සූරියවැව – නුවන් ජයසේකර –
වීරවිල පොලිස් වසමට අයත් තුරුසෙවන ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (18) පෙරවරුවේ සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබේ.
තිස්සමහාරාම – මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මොරටුව ඩිපෝවට අයත් කොළඹ – කතරගම බස් රථයක් සහ තිස්සමහාරාම – කරාපිටිය බස් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇත.
අනතුරින් තුවාල ලැබූවන් අතරින් 25 දෙනෙකු හම්බන්තොට මහ රෝහලටත්, 12 දෙනෙකු දෙබරවැව මූලික රෝහලටත් ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ප්‍රතිකාර ලබන පිරිසෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
මියගිය තිදෙනෙකුගේ සිරුරු හම්බන්තොට මහ රෝහලේත්, එක් අයෙකුගේ සිරුර දෙබරවැව මූලික රෝහලේත් තැන්පත් කර ඇත.
අනතුර හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගත් අතර, වීරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.







