ලකුණු 184ක විශිෂ්ට ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී!

පල්ලේකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී පැවති  තුන්වන සහ අවසන් එක්දින තරගයෙක් ලකුණු 184ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කළේය.

ලකුණු 254ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම අන්ත අසරණ වෙමින්  ඕවර 24යි පන්දු 04ක දී ලකුණු 70කට සියලු දෙනාම දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු  පැතුම් නිශ්ශංක  පන්දු 66ක දී හතරේ පහර 06ක් සමග ලකුණු 55ක් සහ චරිත් අසලංක පන්දු 56ක දී හතරේ පහර 05ක් සමග ලකුණු 52ක් ලබා ගත්තේය. කුසල් මෙන්ඩිස්  පන්දු 51ක දී ලකුණු 36ක්,  චාමික කරුණාරත්න පන්දු 32ක දී ලකුණු 30ක් ලබා ගත්තේ. චාමික ලකුණු 30ට එල්ල කර තිබුණේ එක් හතරේ පහරක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09ක් දැවී ලකුණු 254ක් ලබා ගත්තේය.


පන්දු යැවීමේ දී රිචාඩ් න්ගරාවා කඩුලු 02ක් ද,  ට්‍රෙන්ඩි චටාරා,බ්ලෙසින් මුසරාබනි,  වෙලින්ටන් මසකාඩා,රයන් බුරී එක් කඩුල්ල බැගින්ද ලබා ගත්තේය.

හඹා යෑම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු 10 සීමාව පසු කළේ ආරම්භක පිතිකරු ටකුඩ්ස්වනාෂි කයිටානෝ සහ රියන් බුරි පමණි.  කයිටානො ලකුණු 19ක් සහ බුරි ලකුණු 15ක් ලබා ගත්තේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු ඕවර 7යි පන්දු 04ක දී ලකුණු 10කට කඩුළු 04ක් දවා ගත්තේය. දුෂ්මන්ත චමීර පන්දු ඕවර 05ක් යවා ලකුණු 20කට කඩුළු දෙකක් ද, රමේෂ් මෙන්ඩිස් පන්දු ඕවර 04ක් යවා ලකුණු 26කට කඩුළු 02ක් ද දවා ගත්තේය.  මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 06ක් යවා ලකුණු 10කට කඩුල්ලක් ද, චාමික කරුණාරත්න පන්දු ඕවර දෙකක් යවා ලකුණු 04කට කඩුල්ලක් ද ලබා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගයේ වීරයා චරිත් අසලංකය. තරගාවලියේ වීරයා පැතුම් නිශ්ශංකය.

Exit mobile version