ඇවිදින විශ්වකෝෂයක නික්ම යෑම…

චාමින්ද වාරියගොඩ –

“මම සෝමසිරි කස්තුරිආරච්චි ! ඔයාට පොතක් දෙන්න කියෙනවා. අර සිංගප්පූරුව ගොඩ ගන්න ලී ක්වාන් යු එක්ක වැඩ කළ සෑම් සමරසිංහ මහත්තයා ගැන මම පොතක් ලිව්වා. ඒකේ ඔබතුමා ලීව කරුණුත් තිබෙනවා.  ඒක මට දෙන්න ඕන. කවද්ද කොළඹ පැත්තේ එන්නේ? මේ පොත අතටම දෙන්න තිබුණ නම් තමයි හොඳ!“

මීට මාසයකට පමණ පෙර  මට ඇමතුමක් දුන් නිදහස් මාධ්‍යකරණයේ යෙදුණු ජ්‍යෙෂ්ඨයකු වන සෝමසිරි කස්තුරිආරච්චි මහතා  පැහැදිළි ස්වරයෙන් කියාගෙන ගියේය.

“ආ කස්තුරි මහත්තයා. මම කොළඹ එන දවසකට කියන්නම් මේ දවස්වල වැඩිය දඟලන්න එපා. ගෙදරට වෙලා ඉන්න. “ මම කීවෙමි.


යළිත් කස්තුරි මහත්තයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ ගිය අගෝස්තු 04 වැනිදාය.

“ තාම කොළඹ ආවේ නෑ නේද?. මට හරි ප්‍රශ්නයක් වුණානේ. මේ දොස්තරල කියනවා මගේ ඔළුවේ ගෙඩියක් තියෙනවා. මේක දැන් ඔපර්ෂන් කරන්නම ඕනලු. දැන් ඉතින් වයසත් 81ක් නේ කොල්ල වගේ හිටියට. , ඔහු තම ස්වරය බර කරමින් කීවේ සිනහව ද මුසු කරගෙනය. ඉතින් වැඩේ හරි ගියොත් තමයි පොත දෙන්න වෙන්නේ. “

වයස 81 ක් වුණත් තරුණයකුට වඩා ජවයක්, ගතිකයක් ඇති සෝමසිරි කස්තුරිආරච්චි මහතාට මා දුන් පිළිතුර වුණේ “ අයියෝ ඕක සුළු දෙයක්. ඔබතුමා බය නැතිව ඕකට මුහුණ දෙන්න. කොවිඩ් ලෙඩේනුත් පරෙස්සම් වෙලා වැඩේ කර ගන්න.

කතාව විනාඩි දෙක තුනකට වඩා ඇදුනේ නැත. මම කීවේ “තෙරුවන් සරණයි මොනව හරි අවශ්‍යතාවක් තියනවා නම් අපිටත් කියන්න“ කියා පමණි.

ඔහු කීවත් වගේම සැත්කමට සාර්ථකව මුහුණ දී   ඔහුට රෝහලෙන් පිටව යළි පත්තර තකන්තෝරු හෝ ඔහු දශක ගණනක් තිස්සේ එකතු කළ  විසල් ලේඛන තොගය අතරට සුපුරුදු ලෙස යන්නට දුන්නේ නැත. අද වනවිට ඔහු ජීවිතයෙන්ම සමුගෙන ගොසිනි.

පුද්ගලයකු දශක අටක පමණ ආයු විඳ මිය යාම අනපේක්ෂත හෝ අභව්‍ය දෙයක් නොවුණද මේ දුලබ පුරුෂයා මා දුටු අසාමාන්‍ය ගණයේ හැකියාවන් සහ පෞරුෂයකින් හෙබි ප්‍රිය කරන චරිතකයක් වීමත් ඔහු මිය යාම යනු මහා දැවන්ත පුස්තකාලයක් ගිනිබත් වීමක් යයි සිතෙන නිසාත් යම් වේදනාවක් දැනෙයි.

