කැනඩා පාර්ලිමේන්තුවට තරග කරන පොලොන්නරුව චන්දන පොකුණේ  ගැමියා සමග පිළිසඳරක්…

තිස්ස ගුණතිලක – 

‍ෙමෙරව කැනඩාවේ මහ මැතිවරණයටය  ශ්‍රී ලාංකිකයෙක් තරග කරන්නේය.  ඔහු ධම්මික යකන්දාවලය.

යකන්දාවල  මේ රටේ සිටි දීප්තිමත් ගමනක මග ලකුණු කී විනිසුරු වරයෙකි. ඔහු වර්ෂ 2006 දී ලංකාව හැර යන්නේ  විනිසුරු ආසනය මත දී දුටු මේ රටේ කුප්ප යථාර්ථය හා හෘද සාක්ෂිය අතර ඇති වූ ගැටීමෙන් හෙම්බත් වූ පසුවය.

යකන්දාවල ඉපදෙන්නේ පොලොන්නරුවේ ඈත දුෂ්කර ගම් මණ්ඩියක්වන  චන්දන පොකුණේ   ගොවි පවුලකය.   ගමේ ඉස්කෝලයෙන් අධ්‍යාපනය ලබන ඔහු උසස්පෙළ හදාරන්නේ ගිරිතලේගම මහා විද්‍යාලයෙනි. අනතුරුව සරසවියට ප්‍රවේශ වන ධම්මික මේ රටේ අප දත් මෑත ඉතිහාසයේ දුර්ගම කාලය වූ  88 -89 භීෂණ කාල වකවානුවේ  යන්තමින් ජීවිතය බේරාගෙන සරසවියෙන්  පිට වන්නේය.


අනතුරුව වර්ෂ 1991 දී නීතිඥවරයෙක් ලෙස වෘත්තීය ජීවිතය අරඹන යකන්දාවල වර්ෂ 2000 දී  විනිසුරුවරයෙකු සේ රාජකාරි ජීවිතය අරඹන්නේය.  ඔහු ලංකාව හැර යන්නේ ඒ අතරය.

යකන්දාවල ගැන යළිත් ලාංකිකයන් කතා කරන්නේ ඔහු කැනඩා මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වුණු පසුය.

කැනඩා මැතිවරණය හෙටය. ධම්මික යකන්දාවල ඒ මැතිවරණය ජයග්‍රහණය කර කැනඩා පාර්ලිමේන්තුවට යනු ඇතිදැයි අප දන්නේ නැත. එහෙත් ඔහු සමග කරන සංවාදය මේ රටට වටින්නේය.

මේ අප කළ එම සංවාදයේ සංක්ෂිප්තය ය.

ධම්මික යකන්දාවල සංවාදයට ප්‍රවේශ වුනේ මේ අවස්ථාව තමන්ට ලැබුණු ආකාරය ගැන පැහැදිලි කරමිනි.

“නීතිඥයෙක් විදියට  පසුගිය මැතිවරණයේදී කැනඩාවෙ එන්. ඩී. පී පක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය ලබාදෙන්න මට අවස්ථාව ලැබුණා. ලොකු දෙයක් නොවුණත් මම කිසියම් වැඩ කොටසක් කළා. “

“ අතුරු මැතිවරණයේදී  මම උදව් කළ අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. පස්සෙ මම ඊ මේල් පණිවිඩ කීපයක් ඔහුට යොමුකළත්  මුලදී ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නෑ. ඔය අතර තමයි මෙවර මැතිවරණයට අපේෂකයෙක් හොයනවා ඉදිරිපත් වෙන්න කැමති නම් සී. වී. එකක් එවන්න කියල මට ඊ මේල් එකක් ලැබෙන්නෙ. “

“කැනඩාවේ අපේක්ෂකත්වය ලබා ගැනීමෙදී ඕනම කෙනෙක් තෝරාගැනීමේ ක්‍රමවේදයකට මුහුණ දෙන්න ඕන. එතනදි අපේක්ෂකත්වය සඳහා තිබෙන සුදුසුකම් සලකා බැලීම කෙරෙන්නෙ.“

“පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වීම සඳහා ඔවුන් සලකා බැලුවේ මගේ අධ්‍යාපන සුදුසුකම්, සමාජ ක්‍රියාකාරකම් සහ එම ප්‍රදේශයේ ජනතා ප්‍රශ්නවලට මට පෙනී සිටින්න පුළුවන්ද  කියන කාරණය. සම්මුඛ පරීක්ෂණයේදී ජාත්‍යන්තර දේශපාලනය කෙරෙහි මගේ තිබුණු අවබෝධය ගැන පක්ෂය  සතුටු වුණා. “

