අයථා ආකාරයට විදෙස් සංචාරවල යෙදෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් නාස්ති කළේ යැයි කියන රජයේ ආයතනවල හිටපු ප්‍රධානීන් දස දෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ පිරිසට පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකුද හිටපු සංස්ථා සභාපතිවරුන් සිවු දෙනෙකුද ඇතුළත් වන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේ මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයෙන් (Foreign Relation and Protocol) මුදල් සීමාවකින් තොරව භාවිතා කර ඇතැයි විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම විගණන විමර්ශනය ආරම්භවී ඇත්තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ දැනුම් දීමක් අනුවය.
හිටපු ප්‍රධානියා ජාත්‍යන්තර සංවිධාන සංවිධාන කරන වැඩ මුළු වෙනුවෙන් ආරාධනා පත්‍ර තමා මැදිහත් වී ගෙන්වාගෙන මෙලෙස හිතු හිතු පරිදි විදේශ සංචාරවල යෙදී ඇතැයි තොරතුරු හෙළි වී ඇත.
එසේම මෙම ප්‍රධානියා පාර්ලිමේන්තුවේ වාහන අවභාවිතා කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද විමර්ශන අංශ කරුණු සොයා බලාගෙන යනු ලැබේ. ( සුජිත් හේවාජූලිගේ – ලංකාදීප )







