සදෙව් රත්නායක –
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්වරු ලබා දුන් ලකුණු 176ක ඉලක්කය බැලූ බැල්මට අපහසු ඉලක්කයක් නොවූවත් දඹුල්ලේ පන්දු යවන්නන්ගේ විස්මිත පන්දුයැවීම නිසා ලකුණු 28ක නොසිතූ පරාජයක් උරුමකර ගැනීමට ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත කලම්බු කිංග්ස් කණ්ඩායමට සිදුවිය. එය එල්.පී.එල්.තරගාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායම ලැබූ පළමු පරාජය ලෙස වාර්තා විය.
ඊයේ පස්වරුවේ හම්බන්තොට පැවැති මේ එල්.පී.එල්. තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුලු කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 9ක් දැවී ලකුණු 175ක් රැස් කළ අතර කලම්බු කිංග්ස් කණ්ඩායම ඕවර 18.4කදී ලකුණු 147කට දැවී ගියේය.
කලම්බු කිංග්ස් කණ්ඩායමේ කඩා වැටීම සිදුවූයේ පළමු පන්දුවේ සිටමය. සමිට් පටේල් යැවූ මුල්ම ඕවරයේ පළමු පන්දුවෙන් ලකුණු අතරේ සිටින පිතිකරු දිනේෂ් චන්දිමාල් ආපසු දුන් උඩපන්දුව පටේල් දක්ෂ ලෙස රැකගැනිම නිසා පළමු කඩුල්ල අහිමිවූ කලම්බු කණ්ඩායමට ලකුණු 99ක් වනවිට කඩුලු 7ක්ම අහිමි කිරීමට දඹුල්ල කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.
කලම්බු කිංග්ස් කණ්ඩායමේ කඩුලු බිඳ වැටීම එක දිගටම සිදුවූ අතර, මුළු ලකුණු සංඛ්‍යාව 11දී තික්ෂිල ද සිල්වා (ලකුණු 05යි), ලකුණු 40දී නායක ඇන්ජෙලෝ මැතිව්ස් (ලකුණු 11යි), ලකුණු 45දී ඇන්ඩ්‍රි රසල් (ලකුණු 05යි), ලකුණු 63දී අෂාන් ප්‍රියංජන (ලකුණු 11යි), මුළු ලකුණු සංඛ්‍යාව 95 දී ලෝරි ඉවන්ස් (ලකුණු 59යි), ලකුණු 99 දී ඉසුරු උදාන (ලකුණු 05යි) දැවී ගියේ තරගයේ පාලනය මුළුමනින්ම දඹුලු කණ්ඩායම දෙසට හරවා තබමිනි.
ඒ අතරින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරනු ලැබුවේ ලෝරි ඉවන්ස් විසිනි. පිට පිට කඩුලු බිඳ වැටෙද්දී තනි අතින් ඉනිම ඇදගෙන ගිය මේ පිතිකරුවා පන්දු 33කින් ලකුණු 59ක් වාර්තා කිරීමට සමත්වූයේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගය. ඔහුට නිසි සහයක් ලැබුණා නම් බොහෝ විට තරගයේ තීරණය වෙනස්වීමට ඉඩකඩ තිබිණි. කලම්බු කණ්ඩායමේ ඉනිම පසුබෑමකට ලක්විමට තවත් හේතුවක් වූයේ පසුගිය තරගයේදී එම කණ්ඩායමේ ජයග්‍රහණයට මං විවර කළ කොදෙව් පිතිකරු ඇන්ඩ්‍රි රසල්ගේ දැවී යාමය. ඔහු දැවී ගියේ යොවුන් පන්දු යවන්නකු වන සචිඳු කොළඹගේ යැවූ පන්දුවකිනි. අද තරගයේදීත් ලකුණු අතරට පිවිසීමට නායක මැතිව්ස් අසමත්විම කනගාටුදායක සිදුවීමක් විය.තරග වෙනස් කරන ක්‍රීඩකයකු ලෙස ප්‍රකට ඉසුරු උදානට අද දිනයේ සාර්ථකත්වයක් අත්කරගැනීමට නොහැකි වූ අතර අගපෙළින් පැමිණි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඒ අතින් තරමක් ඉදිරියෙන් සිටියේ පන්දු 12කින් ලකුණු 17ක් රැස් කිරීම නිසාය. ඔහු අගනා හතරේ පහර 3ක් ද එල්ල කළේය.
