අනෝරා වැසි මැද ගම්පහ පදික වේදිකාවක හමුවුනු දවස් 05ක් වයස කිරිකැටියා..

කීර්ති ප්‍රනාන්දු –

කිරිකැටියගෙ වයස  දවස් 05යි. කොළු පැටියෙක්. අම්මයි තාත්තයි දෙන්න ජීවත් වෙන්නෙ ගම්පහ නගරයෙ පදික වේදිකාවෙ. යන්න එන්න තැනක් නැති යාචක පවුලක්.

කොළු පැටියගෙ අම්මට අවුරුදු 48යි. තාත්තට අවුරුදු 57යි. අලුත උපන් කිරිකැටියත් එක්ක  ඉස්පිරිතාලෙන් මේ අම්මා ආවෙ ගම්පහ පදික වේදිකාවට.

දවස් පහක කිරිකැටියා

ඊයේ ( 24) දවල් ගම්පහ නගර සභාවේ සේවක පිරිසක් මේ සංවේදී දැකුම දැක්කා. ඔවුන් හිටියෙ යන එන මං නැතිව අහෝ හාමත් වෙච්චි යාචකයන්ට කෑම බෙදමින්. කොවිඩ් එක්ක රට වසා දැම්මට පස්සේ කන්න දෙයක් නැති යාචකයන් වෙනුවෙන් මේ වැඩසටහන දියත් කරලා තිබුනෙ ගම්පහ නගරයේ පුරපතිවරයාගෙ මූලිකත්වයෙන්.


කෑම බෙදමින් යන නගර සභා සේවකයින් දැක්කේ දවස් හතරක් වෙච්චි කිරි සප්පයෙක් තියාගෙන පේවුමන්ට් එකේ ඉන්න අම්මා කෙනෙක්…

කම්පිත සේවක පිරිස සිද්ධිය සම්බන්ධව කතා කළා. අනතුරුව පුරපතිවරයා හමුවී මේ සම්බන්ධව දැනුම් දුන්නා.  ආරංචිය ලැබුණු වහාම පුරපතිවරයා ඒ ස්ථානයට පැමිණියා.

පුරපති, නගර සභා නිලධාරීන් සමග දරුවාගේ මව සහ පියා

දුටු දැකුම සිත තිගස්වන සුලුයි.  ඒ අවස්ථාවේම පිරිස සංවිධානය වුනා. පුරපතිවරයා සිය මිතුරු පිරිසකට කතා කළා. කිරිකැටි පුංචි එකාට කොට් ෂීට් එකේ ඉඳන් අවශ්‍ය සියලුම දේ පැයක් ඇතුළත සම්පාදනය වුනා.  පොඩි එකාට විතරක් නොවෙයි. අම්මට ඇඳුම් පැළඳුම් ආහාර පාන සැපයුනා. කිරි දෙන අම්මා කෙනෙකුට අවශ්‍ය සියලු පෝෂණීය ආහාර, ඇතුළු සියලු දේ සම්පාදනය වුණා.

අනතුරුව මේ යාචක දෙපළ සහ කිරිකැටි ලදරුවා නගර සභාවෙ නිවසක තාවකාලිකව ලැගුම් දුන්නා.

ගම්පහට දැන් අනෝරා වැස්ස. මේ කිරිකැටියාගෙ ජීවිතේ ඒ මහා වැස්සට හේදිලා යන්න ඉඩ තිබුණා. ඒත් තවමත් අපි අතර මනුස්සයො ඉන්නවා.  මේ දරුවගෙත් අම්මගෙ හා තාත්තගෙ අනාගය වෙනුවෙනුත් සැලසුමක් ඒ මිනිස්සු සකස් කරාවි.

ගම්පහ පුරපති එරංග සේනානායක.  ඔහු වටා ඉන්න නගර සභා සේවක පිරිස ඇතුළු මිතුරු පර්ශදය කියලා දුන්නෙ දේශපාලනයට,  ජාති ආගම් කුල භේදයන්ට වලංගු නොවන මනුස්සකමක කතාවක්.

ස්තුතියි මහත්වරුනි… හිතට හොඳටෝම දැනුනා….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවසට අවශ්‍ය මූලික බඩු සපයමින්…

 

Exit mobile version