ඒ සම්මුඛ පරීක්ෂණයෙන් පස්සෙ තමයි පක්ෂයෙන් මාව සුදුස්සෙකු ලෙස තොරා ගන්නෙ. ඔවුන් ඇහුවා මම ඉදිරිපත් වෙන්න කැමති ඡන්ද කොට්ඨාසය මොකක්ද කියල. මම ජීවත් වෙන ප්‍රදේශය කැමතියි කියල මම ප්‍රකාශ කළත් ඒ වනවිටත් වෙනත් අපේක්ෂකයෙකුට ඒ අවස්ථාව ලබා දී තිබුණ නිසා මට ලැබුණේ ඊට ආසන්න ප්‍රදේශය වන ඇබට්ස් ෆොඩ් කියන ප්‍රදේශය.”

අපේකෂකයෙකු ලෙස ඡන්ද ප්‍රචාරණ ක්‍රියාකාරම් වලදී එන්. ඩී. පී. පක්ෂයෙන් තමන්ට ලැබුණු උපදෙස් ගැන ඔහු මෙසේ පැහැදිලි කළේය.

“මැතිවරණය ප්‍රචාරණයේදී  මට අවශ්‍ය වුණා කටවුට් ටිකක් ප්‍රින්ට් කරන්න. හැබැයි මෙහේ නීතිය අනුව ඒක  හිතුමතේ මගේ සල්ලි වලින් කරන්න බෑ. “

“පක්ෂයෙන් කිව්වෙ “ඔබ කිසිවක් වියදම් කරන්න එපා ඒකට වියදම දරන්නෙ පක්ෂයෙන් කියල“.

“මම අපේක්ෂකයෙක් කියල මගේ මුදල් වුණත් එහෙම වියදම් කරන්න බෑ. ඒත් මට අවශ්‍යනම් සීමාවකට යටත්ව පක්ෂයට මුදල් පරිත්‍යාගයක් කරන්න අවස්ථාව තියනවා. ඩොලර් පන්දහසක් පමණයි එහෙම පරිත්‍යාග කරන්න පුළුවන් සීමාව. අපේක්ෂකයෙකුගේ පූචාරණයට පක්ෂයෙන් තමයි විනිවිද භාවයක් ඇතිව එම මුදල් ලබාදෙන්නෙ. “

“එතනිදිත් එක් ඡන්ද කොට්ඨාසයකට වියදම් කරන්න පූළුවන් ඩොලර් එක්ලක්ෂ හැටපන්දාහයි කියල සීමාවක් තියනවා. මේවා හැම පක්ෂයකටම පොදු නීති.  ඒ දෙන මුදල් කොපමණද, මොනවටද දුන්නෙ කියන එක හොඳට මොනිටරින් වෙනවා. එහෙම වුණාම දූෂණ සිදුවෙන්නෙ නෑ. “

“ලංකාවෙනම් මැතිවරණයකදි අපේක්ෂකයා කරන්නෙ ව්‍යාපාරිකයෙකුට නැත්නම් කොන්ත්‍රාත් කරුවෙකුට ඒ වැඩේ බාරදෙනවා. ඊට පස්සෙ මැතිවරණය දිනුවාම කොන්ත්‍රාත්තුවක් ආවොත් ඉතින් මැතිවරණයෙදි උදව් කළ කොන්ත්‍රාත් කරුට කොන්ත්‍රාත්තුව ලබාදෙනවා. “

“මේ වගේ අක්‍රමිකතා මුලදිම නවත්තන්න කැනඩාවෙදි මේ ක්‍රමය හේතුවක් වෙලා තියනවා. මම මැතිවරණයෙන් දින්නත් මට රැකියා දෙන්න හෝ කොන්ත්‍රාත්තු ලබා දෙන්න බලයක් ලැබෙන්නෙ නෑ. මට තියෙන්නෙ මගේ කොට්ඨාසයේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීන්න.”

