අහම්බෙන් රටට පාත් වූ  මේ මොනවාද? ඇප්රිකොට් ද, කෑමට හොඳයි ද ?

ගැමුණු සාලිය පෙරේරා –

ලංකාවේ ඇතැම් ගෙවතුවල දැන් කාලෙක පටන් දිව්‍යමය ඖෂධීය ගුණ සම්භාරයක් ඇතැයි යන විශ්වාසයෙන් වගා කර ගෙන සිටින පලතුරු ගසක් වෙයි. ”ඇප්රිකොට්” යනුවෙන් හඳුන්වන මේ ගසේ ගෙඩි කෑවාම බොහෝ රෝග සනීපවන බව මේවා වගා කර ගෙන සිටින බොහෝ දෙනෙක් විශ්වාස කරති.

මේ අතර, මෙි ගෙඩි වර්ගය විස සහිත බවට වන පුවතක් ද සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙන අතර, එම පුවතට අනුව මෙම ගසේ ගෙඩි අනුභව කළ කිහිප දෙනෙකුම වකුගඩු  නරක් වී දැනටමත් එළොව ගොසින් ය.

ගමේ ගොඩේ සිදාදියේ මෙන්ම අන්තර්ජාලයේ ද කතාබහට ලක්වෙචිචි මේ ගෙඩි ජාතිය ගැන විද්‍යාත්මක පැටිකිරිය සොයා බලනු වටී.

පීනට් බටර් ෆෘට්

මේ, ඇප්රිකොට් ද. ?


මෙම ශාකය, ඇප්රිකොට් නොවන අතර, ”පීනට් බටර් ෆෘට්” (Peanut Butter Fruit&, ) මන්ක්ස් ප්ලමි ( Monk’s plum) නමින් හඳුන්වනු ලබන, දකුණු ඇමරිකාව නිජ බිම කර ගත් ශාකයකි. මෙහි උද්භිදවිද්යාත්මක නාමය වන්නේ Bunchosia glandulifera (විශේෂ කිහිපයක් ඇත) යන නාමයයි. මීටර 5 ක් පමණ උසින් යුත් බහු වාර්ෂික, සදාහරිත කුඩා ගසකි. ඉතා විසිතුරු වියන් සාදයි. මෙහි කහ පැහැති සුවඳවත් මල් පොකුරු හට ගනී. ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගත හැකි අතර, එය රටකජු බටර්වල රසයට තරමක් දුරට සමාන රසයක් ඇති නිසා මෙම ශාකයට පීනට් බටර් ෆෘට් යනුවෙන් හදුන්වනවා විය හැකිය.

කෙසේ වෙතත් මෙම ගෙඩි වර්ගය ඒවාට නිජබිම වන මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල්වල පවා ඒ හැටි ජනප්‍රිය නොවන ඌණභාවිත පලතුරක් ලෙස සැලකේ.

ඇප්රිකොට් (Apricot) නමින් හඳුන්වන  ජනප්‍රිය  පලතුර මෙය නොවන අතර, Prunus armeniaca යන උද්භිදවිද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ඇප්රිකොට් සහ පීනට් බටර් ෆෘට් යන ශාක දෙක වෙන් කර හඳුනා ගන්නට හැකි වෙනස්කම් කිහිපයක්ම වෙයි. ඉන් කිහිපයක් මෙසේ ය.

පීනට් බටර් ෆෘට් මල් කහ පැහැතිය. ඇප්රිකොට් මල් සුදු සහ ලා රෝස පැහැයට හුරුය. ඉඳුණු ඇප්රිකොට් ගෙඩිය තද කහ, තැඹිලි පැහැයක් ගන්නා අතර, පීනට් බටර් ෆෘට් ගෙඩිය තද තැඹිලි රතු වර්ණයක් ගනී. පීනට් බටර් ෆෘට් ගෙඩිය දිගැටි වන අතර, එහි අග පැහැදිලි තුණ්ඩාකාර හැඩයක් තිබේ. ඇප්රිකොට් ගෙඩිය රවුම්ය, කෙලවර තූණ්ඩාකාර නොවේ.

ඇප්‍රිකොට්

ගෙඩි විස ද?

