“ඔන්ලයින්“ – වචනයට යටින් සැඟවී ඇති ජීවිත ඛේදවාචකය….

ගුරුවරියකගේ ඔන්ලයින් අත්දැකීම...

විදුහල්පති තුමා ලබා දී තිබූ කාල සටහනට අනුව පැය දෙකක් ඔන්ලයින් ඉගැන්විය යුතුව තිබිණි. ඒ සඳහා මා පාසලට යාමට තීරණය කළේ අදාළ පාඩමට ඉගෙනුම් උපකරණ ද අත්‍යවශ්‍යව තිබුණු බැවිනි. හැඳුනුම් පතේ අවසාන අංකය කුමක් වුවද පාරට බැසිය යුතුව තිබිණි.

පාසලට ඇතුළු වන ගේට්ටුව අසල මා රැක වුන්නේ බොරපාට ඇඳුම් ඇඳගත් සිසුවෙකි.

“ටීචර් ..අපෙ අය්යා මේක ටීචර් ට දෙන්න කීවා ….”


හතරට පහට නැමූ කොළයක් ඔහු මවෙත දිගු කළේය .

“පුතා කීයෙ පන්තියේ ද..”

“හයේ”..

“අය්යා ..?

“කසුන්… 10 G..”

“එයා කෝ දැන්..”

“කඩෙන් බඩු ගන්න ආවා. ටීචර් ට ඕක දෙන්න කීවා…”

පොඩි එකා කතා කරන අතරතුර ඔහුගේ මුහුනේ අවපැහැය දුටුවෙමි. ඇස් අග්ගිස්සේ කඳුළු පැල්ලම් මිදී තිබිණි. මුහුණ අපිරිසිදු බව පෙනුණි.

“පුතේ..එන්නකෝ..”

මම ඔහු පාසලේ ජල කරාමය වෙත රැගෙන ගොස් සබන් ගා හොඳින් මුහුණ සෝදා ගැනීමට උපදෙස් දුන්නෙමි. අත් බෑගයෙන් ගත් ටිෂූ කොල කීපයක් දි මුහුණ පිසදා ගන්න යැයි කීවෙමි.

“ආ……දැන් ලස්සන යි. ළමයි වුනාම පිරිසිදුව ඉන්න ඕන. ගෙදර කවුද ඉන්නේ ..” යමක් ඉවවැටුන නිසා මම එසේ ඇසුවෙමි.

“තාත්තයි..අය්යා යි.. නංගී යි… මල්ලි යි…”

“අම්මා…..?”

“එයා නෑ..”

මම ඉන් එහා කිසිවක් නොඇසුවෙමි. පොඩි එකා වේගයෙන් ඉගිල්ලී අතුරුදහන් වූවේය.

කසුන් එවූ කොලය අත් බෑගයට දා ගත්තෙමි. ඔන්ලයින් පන්තිය මට බොහො වැදගත් විය. සිසුන් 180න් සහභාගි වී සිටියේ 65 දෙනෙකි.

“මෙහෙම ඉගෙන ගන්න එක හරි අමාරු වැඩක් ටීචර් …..”
“සිග්නල් අවුල් වෙනවා ටීචර් .”
“ටීචර් කියන ඒවා මට ඇහෙන්නෙ නැහැ …”
“ටීචර් අද පාඩම නියමයි..”

උගන්වන අතරතුර එවැනි මැසේජ් ද ආවේය.

මම දරුවන් ගේ මුහුණු දැක බලා ගැනීමේ අපමණ ආශාවෙන් පෙලුනෙමි…ගුරුවරු එහෙම ය…
“ඔයාලා කැමරා ඔන් කරන්න කෝ…ආසයි දකින්න …” ඒ අව්‍යාජ මුහුණු දැක බලා ගත්තෙමි .

“ගෙවල්වලම ඉන්න නිසා වෙන්නැති ඔයා ල හැමෝම ලස්සන වෙලා….”

“ටීචත් ලස්සන වෙලා..”

ලස්සන තිබෙන්නේ ඇස්වලය…..ගුරුවරු න්ට දරුවනුත්, දරුවන්ට ගුරුවරුනුත් කොහොමත් ලස්සන ය. කාට කැතවුනත් ලස්සන ය….

පාඩම අවසානයේ සැනසුම් සුසුම් හෙලුවෙමි. වතුර උගුරක් බී..කසුන් ගේ ලිපිය දිගහැරියෙමි.

