කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමත් සෞඛ්‍ය බලධාරීන් විසින් ක්‍රීඩා පුහුණුවීම් සඳහා තහංච් දැමීමත් නිසා මෙරට පාසල් පන්සියයක පමණ ක්‍රිකට් පුහුණුකරුවන් දහසකට ආසන්න පිරිසක් අනාථයින් බවට පත්ව ඇතැයි ලංකාසරට වාර්තාවේ.
මේ වසර පුරාම මෙම පුහුණුකරුවන්ගෙන් වැඩි දෙනෙකුට පාසල් මගින් ගෙවන මාසික දීමනා හෝ වැටුප ගෙවා නැත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛයට අනුව ඇතැම් පාසල්වල ඔවුන්ගේ දීමනාවෙන් 25% ක් ගෙවා ඇති අතර කොළඹ හා මහනුවර ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක් පමණක් තම විදුහල්වල ක්‍රිකට් පුහුණුකරුවන්ට සාමාන්‍ය දීමනාවෙන් අඩු තරමින් 50%ක් හෝ ඊට වැඩි ගණනක් ගෙවනු ලබයි.
වරක් පාසල් ක්‍රිකට් සංගමයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා දු ලක්ෂ 45 න් ඔවුන් තෝරාගත් පුහුණුකරුවන් 100 කට පමණ මැයි මාසයේ රුපියල් 25,000/= හා 12,500/= බැගින් ගෙවනු ලැබුවද ඉන් පසු මේ දක්වා සත පහක්වත් ගෙවා නොමැති බව වාර්තා වේ.
පාසල් ක්‍රිකට් සංගමයේ විධායක කමිටුව ඉන් මුදල් සංඛ්‍යාවක් ඉතිරි කර ගෙන ඇතැයිද ඉන්පසු මේ දක්වා කිසිදු හඬක් නොනගිමින් ඔවුන් තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවනු ලබන මාසික දීමනාව ලබමින් සිටින බවටත් මෙම පුහුණුකරුවෝ චෝදනා කරති.
පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්,වයස් කාණ්ඩ තරගාවලි ලේකම් වරුන්ට, පළාත් සංවිධායකවරුන්ට ක්‍රිකට් ආයතනයෙන් මාසික දීමනාවක් ගෙවනු ලබයි.
මෙම ගුරුවරු පාසල් වසා දමා ඇති නිසාත් ගුරු වර්ජනය නිසාත් පාසල්වල කිසිදු වැඩක් නොකරතත් ක්‍රිකට් ආයතනයෙන් මාසික දීමනාව නොවරදවා ලබා ගන්නා බව මෙම පුහුණුකරුවෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයට ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණුකර සපයා දෙන්නේ මෙම පුහුණුකරුවන් වුවත් මේ වන විට මාස ගණනක් මුළුල්ලේ කිසිදු වෙනත් ආදායමක් නොලබන බොහෝ පුහුණුකරුවන් ක්‍රිකට් පුහුණු රැකියා හැර දමා ඩිලිවරි, ගොවිතැන් වැනි කටයුතු වලට යොමු වී ඇතැයි ද වාර්තා වේ.
මේ හේතුවෙන් ලබන වසර මුල හෝ පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කළහොත් බොහෝ පාසල් වලට අලුතින් පුහුණුකරුවන් සොයා යාමට සිදු වනු ඇතැයි එක් පුහුණුකරුවෙක් ලංකාසරට පැවසීය.
ඊයේ 19න් පහළ ලෝක ශූර බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම තරග වැදිනි. ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. මේ පාසල් ක්‍රීඩකයන් මුලුමනින්ම පාසල් පුහුණු කරුවන්ගේ නිර්මාණයන්ය. මේ පුහුණුකරුවන්ව අත පල්ලෙන් වැටෙන්නට ඉඩ නොදී ඔවුන්ව රැක ගැනීම ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අතිශයින්ම වැදගත් බව පාසල් ක්‍රිකට් සංගමයේ මැදහත් ප්‍රකාශකයෙක් ලංකාසරට පෙන්වා දුන්නේය.