ඇමරිකාව පිටව යයි… ඇෆ්ගන් හමුදා පලා යයි… ඇෆ්ගනිස්ථානයේ යළි නැගිටින තලේබාන් මරුවෝ…

ඇමරිකානු හමුදා මෙම වසරේ මැයි මාසයේ සිට ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම ආරම්භ කිරීමේදී ලෝව පුරා නැවුම් බලාපොරෝත්තු රැසක් නිර්මාණය විය.

වසර විස්සක කාලයක් තුළ නිමා නොවන යුද්ධයක නිරතවූ ඇමරිකානුවන් අවසානයේදී තම නිවහනට යෑම ගැන බොහෝදෙනා සිය සතුට පළ කළහ.

ඇෆ්ගනිස්ථානය හැර යන ඇමරිකානු හමුදාව

ඇතැමෙක් මෙය ඇමරිකාව සිය යුද බලය ලොවපුරා බෙදාහැරීමේ අවසානයක් ලෙසත් ඇෆ්ගන් වැසියන් යලිත් නිදහසේ හුස්ම ගැනීමේ ආරම්භය බවටත් මත පළ කිරීමට පටන්ගෙන තිබිණි.


ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයත් එහි වගකීම අල්කයිඩා සංවිධානය භාර ගැනීමත් සමඟ ඇරඹි ඇෆ්ගනිස්ථානය ආක්‍රමාණය කිරීම අද වන විට අවසන්වී තිබේ.

මෙම දීර්ඝ යුද්ධයේදී ඇමරිකාව විසින් අල්කයිඩා නායක ඔසාමා බිල් ලාඩන්ව සිය සීල් සෙබලුන් යොදාගෙන ඝාතනය කරනු ලබන අතරම තවත් අල්කයිඩා ත්‍රස්ත නායකයින් රැසක් විනාශ කිරීමටද සමත්විය.

එහෙත් ඇතැමෙක් ඇමරිකානු හමුදා ඉවත්වීමත් සමඟ ඇෆ්ගනිස්ථානයෙන් ඇතිවේ යැයි බලාපොරොත්තු වූ නිදහස සත්‍යත් නොවන බවට පෙර ලකුණු මේවන විටත් පෙන්නුම් කර හමාරය.

තලේබාන් සංවිධානයට එරෙහිව කාබුල් ආරක්ෂා කිරීම සඳහා ඇෆ්ගන් හමුදාවට සහය වන බවට සමහර සන්නද්ධ පුද්ගලයින් පොරොන්දු වී තිබේ

ගතවන සෑම දිනයකදීම තලේබාන් සටන්කාමීන් ශක්තිමත් වෙමින් ඉදිරියට ඇදෙමින් සිටින අතර හාරසියයකට ආසන්න දිස්ත්‍රික්ක වලින් අඩකට ආසන්න ප්‍රමාණයක බලය මේවන විටත් ඔවුන් විසින් තහවුරුකරගෙන තිබේ.

තලේබාන් සටන්කාමීන් වෙන විට ඇෆ්ගනිස්ථානයේ ඉතාම වැදගත් පළාත් තුනක දොරටු ආසන්නයටම පැමිණ ඇත. ඒ අනුව ඔවුන් කන්දහාර්, හේරත්, ලෂ්කාර් ගා වෙත මේ මොහොත වන විටත් ලඟාවෙමින් සිටිති.

ඊට අමතරව ඔවුන් විසින් ඉරානයට ආසන්න දේශ සීමා ප්‍රදේශද, ටර්ක්මිනිස්ථානය සහ ටජකිස්ථානයට ආසන්න දේශ සීමාද සිය පාලනයට නතු කරගෙන අවසන්ය. එමෙන්ම පාකිස්ථාන දේශ සීමාවට ආසන්න සිපින් බෝල්ඩැක් නගරයේ බලයද තමන් සතු කරගනමින් ප්‍රබල ස්ථානය පසුවෙති.

තලේබාන් සටන් කාමීන් සිය බලය සහ අණසක පතුරවිමින් සිටි අතරවාරයේදී ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සිය ජීවිත ආරක්ෂා කරගැනීමට පලායමින් සිටින බවට වර්තාවේ.

ඒ අනුව මීට සති කිහිපයකට පෙර ඇෆ්ගනිස්ථාන හමුදා භටයින් අසල්වැසි ටජකිස්ථානයට පලායාමක්ද වර්තා විය. මෙලෙස පලායාමේදී බොහොමයක් ඇෆ්ගන් හමුදා සාමාජිකයින් සිය අවි ආයුද සහ යුද උපකරණද අත්හැර දමා පළායාම්ද වාර්තා වී තිබිණි.

එහි ප්‍රතිඵලය් ලෙස ජූනි මාසයේදී පමණක් ඇමරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශවලට ලබාදී තිබූ ට්‍රක් රථ සහ හම්වී රථ ඇතුළු යුධ උපකරණ හත්සීයකට අධික සංඛ්‍යාවක් තලේබාන් සටන්කාමීන් සන්ථකයට පත්විය.

මෙම තත්ත්වයත් සමඟම තලේබාන් සටන්කාමීන්ට නව ප්‍රබෝධයක්  ලැබී ඇති අතර ඔවුන්ගේ ප්‍රහාරවල ප්‍රභලත්වයද වර්ධනය වී ඇති බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒත් සමඟම තලේබාන් සටන්කාමීන්ගේ කෘරත්වයද වර්ධනය වෙමින් පවතින අතර පසුගිය මාසයේදී තාලේබාන් සාටන්කාමීන් විසින් සිය අත්අඩංගුවට ගත් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සමාජිකයින් විසි දෙදෙනෙකු ඝාතනයට ලක්කරණ විඩියෝවක්ද නිකුත්ව තිබිණි.

එමෙන්ම ඉකුත් සඳුදා දිනයේදී තලේබාන් සාමාජිකයින් විසින් සිපින් බෝල්ඩැක් නගරයේ සිවිල් වැසියන්ද කෲර ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවට ඇමරිකාව නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව තලේබාන් ප්‍රහාර වලින් රොයිටර් පුවත්සේවය ඡායාරූපශිල්පියෙකු ද තලේබාන් සටන්කාමීන්ව විවේචනය කළ ප්‍රහසන ශිල්පියෙකුද ඝාතනයට ලක්විය.

Exit mobile version