කතා කරන පුස්තකාලය ජීවත් කරවන දෑස් නොපෙනෙන මිනිසා 

උපේක්ෂා උඩුවැරැල්ල – 

 

“ බ්‍රේල් සහ කථන ග්‍රන්ථ අංශය”

ඒ පුවරුව මහනුවර මහජන පුස්තකාලය තුළ විසල් බිත්ති අතරින් දිවෙන පටු කොරිඩෝවක් පසෙක වූ අඳුරු කුටියක් වෙත අපව යොමු කරයි. පුස්තකාල ප්‍රවේශයේ සිට කුටිය තෙක් වූ පොළොවෙහි දෘෂ්‍යාබාධිත උදවියට මග කියන විශේෂ ඇතිරුමක් සකසා තිබේ.

විමුක්තිව අපට හමුවන්නේ “ බ්‍රේල් සහ කථන ග්‍රන්ථ අංශය” ලෙස නම් කර ඇති මේ කුටියේ දී ය. හේ කඩිසරය. තියුණු  සංවේදනාවන්ගෙන් යුතුය. අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු සහිතය. එහෙත් මේ උපාධිධාරී තරුණයාට දෑස් පෙනෙන්නේ නැත. මහනුවර මහජන පුස්තකාලයේ මෙම විශේෂ අංශය භාරව සිටින්නේ විමුක්තිය.  


ඔහු මහනුවර මහජන පුස්තකාලයට පත්වීම ලැබ එන්නේ මීට තෙවසරකට පෙරය. දෑස් නොපෙනෙන තරුණයෙක් පුස්තකාලයක සේවයේ යෙදවීම දෛවයේ සරදමක් වැන්න. එහෙත් ඔහු එය අවස්ථාවක් කරගෙන තිබිණි. ඒ තමන් වැනි දෘෂ්‍යාබාධිත වූවන් ගේ ජීවිතවලට වටිනාකමක් ලබාදීම වෙනුවෙනි. මහනුවර පුස්තකාලයේ “ බ්රේල් සහ කථන ග්‍රන්ථ අංශය” ඔහුගේ යෝජනාවකි. ඵල දරා ඇත්තේ ඒ සංකල්පය ය.

මම මෙම පුස්තකාලයට ආපු දවස්වල කරන්න වැඩක් නැතුව හිටියා. නමුත් මම කල්පනා කලා මොනවා හරි වැදගත් දෙයක් කරනවා කියලා. මම ඒ නිසාම මට ඇති වූ ප්‍රශ්නවලට විසදුම් ලෙස අනිත් අයට උපකාරයක් හොයන්න  උවමනා වුණා… ඒ නිසා තමයි මම බ්‍රේල් සහ කථන ග්‍රන්ථ අංශය පිළිබඳව යෝජනාව ගෙනාවේ. මගේත් දෘෂ්‍යාබාධිත පරපුරෙත් වාසනාවට මෙම අංශය ස්ථාපිත කරන්න අවශ්‍ය පසුබිම හැදුනා. මම අදටත් බලන්නේ මේ වගේ රටේ සෑම පුස්තකාලයකම අංශයක් ඇති කරන්න අවස්ථාව උදාකරන්න… විමුක්ති එසේ කියන්නේය. 

ඔහුට අනුව මේ වනවිට මහනුවර පුස්තකාලයේ බ්‍රේල් හා කථන අංශයට විශාල පාඨක පිරිසක් සම්බන්ධ වී සිටිති. මොකද අපි නුවර හිටියට අම්පාර අනුරාධපුර මාතලේ ගාල්ල ඇතුළු නන් දෙසින් මෙහි ඒනවා පොත් කියවන්න. අපි ලඟ තියෙන්නෙත් පරණ බ්‍රේල් පොත් විතරයි. ඒත් බොහෝ පිරිසක් අපව හොයා ගෙන ඒනවා. 

දෘෂ්‍යාබාධිත කියන්නේ පෙනෙන්නේ නැහැ කියන එක. දෙදහස් හයේ හතේ ආවට පස්සේ බ්‍රේල් පොත් ආවේ නැහැ. 

