“එක රටක එක නීතියක්“ ගැන කියන රටේ නීතියක් ක්‍රියාත්මක කරගන්න දිවි පරදුවට තැබූ මිනිස්සු!

“විලි ලජ්ජයි මහත්වරුනි... “ වලව ගොවියෝ මගට බැස කියති...

සූරියවැව නුවන් ජයසේකර –

හම්බන්තොට වන අලි ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් වලව ගොවියෝ මේ වසර ආරම්භයේදි දැවැන්ත විරෝධතා, අඛණ්ඩ උපවාස හා මාරාන්තික උපවාසය පවා ආරම්භ දියත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ මැදිහත්වීමෙන් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරිම සිදු කෙරුණි.

ඒ අනුව එදා දින 108ක් තිස්සේ පැවැති ගොවි විරෝධතාවය අවසන් කෙරුණු නමුත් යළි පසුගිය 21 වන දින සිට වලව ගොවියෝ යළි පාරට බැස සිටිති. ඒ එදා බළධාරීන් දුන් පොරොන්දුව ඉටු නොකිරීමට විරෝධට පළකරමිනි.

බලයට පත්වන සෑම රජයක්ම හම්බන්තොට පවතින මෙම වන අලි ගැටලුවට ස්ථිර විසදුම් දෙන බවට පොරොන්දු ලබා දුන්නද ඒවා මේ වනවිටත් හුදෙක්ම පොරොන්දුවක් පමණක් බවට පත්ව තිබීම හේතුවෙන් ජනතාව කබලෙන් ලිපටම ඇද වැටෙමින් ඇති බව සත්‍යග්‍රයට එක්ව සිටින ගොවි ජනතාව අපට කීහ. 


ගොවි ජනතාව වසර ගනනාවක් තිස්සේ බලධාරීන් පසු පස මෙම අලි මිනිස් ගැටලුවට විසඳුම් ඉල්ලා කොතෙකුත් හඬගෑවද ඒ සියල්ල බීරි අලින්ට විණා වයන්නාක් මෙන් වි තිබේ. මේ හේතුව නිසාම වන අලි ගැටලුවෙන් පීඩාවටපත් හම්බන්තොට සමස්ථ ජනතාව වෙනුවෙන් වලව ඒකාබද්ධ ගොවි සංවිධාන නියෝජිතයින් තවත් ප්‍රදේශයේ ගොවි සංවිධාන 86ක නියෝජිතයින් සමග එක්ව යළි පසුගිය 21 දින සිට හම්බන්තොට කටුවැව හන්දියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

ඒ පිළිබදව වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් අයි.කේ.සමන් සුදර්ශන මෙලෙස පැවසීය.

වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් අයි.කේ.සමන් සුදර්ශන

අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරලා දැන් මාස 08ක් වෙනවා. නමුත් තවම මේ වෙනකම් ඊට අදාල කිසිදු නීති රෙගුලාසියක් ගැසට් කරලා නෑ. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිත මෙහෙයුම් කමිටුව කියලා එකක් හැදුවා. නමුත් ඒ කිමිටුව මේ වෙනකම් කැඳවලා නෑ. වීරවිල ගුවන් හමුදා නිලධාරීන් ආවා විදුලි වැට හදන්න කියලා. නමුත් වනජීවි එකෙන් ඒ සඳහා අවශ්‍ය උපකරණ දුන්නේ නෑ. සහාය දුන්නේ නෑ. 

අපි කියන්නෙ මේ වැඩේ කරන්න. ගොවි විරෝධතාවය නවත්තන්න බළධාරීන් බොරුවට ඇවිත් අපිට සුදු අලියෙක් පෙන්නලා ගිය එක විතරයි වෙලා තියෙන්නේ. වන අලි ගැටලුව ගැසට් එකක් ආවා කියලා චුට්ටක්වත් අඩු වුනේ නෑ. දිනෙන් දින අලි ගැටලුව වැඩි වුණ එක විතරයි වෙලා තියෙන්නේ. අද වෙනකොට ගොවි ජනතාවට පවුල් පිටින් මේ ගෙවල් දොරවල් අතහැරලා යන්න වෙලා තියෙන්නේ. කිසිදු බලධාරියෙක් මේ වෙනකම් මේ ගැටලුව දෙස බැළුවේ නෑ. 

අලි කළමණාකරණ රක්ෂිතය කියලා ගැසට් කළ ප්‍රදේශයේ තවමත් ඉන්නේ අනවසර වගා කරුවෝ. අපි උපවාස කරන මේ මොහොත වන විටත් කැලේ අනවසරයෙන් සුද්ද කරමින් සිටිනවා. අනවසර වගා කරුවන් ඉවත් කරන්න කියලා අනවසර වගා කරුවන්ට එරෙහිව නඩු දමන්න කටයුතු කල කොට්ඨාස කළමණාකාරවරයත් ගිරාදුරුකෝට්ටෙට මාරු කළා. ඒකෙන්ම තේරෙන්වා මේ බලධාරීන්ට මේ ගැටලුව විසඳන්න ඕනි කමක් නෑ කියලා. 

රක්ෂිතය ලෙස ගැසට් කළ ප්‍රදේශයේ තවමත් ගල් කොරි ක්‍රියාත්මක වෙනවා.රක්ෂිතයක් ලෙස ගැටස් කලා කියලා බළධාරීන් කලේ ජනතාව නොමග යවපු එක විතයි.කැලේ ඇතුලේ ඉන්න ජාවාරම්කාරයෝ තවමත් කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙනවා.ගමේ ඉන්න අසරණ ගොවියා ඒ නිසා වන අලි ගැටලුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. මේ නිසා තමයි අපි යළි එදා සුරියවැව වල්සපුගලින් පටන් ගත්ත ගොවි අරගලයේ දෙවෙනි අදියර හැටියට මේ හම්බන්තොට කටුවැවදී මේ අඛණ්ඩ සත්‍යග්‍රහය හා උපවාසය පටන් ගත්තේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වෙලාවේ අපි බලධාරීන්ට කියනවා අපි කිසිම අයුරකින් මෙවර නිළධාරින් එක්ක සාකජ්චාවකට යන්න සූදානම් නෑ. අපි කියන්නේ මේ අනවසරව වගාකරුවන් ඉවත් කරලා ගැසට් කරපු කැලෑ කොටස වන අලින් සඳහා වෙන් කරලා දීලා මේ ජන ජිවිත සුරක්ෂිත කරන්න කියලා“ යැයි ඔහු පැවසීය.

Exit mobile version