත් අවධානයකින් තොරව  ගිවිසුමට අත්සන්  කොට ඇති බවද විගණනයේ දී අනාවරණය වූයේය. මුදල් අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක විසින්  අත්සන් කරනු ලැබු කොටස්කාර ගිවිසුම  ශ්‍රි ලංකා රජයට අවාසිසහගතවන ලෙස හා  ආයෝජකයාට හිතකර ලෙස පිළියෙළකොට ඇති බව නිරික්ෂණය වී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. කෙසේවුවද අන්තර්ජාතික බේරුම්කරණ අධිකරණයක් මගින් ලබාදෙන බේරුම්කරණ තීරණ  අධිකරණ තීරණ මෙන් අභියාචනයකට ලක්කළ නොහැකිය.  බේරුම්කරණයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට  ඉඩක් නැත. ඒ නිසා මේ වනවිටත් අත්තිකාරමක් වශයෙන්  සිංගප්පුරු ඩොලර් 64,704  අදාල ආයෝජන සමාගම වෙත රජය මගින්  ගෙවා ඇත.හොර තක්කඩි නිලධාරින්  නිසා මේ බර පැටවෙන්නේ ජනතාවගේ කරමතටය.

ශත පහක් ආයෝජනය කර නැහැ…

එමෙන්ම ව්‍යාපෘතියේ පිරිවැය සියයට 15කින්  ඉහළයාම සිදු වී තිබුණද  පසුගිය වර්ෂයේ ජනවාරිමස දක්වා  අදාල ව්‍යාපෘතිය ආරම්භකොට  දේශිය සීනි නිෂ්පාදනය  සිදුකිරිමට  අදාල ආයෝජන සමාගම කටයුතු කර නොතිබුණි. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව  වසර 25කට ආසන්න කාලයක සිට කිසිදු නිෂ්පාදන කාර්යයකට දායකත්වය නොමැතිව වසා දමා තිබුණි. ආයෝජකයින් විසින් ඇමරිකාඩු ඩොලර්මිලියන 100ක් ආයෝජනය කරමින්  වර්ෂ 05ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ යුතුව තිබුණද එවැනි කිසිදු ආයෝජනයක් සිදුවී නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙහිදි ආයොජනය සඳහා  යෝජනා කැඳවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් විනිවිදභාවයක් නොමැති බව විගණනයට නිරික්ෂණය වී ඇති බවද වාර්තාවේ සඳහන් වේ. 

ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ ඉඩම් අමාත්‍යාංශය විසිනි. එහෙත් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන්  අදාල යැයි සැලකෙන කිසිදු ලියවිල්ලක්   තමන් සතු නොවන බවට  ඉඩම් අමාත්‍යංශය මගින් විගණනයට දන්වා තිබිණි.  සීනි කාර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීමේ දී  මේ සඳහා වගකිම් පැවරි ඇති රාජ්‍ය ආයතන වන මුදල් අමාත්‍යංශය,ඉඩම  ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය  ආයෝජන මණ්ඩලය  එක් එක් අවස්ථාවන්හිදී එකිනෙකට පරස්පර   අමාත්‍යංශ සංදේශ ඉදිරිපත්කර තිබු බැවින්  එම ආයතන අතර මනා සම්බන්ධීකරණයක්  නොතිබුණු බව ද විගණනයේ දී අනාවරණය වූයේය. 

එකාබද්ධ අමාත්‍ය මණ්ඩලය  සංදේශවලින් පෙන්වා ඇති නිරික්ෂණ අනුව   මෙම ප්‍රතිව්‍යුහගතකිරීමේ සමස්ත ක්‍රියාවලියෙහි  අවිධිමත් භාවය නිරික්ෂණය වී ඇති බව ද විගණනයේ දී අනාවරණය වූයේය.

වැඩ නැතිව පඩි දීලා

දැනට වසර 25ක සිට කිසිදු  නිෂ්පාදන කටයුත්තක් සිදුනොවන කන්තලේ සීනි කර්මාන්තශාලාවේ සේවය නිරතව  සිටි සේවකයින් සඳහා 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාලය තුළ වැටුප් හා දිමනා ලෙස රුපියල් මිලියන 40392ක මුදලක් ගෙවා ඇති බව ද විගණනය හෙළි කරයි. 2015 වර්ෂය වනවිට මෙම කර්මාන්ත ශාලාව සඳහා සභාපතිවරයෙක් හා  අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කර නොතිබුණි. ආයතනයේ කටයුතු අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ  සාමාන්‍යධිකාරවරයකු යටතේ සිදුකෙරිණි.2020 වර්ෂයේ ජනවාරි මස වනවිට කර්මාන්ත ශාලාව සදහා  සාමාන්‍යාධිකාරවරයෙකු නොමැත.  එහි වත්කම්  ආරක්ෂා කරගැනීමට හා පරිපාලන කටයුතු සඳහා සේවකයින් 35 දෙනෙකු පමණක් සේවයේ යෙදි  සිටී.

විගණනයෙන් සිදු කරනු ලැබූ භෞතික පරික්ෂාවේ දී කාර්මාන්තශාලාවට හා ස්කාගාරයට අයත්  ගොඩනැගිලි හා යන්ත්‍ර උපකරණ  වසර 25කට ආසන්න කාලයක් තිස්සේ  දිරාපත්වෙමින් පවතින  බවද නිරික්ෂණය වි ඇත. ස්කාගාරයේ මිල අධික වත්කම්  සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ද විගණනයේ දි අනාවරණය විය. කම්හලට අයත් ඉඩම් අනවසර වගාකරුවන්ගේ ග්‍රහණයට ලක්වී ඇත. සිනි කර්මාන්ත ශාලවේ නිල නිවාසවල අනවසර පදිංචිකරුවන් 96 දෙනකු පදිංචිව සිටින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිදුවී ඇත්තේ සමූහ ඝාතනයකටත් වඩා බරපතල අපරාධයකි. මේ අපරාධකරුවන් සොයා ඔවුන් අධිකරණය ඉදිරියට පැමිණවීම ජාතියට ආදරය කරන්නේ නම් එවැනි පාලකයන්ගේ වගකීමකි. 

 

Exit mobile version