දඹුලු කණ්ඩායමේ සෑම පන්දු යවන්නකුම සිය වගකීම අකුරටම ඉටු කළ අතර, පන්දු රකින්නෝ ද ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට සමත් වුහ. සමිට් පටේල් ලකුණු 30කට කඩුලු 2 ක් ද, මලින්ද පුෂ්පකුමාර ලකුණු 19කට කඩුලු 2ක් ද, අන්වර් අලි ලකුණු 10කට කඩුලු 2 ක්ද, පුලින තරංග ලකුණු 31කට කඩුලු 2 ක් ද බිඳ දැමූ අතර කසුන් රාජිත සහ සචිඳු කොළඹගේ එක් කඩුල්ල බැගින් දවාගත්හ.
දඹුලු කණ්ඩායමේ ඉනිමේදී අද දිනයේදිත් නිරෝෂන් දික්වැල්ලට ලකුණු අතරට පිවිසීමට නොහැකිවූ අතර, පෝල් ස්ටර්ලිං ද ඒ හා සමාන විය. දෙදෙනාම එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී යද්දී මුළු ලකුණු සංඛ්‍යාව 3කි. නමුත් උපුල් තරංග සහ සමිට් පටේල් එක්ව දඹුල්ල ඉනිම තරමක් ගොඩනැගූ අතර පන්දු යවන්නන්ගේ පීඩනයෙන් මිදීමට ද සමත් වූහ. එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 74දී උපුල් තරංග ලකුණු 25කට දවාලීමට දුෂ්මන්ත චමීර සමත්වීමත් සමග ඉනිම නැවත අඩපණ විය. කෙසේ වුවත් ඒ වනවිට අවශ්‍ය ලකුණු ලැබීමේ වේගය ඉහළ දැමිමට උපුල් තරංග සමත්වූයේ පන්දු 24කදී ලකුණු 25ක් රැස් කරමිනි. ඔහු හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කළ අතර පටේල් ද පන්දු 27කින් ලකුණු 30ක් රැස් කරමින් දඹුල්ලට යම් ජිවයක් ලබා දුන්නේය. ඔහුගේ ඉනිම ද හතරේ පහර 3කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. චමීර දුෂ්මන්තගේ පන්දුවකින්ම ඔහු දැවීයද්දී මුළු ලකුණු සංඛ්‍යාව 82ක් විය. සුපුරුදු පරිදි දඹුල්ල කණ්ඩායමේ වැඩි වගකීම කරපින්නා ගත් නායක දසුන් ශානක මේ තරගාවලියේ තම දෙවැනි අර්ධ ශතකය අද වාර්තා කිරීමට සමත්වූයේ සිය කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ද එක් කරමිනි.
පන්දු 34කට මුහුණ දුන් මේ තුන්ඉරියව් ක්‍රීඩකයා හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 56ක් රැස් කළ අතර ඇන්ජෙලෝ පෙරේරා සමග එක්ව දඹුල්ල ඉනිම ගොඩනැගුවේය. ඇන්ජෙලෝ පෙරේරා ද පන්දු 16කින් ලකුණු 21ක් රැස් කරමින් කදිම දායකත්වයක් ලබා දුන්නේය.
පන්දු යැවීමේදී ඇන්ඩ්‍රි රසල් සහ ඉසුරු උදාන කඩුලු 3 බැගින් ලබා ගත්හ. තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක විසිනි.