“ඔබ විනිසුරු වරයෙක්. සාපේක්ෂව ඉතාම ප්‍රභූ ජීවිතයක් ගත කළ හැකිව තිබූ වෘත්තිකයෙක්. ඒත් වර්ෂ 2006 දි ඔබ රට හැර යනවා. එසේ විදේශගත වුනේ ඇයි?.“ මගේ ප්‍රශ්නයට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“අවසන් කාලේ මම හිටියෙ බලපිටිය උසාවියේ.  අධිකරණ නිල නිවාසවල ඉඳල උසාවිය ලඟට තියෙන්නෙ පොඩි දුරයි. ඒ ටික දුර අතර ප්‍රධාන කුඩු ජාවාරම් කාරයෙකුගෙ ගෙයක් තියනවා. “

“අම්බලන්ගොඩ නගරයේ සිනා ගුලිය කියන මත් පෙත්තක් නොමිලයේ බෙදාහරිනවා. බෙන්චි එකේ වාඩි වුණාම පේන්නෙ ගාණිකා මඩම්. පොලීසිය යම් තරමකින් මේවා නවත්තන්න උත්සාහ කළත් ඒවා හරියට සිදුවුණේ නෑ. කුඩු කාරයෝ ඇවිත් නිල නිවාසයේ එළියෙ වනල තිබ්බ මගේ ෂර්ට් එක පවා උස්සන් ගිය සිද්ධි තියනවා.“

“අපටත්  හෘද ශාක්ෂියක් තියනවනෙ. මේ සිස්ටම් එකම අවුල්. ලංකාවේ නඩු අහන්න කොයිතතරම් කාලයක් යනවද. නීති පද්ධතිය තුළ බරපතල අඩුපාඩු තියනවා. බෙන්ච් එකේ වාඩිවෙලා නඩු අහද්දි අපට මේවා තේරේනවා. ලංකාව කොයි පැත්තට මේ යන්නෙ කියල අපට තේරුම් ගියා. එහෙම පෙනුන නිසා තමයි කැනඩාවට එන්න තීරණය කළේ. ඇත්තටම මේ යන ක්‍රමය ගැන කළකිරිල තමයි රටින් ආවේ.”

“ කැනඩාවේ දේශපාලනය කරන ඔබට ලංකාවේ දේශපාලනය සඳහා ආරාධනාවක් ලැබුණොත්  මොකක්ද කරන්නෙ?. “ ඔහුව විමසුවෙමි.

“ඇත්තටම අද ලංකාවේ දේශපාලනය කියල එකක් තියනවද. මට නම් හිතෙන්නෙ තමන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් පිරිසක්  දේශපාලනය කියන එක හදාගෙන තියනවා. එයාලගෙ අවශ්‍යතා වෙනුවෙන් ඒක එයාලගේ ව්‍යාපාරයක් වෙලා තියෙන්නෙ. දේශපාලනය තුළ පුද්ගලික අභිමතාරථ තියෙන්න බෑ. පුද්ගලික අභිමතාර්ථ සහ පොදු දේයි වෙන්කරල  හඳුනාගන්න පුලුවන්කම කියෙන්න ඕන. “

“මට ඕනකමක් උවමනාවක් තියනවා මෙහේ මට බළපෑමක් කරන්න පුළුවන් තැනක ඉඳන් රට වෙනුවෙන් දෙයක් කරන්න. එහෙම රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් ලොකු තැන් වල අපේ ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. පුද්ගල ශක්තිය තියනවා. ඒ ශක්තිය නැවත රටට ගන්න පුළුවන් දේශපාලයක් තමා ශ්‍රී ලංකාවෙ තාම නැත්තෙ. ලංකාවේ දේශපාලනය නොකළට කැනඩා පාර්ලිමේන්තුවේ ඉඳන් ලංකාවට යමක් කරන්න අපට කරන්න පුළුවන්.”

ඡන්ද කොට්ඨාශ 338 සඳහා පැවැත්වෙන කැනඩා පාර්ලිමේන්තු මැතිවරණය හෙට සැප්තැම්පර් 20 එරටේදී පැවැත්වේ. ඔහු නියෝජනය කරන ඇබට්ස්  ෆොඩ් පලතේ පුරවැසියන්   පොළොන්නරුවේ චන්දන පොකුණ ග්‍රාමයේ උපන් ධම්මික යකන්දාවලට ඡන්දය දී පාර්ලිමේන්තුවට යනවන තුරු අපි විශ්මයාන්විතව බලාගෙන හිඳමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


( ඉරිදා දිවයින සංග්‍රහයේ පල වූ ලිපියක් ඇසුරින් සැකසිනි.)

 

 

Exit mobile version