අද (01) පාර්ලිමේන්තු විවාදය අතර මනෝ ගනේෂන් මන්ත්රීවරයා අතිශය සංවේදී කතාවක් කළේය. ඒ කතාවේ මුල 1983 තෙක් දිව යන්නේය. ඒ අවධියේ මනෝ ගනේෂන් මන්ත්රීවරයාත් ලාබාල තරුණයෙකි.
අද අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගේ පියා ප්රවීන කලා ශිල්පී යසපාලිත නානායක්කාරය. මනෝ ගනේෂන් අද කීවේ හර්ෂණ ගේ පියා යසපාලිත ඔහුගේත් ඔහුගේ අම්මා, තාත්තා, සහෝදර සහෝරියන් ඇතුළු පවුලේ සියලු දෙනා මරණයෙන් බේරාගත් ආකාරය ගැනය.
මනෝ ගනේෂන් මන්ත්රීවරයා ඒ කතාව කියනවිට පසුපස සිටි සුජීව සේනසිංහගේ මුව විවරවී තිගැස්සෙනු රූපවාහිනී තිරය මත දිස්වූයේය. මනෝ ගනේෂන් මන්ත්රීවරයා කී ආකාරයෙන්ම කතාව මෙසේය.
“ඔබතුමාගේ පියා යසපාලිත නානායක්කාර. එතුමා බලය බෙදිම වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. විජය කුමාරතුංග මහත්තයා එක්ක හිටියෙ. කලාකරුවෙක් විතරක් නෙමෙයි. හොඳ දේශපාලකයෙක්. පළාත් සභාවෙත් හිටියා. මම දන්නවා ඒක.”
“ඔබට කතාවක් කියන්නම්. ”
“මා ගරුකරන නායකයෙක් විජය කුමාරතුංග මහතා. විජය කුමාරතුංග මැතිතුමා තමයි ඒ කාලේ බලය බෙදීම වෙනුවනේ පෙනී සිටි කෙනා. ඒ විතරක් නෙමෙයි, දකුණේ සිට උතුරට ගියා. පේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලෙදි උතුරට ගිහින් එල්ටීටීඊ සංවිධානය එක්ක සාකච්ඡා කරලා රට තුළ යුද්ධයක් තිබුණ අවස්ථාවේදි ජාතීන් අතර සමගිය ඇති වෙන්න ඕන කියලා කිව්වා. එතුමා බය නැතිව ඒ ගැන කතා කළා. නමුත් 1988දි එතුමා මරා දැම්මා. කවුද?. ඔයගොල්ලො ( ජනතා විමුක්ති පෙරමුණ) ….”
“1983 කාලෙදි හැව්ලොක් ගාර්ඩ්න් එකේ අපේ නිවස තිබුණා. ඒ කාලේ… කෝලාහල කාලේ මගේ නිවස ගිනි තිබ්බා. අපේ වාහන ගිනි තිබ්බා. අපේ ඥාති අය මරලා දැම්මා. අපිට මොකුත් ලැබුනෙ නෑ. එහෙම ලයිස්තුවල අපේ නමුත් නෑ. ”
“එහෙම කරදර අවස්ථාවේදි හැව්ලොක් ගාර්ඩන් නිවස ගිනි තියන්න පෙර මිනිත්තු පහකට පෙර ටෙලිෆෝන් කෝල් එකක් ආවා. ඒ කාලේ මෝබයිල් ෆොන්ස් නෑ. කෝල් එක ආවා. විජය කුමාරතුංග කතා කළේ. ඔහු අපේ තාත්තගේ මිත්රයා. ”
“කතා කරලා විනාඩි පහකින් එක්කෙනෙක් ආවා. ඇවිත් එයාගෙ වාහනෙන් මාව මගේ අම්මව තාත්තවා මගේ සහෝදරයො ඔක්කොම දාගෙන එක්කරන් ගියා. ”
“කවුද එයා. එයාගෙ නම යසපාලිත නානායක්කාර. ඔබේ තාත්තා. එච්චරයි උනේ. එහෙමයි කළේ. අරන් ගියා. අරන් ගිහින් බේරගත්තා. ”
“අපි යනකොටම කණ්ඩායමක් ආවා. ඇවිත් ගෙවල් ගිනිතිබ්බා. අපිව මරන්නයි ආවේ. ඔබේ තාත්තා අපිව බේරගෙන අරන් ගියා.”
“ඒ නිසා ඇමති තුමනි. මම ඔබ විශ්වාස කරනවා. මේ බලය බෙදීම කරන්න. නොබෙදුන ශ්රී ලංකාවක එකමුතු ශ්රී ලංකාවක බලය බෙදීම අපේ අපේක්ෂාව. ඒ වගකීම ඔබතුමාට තියනවා. ඒක කරන්න.







