ලේ මිදෙන සීතලට අභියෝග කරන ස්විස්ටර්ලන්තයේ වර්ණවත් මිනිසා

සුනේත්‍රා ඇතුගල්පුර –

ජායාරූප. -ශෂි සුබ්‍රමනියම් –

සාමාන්‍යයෙන් යුරෝපයේ ජීවත්වෙන අපිට වසන්ත ,( spring)ගිම්හානය (summer)සරත් සමය(Autumn) සහ සීත සෘතුව(winter) යන සෘතු හතර හොඳින් දැනේ. එයිනුත් ආසියාතිකයන් වන අපට සීත ඍතුව එතරම් සුවදායක සනීප සෘතුවක් නොවේ. ඒ එම සෘතුවේදී අපගේ බොහෝ ජීවන රටාවන් සීමා වන බැවිනි. යුරෝපීයන්ට එම සෘතුවේදී හිම ක්‍රීඩාව වැනි විනෝදාස්වාද ජනක කටයුතු වල නිරත වීමට හැකියාව තිබුණත් අප ඒ සඳහා තවමත් නවකයින්ය.

එහෙත් මෙම සෘතු හතරම තමන්ට එක් සෘතුවක් ලෙස සලකන මිනිසෙකු අප ජීවත්වන ස්විස්ටර්ලන්තයේ ග්ලාරැස් ප්‍රදේශයේ සිටි. ඇතැම් විට ඔහු ස්විස්ටර්ලන්තයේ සිටින එවැනි එකම පුද්ගලයා ද විය හැකිය.


ඔහුට අනුව වසන්ත හා ගිම්හාන සෘතු රස්නය වැඩි සෘතුවයි. සරත් ඍතුව ඔහුට ගිම්හානයට වඩා රස්නය අඩු සෘතුවකි. ඉන් පසුව උදාවන්නේ ඊටත් වඩා රස්නය අඩු වසන්තයයි. අපේ කතානායකයාට අනුව සීත සෘතුව යනු රස්නය අඩුම වසන්තයයි.

ජෝජ් බුලටොවික් (George Bulatovic) යනු ස්විස් ජාතිකයෙකු නොවේ. වයස අවුරුදු හැට හතක් වන ඔහු මොන්ට නීග්‍රෝ ජාතිකයෙකි. මොහුගේ ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ මුලින් කී ආකාරයට සෑම සෘතුවක දීම වසන්තයේදී මෙන් ක්‍රියා කිරීමත් ඇඳුම් පැළඳුම් වලින් සැරසී මත් ය. ඉන් අදහස් වන්නේ ඇතැම්විට උඩුකය නිරාවරණය වන ආකාරයෙන් සීත සෘතුවේ දීද ඔහු ගමන් බිමන් වල නිරත වීමය .

ස්විස්ටර්ලන්තයේ ඇතැම් ශීත කාල වලදී සාමාන්‍ය උෂ්ණත්වය සෘණ අගයක් ගන්නා අතර එය කිසිදු අයුරකින් මායිම් නොකරන ජෝජ් තමන්ට පුරුදු පරිදි
උඩුකය නිරාවරනව ගමන් කරයි.
ජෝඡ් ගැන නොදන්නා අයට එය එක්තරා ආකාරයක වික්‍රමයක් වැනිය. ශීත කාලයේදී ඇඳුම් තුන හතරකට වඩා ඇගලා එළියට යන අපට ඔහු දකින විට හැඟෙන්නේ විශ්මිත මිනිසෙකු ලෙසය.සීත හිම පතනයෙ පවා උඩු කය නිරාවරණය කරගෙන ගමන් කරන ඔහු දකින විට දැනෙන්නෙ ඇඟ කිලිපොළා යන හැඟීමකි .පයට පාවහන් පවා නොමැති ව ඔහු අධික හිම පතනයක් පවතින ග්ලාරුස් ප්‍රදේශයේ නිරතුරු ව ගමන් කරන අයුරු ග්ලාරුස් ජනතාවට නම් දැන් සුලභ දසුනකි .

එපමණක් ද නොවේ, ජෝජ් ජීවත්වන නිවස ද ඔහු මෙන්ම විශ්මිතය. අලංකාර කරන ලද ගෘහ භාණ්ඩ ඇතුළු නිවසේ ඇති සෑම දෙයක්ම විචිත්‍ර වර්ණ වලින් හැඩ ගන්වා ඇත. ඒ සෑම දෙයක්ම ඔහු අතින් විචිත්‍රවත් කර තිබීම විශේෂත්වයකි. විචිත්‍ර වර්ණ තමන්ට මානසික ශක්තිය සපයන බව ජෝජ් විශ්වාස කරයි. ග්ලාරැස් ජනතාව ඔහු හඳුන්වන්නේ වර්ණවත් මිනිසා ලෙසයි ….ඔහුගේ රැවුල ද වර්ණවත්ය. එපමණක් නොව තමන්ගේ පෙම්වතිය ලෙස තෝරාගෙන සිටින්නේ ද ජෝජ්ටම ගැලපෙන කාන්තාවකි. ඇය තම ජීවිතයේ නිවැරදිම තෝරාගැනීමක් බව ජෝජ් පවසන්නේ ඉමහත් ප්‍රීතියෙනි.
ඔහුට එක් සිහිනයක් තිබේ. ඒ තම නිවස කෞතුකාගාරයක් ලෙස නවීකරණය කර සංචාරකයින් සඳහා විවෘත කිරීමයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජීවිතයේ අරමුණු ලෙස බොහෝදෙනා දකින්නේ ඉහළ තනතුරුවලට යෑම, ප්‍රසිද්ධ වීම හෝ මුදල් රැස් කිරීම් ආදි භෞතික දේවල්ය. එහෙත් සතුට යනු මේ කිසිවක් නොව තමන් කැමති ආකාරයකට අනිකාට බාධා නොවන ආකාරයට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම බව ජෝජ් සිය ජීවිතය හරහා කියා දෙයි.

 

Exit mobile version