මෙය විෂ සහිත ශාකයක් බවට ද තවත් මතයක් සමාජය තුළ පැතිරෙමින්  තිබේ.  මෙම කට කතාව පිළිබඳ සොයා බැලීමේදී එම තතු සනාථ කළ හැකි විද්‍යාත්මක ශාක්ෂි සොයා ගැනීමට නොමැති බව ද කිව යුතුව ඇත. කෙසේ වෙතත් පීනට් බටර් ෆෘට් ලංකාවට මෑතක දී පැමිණි ශාකයකි. එය   සංචාරක පක්ෂීන්  හරහා මෙරටට පැමිණෙන්නට ඇතැයි යන විශ්වාසයක් ද පවතී. පීනට් බටර් ෆෘට් වලට ලොව බොහෝ රටවල්වල පලතුරක් ලෙස ඒ හැටි ජනප්‍රිත්වයක් නොමැති වුව ද, ඒවා අනුභව කිරීමේ දොසක් වරදක් නොමැති බව ද පැවසිය යුතුය.

විද්‍යාත්මක  අධ්‍යයනයන්ට අනුව    මෙය විටමින්,  සරල සීනි, ආහාරමය තන්තු, විටමින්, ඛණිජ ලවන සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් පලතුරක් වන බවට තොරතුරු ඇත.

 

විශේෂයෙන් පොටෑසියමි, පොස්පරස්, කැල්සියමි,  මැග්නීසියම්, යකඩ සහ සින්ක් යන ඛනිජ ලවන වර්ගත් විටමින් සී සහ විටමින්   ඒ මෙහි ප්රමුඛ ලෙස අන්තර්ගතවන බවත් පැවසේ.

හොදින් ඉදුණු පීනටි බටර් ෆෘටි ඉතා වටිනා සෞඛ්ය ප්‍රතිලාභවලට හේතු විය හැකි බවට විශ්වාස කරන ප්‍රතිඔක්සිකාරක බොහෝ ප්රමාණයක් ද අඩංගු වන බවට සොයා ගෙන ඇත. විශේෂයෙන් ඉතා වටිනා ප්රතිඔක්සිකාරකයන් වන විටමින් සී සහ කැරොටීනමය ප්රතිඔක්සිකාරකයක් වන ලයිකොපීන් (Lycopene)  වලින් මෙය පොහොසත්  බවට හෙළි වී ඇත.

ලයිකොපීන් වර්තමානයේදී ආහාර වලින් සොයාගෙන තිබෙන වඩාත්ම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය වන අතර, එය පිළිකා විශේෂයෙන්, පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ හෘද වාහිනී රෝග වැළැක්වීම යන ප්‍රතිලාභ අත්කර දීම සම්බන්ධයෙන් කැපී පෙනේ. සාමාන්‍යයෙන් ලයිකොපීන් වලින් පොහොසත් ආහාර ලෙස රතු පේර, කොමඩු සහ තක්කාලි සැලකේ. තවත් සුවිශේෂී කරුණක් වන්නේ පීනට් බටර් ෆෘටි ලතින් ඇමරිකානු කලාපයේ ඇතැම් ජනතාව විශේෂිත උත්තේජකයක් ලෙස භාවිතා කිරීමයි, එයට හේතුව ලෙස සොයාගෙන ඇත්තේ මෙහි මදයේ කැෆේන් උත්තේජකය අන්තර්ගතවීමයි.

සංචාරක කුරුල්ලෙකුගේ වර්චස් පිඩකින් හෝ අන් ලෙසකින් ආගමනය සිදුව, දිව්‍යමය පලතුරක් , ඇප්රිකට් ලෙසින් වෙස්වලාගෙන රටෙි හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරිලා ඇති, සමහරු විස ගෙඩි ලෙස සලකන   පීනටි බටර් ෆෘටිවලට දැන් අපි කුමක් කරමුද?.

ඉහත තුතු විත්ති විමසා බැලුවාම මෙි ගැන  හිතා හිතා ඉන්න දෙයක් නැත.   ගෙඩියක් දෙකක් කටේ දාගෙන රස විඳිමු. අපගේ යෝජනාව එයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


http://www.stuartxchange.org/PeanutButterFruit

Exit mobile version