ටීචර් …
මං දහය G පන්තියේ කසුන්.
ටීචර් ට මාව මතකද..? ..ටීචර් අර හැමදාම කියන්නෙ ..” කොල්ලො උඹ වැඩ කෙරුවෙ නැත්තං මං උඹෙ “ක” යන්න කපනවා කියල … ඒ කොල්ලා මං.
මං ඉස්කෝලේ වැඩ හොඳට කරනවා ටීචර් . මං 8 පන්තියේ ඉද්දි අම්මා පිළිකාවක් හැදිල මැරුනනේ … එයා කීවා මට හොඳට ඉගෙන ගෙන නංගී යි මල්ලිල 2යි බලාගන්න කියලා .
තාත්තා ළඟ සල්ලි ටිකක් තියෙනවා. ඒත් නංගී ලොකු ලමයෙක් වෙයි කියල එයා බයයි. රත්තරනුත් ගනන්. නංගී ට කරාබු දෙකක් අරන් දෙන්න ඕනලු . මං මේ දවස්වල පොල් ඉරටු ගෑවා. පොල් ඉරටු කිලෝ එකක් හොඳ ගනන්. ඩේටා ගන්න නම් සල්ලි තියෙනවා. මේ පාර අපේ කොස් ගහේ ගෙඩි ගොඩක් හැදුණා.
ටීචර් ට බුදුසරණ යි!
“ඔයා ට පුලුවන් ද මට ෆෝන් එක ක් අරන් දෙන්න …”
මං කසුන්.

ඇස්වලින් නොනවත්වා ම කඳුළු හැලෙන්නට විය. කසුන්ගේ අහිංසක දෑස මා ඉදිරියේ මැවි මැවී පෙනෙන්නට විය. හදවත පැලෙනවා නම් පැලී කෑලිවලට කැඩී විසීරී යන්නට තරම් බරක් ඒ අත් අකුරුවල මට දැනුනි. මේ බැඳීම් මොන තරම් අව්‍යාජ දැයි, ලස්සන දැයි, අහිංසක දැයි මම පැය ගණනක් කල්පනා කලෙමි. වසංගතය අමතක කර කසුන් සොයා ගොස් බදා සිප ගන්නට තරම් සිතක් පහළ විය.
මේ ලියැවුන අකුරක් අකුරක් ගානේ ඇත්තේ ජීවිතය ය. මේ ජීවිත සමග ගනුදෙනු කරන රැකියාවක් ය…..
කඳුළු බර වැඩිම රැකියාව ය…


පසුව ලියමි… 

ඇඳිරි නීතියට පෙර මං කසුන් ට මා අතේ ඉතිරිව ඇති මුදලට සරිලන ස්මාර්ට් ෆෝන් එක ක් රැගෙන ඔහුගේ පැල්පතට ගියෙමි. පාසල ආපසු ආරම්භ වූ පසු නැවත එයා මා වෙත ලබා දෙන ලෙසද පැවසුවෙමි. ඒ පැල්පතට මා ගොඩ නොවූයේ කාරණා කීපයක් ම නිසාය.
කසුන් කතා කලේ වචන කීපයකි..
“..ටීචර් ට ගොඩක් ස්තූතියි …..”

ආපහු එන ගමන්……..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“දැන් තමුසෙ ලමයි පස් දෙනෙක් ලියුම් පහක් එව්වොත් ෆෝන් පහක් අරන් දෙනවද?. උදේට අර ළමයට මේ ලමයට කියල බත් මුල් දෙක තුන ඔතනවා. විභාග ලංවෙද්දි ළමයි ගෙදර ගේනවා. මේ රස්සාව තමුසෙට හරි යන්නෙ නැහැ . “
එහෙත් මේ මට ගැලපෙන ම රැකියාව ය. ජීවිතය කියන්නේ එයටය. ට්‍රිලියනයක් බිලියනයක් වියදම් කළත් නොලැබෙන සතුටකටය. හෘද සාක්ෂියටය. ඒ සතුට මේයැයි කිසිවෙකුට ත් පහදා දීමට තරම් වචන මා ඉගෙන ගෙන නැත.
කසුන් ගෙ ගෙදර ඉස්සර හ කොස් ගහ බර වෙලා තිබුණි. ඡයා රූපයක්වත් ගන්නට උත්සාහ කළේ නැත. ජීවිතය රූප රාමුවලට කොටු කළ නොහැකි බැවිනි.

Exit mobile version