වයස අවුරුදු 80 ඉක්මවූවද ඔහු සිතන්නේ තරුණයන් මෙනි. අල්පේච්ඡ දිවියකට උරුම කම් කියන ඔහු  අටලෝ දහම හමුටවේ කම්පා වුණේ  නම් ඒ මා දුටු එකම අවස්ථාව ඔහු මහන්සියෙන් කැපවීමෙන් ලියූ දෙයක් පුවත් පතේ ඔහු බලාපොරොත්තු වූ දිනයේ පල නොවීමෙන් පමණි.

එවැනි අවසථාවලදී ඔහු පුවත්පතේ සංස්කාරකවරුන් ට තම නොපහන් හැඟීම පළ කරන්නේ දින ගණනක් මූණවත් නොබලමිනි. එවැනි අත්දැකීම් ගණනාවකට ඔහු සමඟ මා මුහුණ දුන්නද ඔහු සමග පවතින අමනාපය අඹු සැමියන්ගේ බත ඉදෙන කාලය මෙන් කස්තුරි මහත්තයාගේ ඊළඟ ලිපිය ලියවෙන කාලය තෙක් පමණකි.

ඔහු සතුව පැවති අතීත දැනුම් ගබඩාවට අපට සමීප වන්නටවත් නොහැකි තරම්ය. ඔහු ළඟ සංරක්ෂණය වී තිබූ වටිනා ලිපි ලේඛන සහ ඡායාරූප  ලේඛණාගාරයකවත්  නොමැති තරම්ය.

මීට වසර කිහිපයකට පෙර කැලණි ගඟ දෙගොඩතලා ගිය මහා ගංවතුරෙන් ඔහුගේ නිවසද හසුවූ අවසථාවේ මේ ලිපි ලේඛණවලින් කොටසක් අහිමි වීම ගැන ඔහු සිටියේ තම දරුවකු නැති වූ ආකාරයේ ශෝකයකිනි.  ඔහු ඇසුරු කර ඇති ඇසූ පිරූ මිනිසුන් කෙළවරක් නැති තරම්ය. මේ පිරිස අතර ශ්‍රේෂ්ඨ යතිවරුන් , කලාකරුවන්, දේශපාලකයන්, ව්‍යාපාර තලයේ විශිෂ්ටයන්ද සිටින බව ඔහු අපට පෙන්වා ඇත්තේ ඔහු තුල සංරකෂිත සාක්ෂිද සමගිනි. ලේඛනයේ පමණක් නොව ඡායාරූප කරණයේද හැකියාවක් පෙන්නුම් කළ ඔහුට  අනන්‍ය වූ ලිවීම් කලාව තුළ යම් යම් නිර්මාණශිලී දේවල් ද කළේය. සොමසිරි මහත්තයා රිවිර පුවත් පතේදී කළ එවැනි නිර්මාණශිලී දෙයක් වූයේ පැරණි භාෂා ශෛලියට නිර්මාණය කළ පැරණි ආරක ප්‍රවෘත්ති පිටුවයි.

අසු විය පිරුවද ඉතා ශක්තිමත් තරුණයකු සේ යුහුසුළුව ලේක්හවුසිය , දිනවයින ලංකාදීපය ඇතුළු පත්තර තන්තෝරුවලටත් ගුවන් විදුලි සංස්ථාවටත් නිතර යන එන සෝමසිරි කස්තුරිආරච්චි සැබැවින්ම ඇවිදින විශ්ව කෝෂයකි. ධෛර්යවන්ත භාවයේ සහ අල්පේච්ඡ භාවයේ සංකේතයකි.

ඔහු ඉඟි කළ ආකාරයෙන් මට පොතක් දෙන්නට ඔහුට එන්නට පුළුවන් වුයේ නැත. අප පැතු හැටියට ඔහුට සුව වූයේද නැත. ඔහු අප කාටත් පරාජය කළ නොහැකි මරණය වැලඳ ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජ්‍යෙෂ්ඨ සහෘදයාණනි.. ඔබතුමන්ට  සුව නින්දක්.!

Exit mobile version