“උපතින් දෘෂ්‍යාභාධිත වූ වැඩි පිරිසක් බ්‍රේල් අධ්‍යාපනය ලබා තිබෙනවා. මේ පිරිස හරිම කැමතියි ස්වාධීනව තොරතුරු හොයාගන්න. මම ඒක අත්දැකීමේන් දන්නවා. අපි ජිවත් වෙන්නෙ සිතිවිලි එක්ක. සමහරවිට පෙනීම ලැබිලා තිබිලා විශේෂ හේතුවක් නිසා පෙනීම නැති වුණු, උදාහරණයක් විදිහට හමුදා ක්‍රියාන්විතයන්හිදී පෙනීම අහිමි වුණු අයට අපටත් වඩා දැනෙන පීඩනය වැඩියි. 

ඒත් මේ කිසිම කෙනෙකුට තොරුතුරු සොයාගෙන යන්න තියන ඉඩ කඩ ඉතාම අඩුයි. ඔබ දන්නව ද. මහනුවර පුස්තකාලයේ   බ්රේල් සහ කථන ග්‍රන්ථ අංශයෙ පොත් බලන්න, හුවමාරු කරගෙන යන්න ගාල්ල, අම්පාර, දඹුල්ල, අනුරාධපුරේ ඉඳන් කට්ටිය එනවා. මේ අවශ්‍යතාවය මොනතරම් ද කියලා වැටහෙනව ද. හැම පළාතකම මෙහෙම අංශයක් එක්ක එක පුස්තකාලයක් ගොඩ නැගුවොත් දෘෂ්‍යාබාධිත ප්‍රජාවට මොන තරම් පහසුවක් වේවි ද?. මගෙ ඉලක්කය ඒ යෝජනාව ප්‍රායෝගික කරගන්න එක.

විමුක්ති කීවේය. ලංකාවේ දෘෂ්‍යාබාධිත පිරිස ලක්ෂ තුනකට වඩා ජීවත් වෙති. සමහරු තවමත් ජීවත් වන්නේ සමාජයෙන් වසං වී ගෙනය. දෘෂ්‍යාබාධිත උපාධිධාරීහු තුන්සියයක් පමණ රජයේ සේවයේ නිරතව සිටිති. මේ කිසිවෙක් රටේ පුරවැසියෙකු ලෙස තමන්ට හිමි අභිමානයෙන් ජීවත්  නොවේ. විමුක්ති හුදකලාව සටන් කරන්නේ ඒ අභිමානය මිනිසුන් ලෙස දිනා ගැනීමටය.   

පුස්තකාලයේ තමන්ගේ ඒකකයේ ඇති පොත් පත් ගැන ඔහු කියන්නේ මෙවැනි කතාවකි.

“ බ්‍රේල් පොත් ලංකාවේ මුද්‍රණය කරන්නේ විශේෂිතම අවශ්‍යතාවයක් උදෙසා විතරයි. කවුරුත් බ්‍රේල් පොතක් මුද්‍රණය කරන්නේ නැහැ. මුද්‍රණ වියදම රජයට දරන්න බැරි බව තමයි අදාල උදවිය කියන්නේ.   දෘෂ්‍යාබාදිත ප්‍රජාව  මේ රටේ පුරවැසියන් ලෙස ප්‍රතිපත්ති රටේ සම්පාදකයන් කල්පනා කළා නම්   අඩුම තරමේ අපට බ්‍රේල් පොත්වත් ලැබෙනවා. දැන් දැන් බ්‍රේල් පොතක් අලුතින්  මුද්‍රණය වන්නේත් නැහැ. ඒ නිසා දැන් කළයුතු හොඳම දෙය    ශ්‍රව්‍ය පොත්   සකස් කිරීම. ලෝකයේ හැම දියුණු රටක්ම ඒ ප්‍රවේශය අරන් තියනවා. ඒත් අපට තවම ඒ අවස්ථාව ලැබී නෑ.

දෑස් නොපෙනෙන විමුක්ති සිය අංශය මනාකොට  කළමණානාකරණය කරගෙන ඇත. ඕනෑම පොතක් විමසූ විට නිවැරදි තැනින් නිවැරදිව   ලබා දීමේ මතකය හා පරිචය ඔහු සතුය. දියුනු ලෝකයේ පරිමිතීන් ඔහු නුවර අඩ අඳුරු කුටියක හුදකලාව හිඳිමින් ප්‍රායෝගික කරයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය අපූරු ප්‍රවේශයකි. ඒ හඬ රටට ඇසිය යුතුය.

 

    

Exit mobile version