වත්මන් තාරුණ්‍යය අසාර්ථකයි – මහාචාර්ය උමේෂ් හල්වතුර

තුන්වැනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා මහාචාර්ය හල්වතුර කියයි....

උමේෂ් හල්වතුර

සදෙව් රත්නායක –

‘තම හැකියාව, තම අභ්‍යන්තරයේ සිටින පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට අසමත්වීම නිසා වත්මන් තරුණ පරපුර අසාර්ථක වෙලා. තම අභ්‍යන්තරයේ ජීවත්වන චරිතය ඉස්මතු කරගැනීම වෙනුවට බාහිර සමාජයේ අවශ්‍යතාව අනුව හැඩගැසීමටයි වත්මන් තරුණ පරපුට පෙළඹී සිටින්නේ.‘
එසේ කියන්නේ මීට වසර තුනකට පෙර ලෝක විද්‍යා ඇකඩමිය මගින් පිරිනමනු ලැබූ තුන්වැනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානයට (TWAS – The World Academy of Science) Young scientist award – 2017) හිමිකම් කී මෙරට ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ලාබාලතම මහාචාර්යවරයා වන රංගික උමේෂ් හල්වතුරය.

Umesh-Halwathura
මහාචාර්ය උමේෂ් හල්වතුර

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 
මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව මහාචාර්යවරයකු මෙන්ම නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරන 42 හැවිරිදි මේ තරුණ මහාචාර්යවරයා, නව නිර්මාණ ශිල්පියකු ලෙස ප්‍රායෝගිකව ජාත්‍යන්තර විද්වතුන් හා එක්ව නව තාක්ෂණය සම්බන්ධව විවිධ පර්යේෂණවල නිරතවෙමින් ද, සාමුහික නිර්මාණකරණයේ නිරතවෙමින් ද සිය වෘත්තීය ජීවිතයේ නිම්වළලු පුළුල් කරගනිමින් සිටියි.
වර්තමානය වනවිට නව නිර්මාණකරණයෙන් ඔහු විසින් අත්කරගනු ලැබූ පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය 12කි. සොබාදහමට ලැදි ඔහුගේ වෘත්තිය වපසරිය ඉන් ඔබ්බට විහිදී යන්නකි. තමා උගත් දෑ ඇසුරෙන් ගෝලබාලයන් රැසක් බිහි කරලමින් රටට වැඩදායක පුරවැසියකු ලෙස ඉතා ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියමින් සිටී.
ඒ සියල්ල ඔහු එක් රැයකින් අත්කර ගත් සාර්ථකත්වයක් නොවේ. ඒ සඳහා අපමණ කැපකිරීම් හා අධිෂ්ඨානශීලීත්වයක් ඔහුට තිබිණි. එවැනි කැපවීමක් වත්මන් තාරුණ්‍ය තුළ ඉතා විරලය. එය ඔහුගේ ද කනස්සල්ලට හේතුවී තිබේ.
‘වත්මන් තාරුණ්‍යය ස්වාධීන නෑ. තනිව නැගී සිටීමක් කොහෙත්ම දකින්නට නෑ. වහල් මානසිකත්වය, අනුන් මත යැපීම, පරිසරයෙන් ඈත්ව ජීවත්වීම වැනි කරුණු ගණනාවකින් නිසා වර්තමානයේ තරුණ පරපුරෙහි ජීවිත අසාර්ථක බවක් පෙන්නුම් කරනවා.‘ මහාචාර්යවරයා එසේ කීවේය.
1978 නිදහස් දිනයේ කළුතර උපන් මහාචාර්ය හල්වතුර මහතාගේ ළමාවිය ගෙවී ගියේ අපමණ දුෂ්කරතා මධ්‍යයේය. කළුතර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා වූ අතර, පාසලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව බාහිර විෂයයෙහිද කැපී පෙනුණු සිසුවකු විය. ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස නායකත්වය දැරීමෙන් ද මැනවින් පන්නරය ලැබුවේය. ඒ සියල්ල අතර ක්‍රීඩාවෙන් ද දස්කම් පෑවේය. සිය බාල සොයුරු හමුදා නිලධාරියකු ලෙස ජීවිතය ගොඩනගා ගනිද්දී ඔහුට තිබුණේ ඉංජිනේරුවකු වීමේ නොතිත් ආසාවකි. බාස්කට් බෝල්, පාපන්දු, කායවර්ධන හා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සිය විදුහලට අපමණ ජයග්‍රහණය ගෙන දුන් හෙතෙම ගණිත අංශයෙන් ඉහළින්ම උසස්පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමෙන් පසුව ද ක්‍රීඩා කටයුතු අත් නොහැරියේය. අවසානයේ දී ඔහු සිවිල් ඉංජිනේරුවකු ලෙස පළමුපෙළ සාමාර්ථයකින් ගෞරව උපාධියක් අත්කර ගත්තේය.
‘වත්මන් අධ්‍යාපන ක්‍රමයත් අපේ රටේ තාරුණ්‍යය අසාර්ථක වීමට හේතුවක්. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ අඩංගුවී ඇත්තේ විෂය නිර්දේශය ආවරණය කිරීමක් පමණයි. ප්‍රායෝගික දැනුමක් ලැබීමත්, ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමත් වෙනුවට පිළිතුරුවලට ප්‍රශ්න සෙවීමේ ක්‍රමයක් තමයි දැන් තිබෙන්නේ. ‘ ඔහු පැවැසීය.
‘පරිසරයට, රටට, පාසලට, තමන්ගේ පවුලට, ගමට ආදරය කරන්න කළින් අපි අපිට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනා. අපි කවුද කියන එක හඳුනා ගන්න ඕනා. ඊර්ෂ්‍යාව, තරගකාරීත්වය විතරයි මේ අධ්‍යාපන ක්‍රමය තුළ පවා තිබෙන්නේ.‘
‘වත්මන් තරුණ පරපුර ජීවිත විඳින්නේ නෑ විඳවනවා පමණයි. තමන්ට තමන් ගැන වටිනාකමක් ඇති කරගැනීමත්. තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත්වන චරිතය හඳුනා නොගැනීමත් නිසා තරුණ පරපුර මංමුලා වෙලා කියලයි මට හිතෙන්නේ.‘ ඔහු වැඩි දුරටත් එසේ කීවේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරි වෛද්‍ය චරිතා පෝරුතොට සමග 2004 වසරේදි අතිනත ගත් මහාචාර්යවරයා දියණියන් දෙදෙනකුගේ ආදරණිය පියෙකි. පෞද්ගලික ජීවිතයේ සියළු වගකීම් නොපිරිහෙළා ඉටු කරන අතරතුරම, සමාජයට වැඩදායක යහපත් පුරවැසියකු ලෙස ජිවත්වීම ඔහුගේ බලාපොරොත්තුවය.

Exit mobile version