පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරඟ තුනකින් යුත් විස්සයි 20 තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වීමට පැය කිහිපයකට පෙර බටහිර ඉන්දීය සංචිතයේ සාමාජිකයින් පස් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය අද (16) තහවුරු කළේය.
කඩුලු රකින ක්‍රීඩක/පිතිකරු ෂායි හෝප්, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අකේල් හොසේන්, තුන් ඉරියව් ක්‍රීඩක ජස්ටින් ග්‍රීව්ස් යන ක්‍රීඩකයන් තිදෙනාටත් සහකාර පුහුණුකරු රොඩී එස්ට්වික් සහ කණ්ඩායමේ වෛද්‍යවරයා වූ වෛද්‍ය අක්ෂායි මාන්සිංටත් කොවිඩ් ආසාදිතව ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදු කරන ලද අලුත්ම පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
එබැවින් මෙම ක්‍රීඩකයින් තිදෙනාටම ඉදිරි තරඟ අහිමි වන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ඇතුළු ආසාදිතයන් පස්දෙනාම බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ සෙසු ක්‍රීඩකයන්ගෙන් හුදෙකලා කර වෛද්‍ය අධීක්ෂණය සිටින බව වාර්තා වේ.
ඔවුන් දින 10ක් හෝ කොවිඩ් වෛරසයේ බලපෑම් රහිත බව නිශ්චිතව තහවුරු වන තුරු හුදකලා කර තැබීමට නියමිතය.
කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසාත් සහ පළමු විස්සයි 20 තරගයේ දී ඇඟිල්ලේ ඇති වූ ආබාධයක් නිසා ඩෙවොන් තෝමස් තරගාවලියෙන් ඉවත් වීම නිසාත් මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 06 දෙනෙකුට මෙම සංචාරයේ ඉදිරි තරගය අහිමි වී තිබේ.
අද උදෑසන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් විශේෂ රැස්වීමක් පවත්වන බවත්, නැවත වරක් ක්‍රීඩකයන් සියලු දෙනාම කොවිඩ් වෛරස පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව තරගාවලිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනවා ද නැද්ද යන්න තීරණය වන බවත් වාර්තා වේ.