ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තාමත් ඇත්තේ බහින කලාවකය.
පසුගිය වකවානුවේ ජාත්‍යන්තර මට්ටමේ එය පැවැති තැන හා දැනට සිටින තැන ගැන අමුතුවෙන් කිව යුතුව නැත.
තිලංගගේ සිට ෂම්මි දක්වා පරිපාලනය සිදුවන්නේ සාමාජික ක්‍රීඩා සමාජ හා තමන්ට සහයෝගය දක්වන ක්‍රීඩා සමාජ නිලධාරින් සන්තර්පනය කොට නිලවරණයේදී චන්දය ලබා ගැනීමේ තියරිය උඩය.
මේ අතර ක්‍රීඩා ඇමති නාමල්ගේ උවමනාව මත ෂම්මිලාගේ බලය ඉක්මවා යන බලතල සහිතව අරවින්ද ද සිල්වා ප්රමුඛ තාක්ෂණ උපදේශන කමිටුවක් පත් කරන ලද අතර ඊටත් උඩින් මහේල ජයවර්ධන කටයුතු කළේය.
දැන් ඒ උපදේශන කමිටුවද නැත. ඒ ක්‍රීඩා ඇමති දැන් නාමල් නොවන නිසාය.
ඒත් මහේල ජයවර්ධන තවමත් ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස වසර දෙකක කාලයකට පත් කරනු ලැබ සිටියි.
කවුරුත් හිතුවේ මහේල ස්වෙච්ඡා වෙන් වැඩ කරන්නට ආ බවයි.
එහෙත් ඔහු මේ වන විට ඩොලර් මගින් විශාල වැටුපක් ලබමින් අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන් පිලේ පුහුණුකරු ලෙස ඉන්දියාවට වී මාස කිහිපයක් සිටින බවත් වැඩි දෙනෙකු දන්නේ නැත.
මහේලගේ මාසික වැටුප ඩොලර් 18,000/= කි. මේ කාලයේ එය රුපියල් නම් හැට හතර ලක්ෂයකි.
මෙය දෙවෙනි වන්නේ ප්‍රධාන පුහුණුකරු සිල්වර්වුඩ්ගේ වැටුපට පමණි.
ලෝක ශූරතා තරගාවලියේ මූලික තරග හා 19 න් පහළ තරගාවලියේ තරග සඳහා ද සහභාගි වූ මහේල ඒ වෙනුවෙන් තවත් ඩොලර් 15,000 ක් ලබා ගත්තේය.
මහේල,සංගා හා මුරලිගේ උවමනාවට වසරකට දින සියයක වැඩ මුරයකට ගෙන්වා ගත් ටොම් මූඩිද ඒ වෙනුවෙන් ලබන වැටුප කෝටි ගණනකි.
මාස ගණනක් මූඩි හා මහේල එක්ව පුහුණුකරුවන් තේරීම සිදු කෙරුණු අතර නොබෝදා ජාතික, ඒ, නැගී එන හා 19 න් පහළ කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් 14 දෙනෙකු නම් කරන ලදී.
කාන්තා ක්‍රිකට් සඳහාද තවත් පුහුණුකරුවන් දහයක් පමණ සිටී.
මීට අමතරව අධි තාක්ෂණ අංශයේත් දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් ලෙස තවත් පුහුණුකරුවන් 50 ක් පමණ ක්‍රිකට් ආයතනයේ විශාල වැටුප් ලබමින් සේවය කරති.
නවසීලන්තයේ හෝ එංගලන්තයේවත් ක්‍රිකට් ආයතනයෙන් නඩත්තු කරන මෙතරම් පුහුණුකරුවන් පිරිසක් නොමැති නිසා ජාත්‍යන්තරව ක්‍රීඩාව සීරෝ වුවත් ක්‍රීඩකයන් පුහුණුකරන හීරෝ ලා නම් අපේ රටේ එමටය.
අලුතින් තෝරා ගෙන ඇති පුහුණුකරුවන් හා උසස් කොට ඇති ඇතැම් පුහුණුකරුවන් මහේලගේ හා අරවින්දගේ ගජ මිතුරන් ය.
හයි පර්ෆෝමන්ස් හෙවත් අධ් තාක්ෂණය භාරව සිටින ඕස්ට්‍ර්‍ර්ලියානු ජාතික ටිම් මැකාක්ස්කිල් ද දෙවසරක දිගුවක් ලබා ගෙන ඇත්තේ මසකට ඩොලර් 14,000 ක වැටුප් වර්ධකයක්ද සමගය.
මීට අමතරව ප්රමුඛ පෙළ ක්‍රීඩා සමාජ 26 ක තවත් පුහුණුකරුවන් 50 ක්වත් සිටී.
ලොව වැඩිම පුහුණුකරුවන් සිටින රට ලංකාව බව සමීක්ෂණයක් කළොත් සොයා ගත හැකිය.
ඉහළ වැටුප් ලබන මෙතරම් පුහුණුකරුවන් පිරිසක් සිටියදී තවත් නම් අපේ ක්‍රිකට් තව දුරටත් සීරෝ ලෙවල් විය නොහැකිය.
පිට පිටම තරග අටක් පැරදුන ද මහේල තවමත් ලොව අංක එකේ පුහුණුකරු ලෙස හඳුන්වනු ලබයි.
එනිසා 2022 වසර ක්‍රිකට් ක්‍රීඩාවේ සුබ වසරක් වනු ඇතැයි බලාපොරොත්තු ඇති කර ගනිමු.