සදෙව් රත්නායක
විසි එක්වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ. සුප්‍රකට විස්ඩන් සඟරාව මගින් පසුගිය දශක 2ක කාලයක ටෙස්ට් ක්‍රිකට් දත්ත එක්රැස් කරමින් සිදුකළ මේ සමික්ෂණයට අනුව ක්‍රීඩකයන් 30 දෙනකු තෝරා ගෙන ඇති අතර මුරලිදරන් එම ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවෙයි.
ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණ ආයතනයක් වන CricViz සමාගමේ දායකත්වය ලබා ගනිමින් සිදු කර ඇති මෙම සමීක්ෂණයට 2000 සිට 2020 අතර වසර 20 කාලයක් අධ්‍යයනය කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් සහ වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවාලූ පන්දු යවන්නා ලෙස වාර්තාපොතට එක්වූ මුත්තයියා මුරලිදරන් 2010 වසරේ දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ද, වර්තමානයේදිත් ඔහු එම වාර්තා යුගලයට හිමිකම් කියයි.
‘මුරලිදරන්ගේ ටෙස්ට් කඩුලු 800 අතරින් කඩුලු 573ක්ම වාර්තා වන්නේ 2000 ජනවාරි මස 1 වැනිදා සිට වසර 2010 දක්වා කාලසීමාව තුළයි. ඒ කාල සීමාවේදී ඔහු ටෙස්ට් තරග 85කට ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ඔහුට වඩා වැඩි කඩුලු සංඛ්‍යාවක් දවාලනු ලැබුවේ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. නමුත් ඇන්ඩර්සන්ට ටෙස්ට් කඩුලු 584ක් දවාලීමට තරග 151ක් වැය වී තිබුණා. විස්ඩන් සඟරාවේ කළමනාකාර අධ්යක්ෂ සෑම් ස්ටෝ සඳහන් කළේය.
ටෙස්ට් තරග සඳහා සිදු කර ඇති ‘ක්‍රීඩක බලපෑම‘ ආකෘතිය අනාවරණය කරන CricViz විශ්ලේෂණය ක්‍රීඩකයන්ගේ දායකත්වය පිළිබඳ නව සොයාගැනීමක් මෙම විශ්ලේෂණය මගින් ලොවට හෙළි කර තිබේ. කඩුලු දවාගැනීම මෙන්ම ඒ සඳහා කරනු ලබන උත්සාහ කිරීම් සංඛ්‍යාව පිළිබඳවත් එම විශ්ලේෂණයට ඇතුළත් වන අතර මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියේ වැඩිම පන්දු සංඛ්‍යාවක් යැවූ ක්‍රීඩකයා වීමත් මෙම අගැයිමට ලක්වීමට ඔහුට ඉවහල් වී තිබේ. ඔහු විසින් ටෙස්ට් පිටියේ යවනු ලැබූ පන්දු සංඛ්‍යාව 44,000ක ඉක්මවයි.
ඒ අනුව මුරලි ක්‍රීඩාවට දැක්වූ අසමසම බලපෑම මෙමගින් අනාවරණය වී ඇත.